පාරමී ලෝකයේම පළමු ස්ථානයට, පොඩ්ඩෝ සිව්දෙනෙක්ට ඔලිම්පික් වරම්

913

ශ්‍රී ලංකාව වෙනුවෙන් වයස අවුරුදු 18න් පහළ යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව්දෙනෙක් ආර්ජෙන්ටිනාවේ පැවැත්වෙන යොවුන් ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. ඔවුන් මේ දක්ෂතාව දැක්වීමට සමත් වූයේ පසුගිය ජුලි 4 හා 5 වනදා තායිලන්තයේ බැංකොක් හි පැවති යොවුන් ඔලිම්පික් උළෙලේ ආසියානු තේරීම් තරගාවලියේ දී ය.

18න් පහළ ක්‍රීඩකයින් යොවුන් ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගාවලියට

ක්‍රීඩක ක්‍රීඩිකාවන් සත් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් යොවුන් ඔලිම්පික් උළෙලේ ..

බාධක දිවීමේ ක්‍රීඩිකා පාරමී වසන්ති, මීටර 400 ධාවක දිලාන් බෝගොඩ, උස පැනීමේ ක්‍රීඩක සෙනිරු අමරසිංහ හා මීටර 200 ධාවක ශෙලින්ඩා ජැන්සන් මෙලෙස යොවුන් ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට වරම් හිමි කරගන්නා ලදී.

පාරමී ලෝකයෙන්ම පළමු ස්ථානය දිනා ගනී

කුලියාපිටිය මාධ්‍ය මහා විද්‍යාලයෙන් ධාවන පථයට පිවිසුණු බාධක දිවීමේ ක්‍රීඩිකා පාරමී වසන්ති නිමා වූ ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දී එම ඉසව්වේ රන් පදක්කම දිනා ගත් අතර ඒ මතකය ද සමඟින් යොවුන් ඔලිම්පික් තේරීම් තරග සඳහා තායිලන්තයට ගිය ඇය එහි දී ද මීටර 2000 බාධක දිවීමේ ඉසව්වේ රන් පදක්කම තමන් සතුකර ගැනීමට සමත් විය. ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දී ඇය පිහිට වූ 6:59.63ක් සිය හොඳම පෞද්ගලික කාලය තවත් තත්පර 23ක් පහලට ගෙන එමින් 6:35.20ක නව පෞද්ගලික දක්ෂතාවයක් ඇය තේරීම් තරගවල දී පෙන්වීමට සමත් විය.

ඒ අනුව ඇය ප්‍රංශයේ Claire Palou (6:35.80) පසු කරමින් මේ වන විට වයස අවුරුදු 18න් පහළ ක්‍රීඩිකාවකගේ හොඳම කාලය වාර්තා කළේ එම ඉසව්වේ ලොව දක්ෂතමයා බවට පත් වෙමිනි.


දිලාන් ආසියාවේ පළමුවැනියා බවට පත්වේ

පාරමීට දෙවෙනි නොවූ කුරුණෑගල සර් ජෝන් කොතලාවල විද්‍යාලයේ දිලාන් බෝගොඩ බාලක මීටර 400 අවසන් මහා තරගයේ දී රන් පදක්කම දිනා ගත්තේ තත්පර 48.58කින් ඉසව්ව නිම කරමිනි. බෝගොඩ ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දී සිය ඉහළම පෞද්ගලික දක්ෂතාවය ලෙස එම ඉසව්ව තත්පර 48.55කින් නිමකළ අතර තේරීම් තරගාවලියේ අවසන් මහා තරගයට තත්පර 48.66කින් සුදුසුකම් ලබා අවසන් මහා තරගයේ දී රන් පදක්කමක් සමගම යොවුන් ඔලිම්පික් වරම් ද දිනා ගැනීමට සමත් විය.


සෙනිරු සිය ඉහළම පෞද්ගලික දක්ෂතාවය වාර්තා කරයි

කොළඹ රාජකීය විද්‍යාලයේ උස පනින ක්‍රීඩක සෙනිරු අමරසිංහ ද ලද අවස්ථාවෙන් මනා කොට ප්‍රයෝජනය ලබා ගනිමින් සිය ඉහළම පෞද්ගලික දක්ෂතාවය ලෙස මීටර 2.14ක උසක් වාර්තා කිරීමට සමත් විය. ඒ අනුව එම ඉසව්වේ රිදී පදක්කම මෙන්ම යොවුන් ඔලිම්පික් වරම් ද ඔහුට හිමි විය. සෙනිරුගේ මිට පෙර හොඳම දක්ෂතාව වූයේ ජාතික කනිෂ්ඨ ශූරතාවලියේ දී වාර්තා වූ මීටර 2.03 වූ අතර ඒ අනුව ඔහු එම ඉසව්වේ ලෝක යොවුන් ශ්‍රේණිගත කිරීම්වල සිව්වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ද සමත් විය. තේරීම් තරගාවලියේ දී චීනයේ ලෝන්ග් චෙන් මීටර 2.17ක උසක් වාර්තා කළ අතර ඒ මේ වසරේ එම ඉසව්ව සඳහා ක්‍රීඩකයෙකු වාර්තා කළ හොඳම දක්ෂතාව විය.


යොවුන් කෙටි දුර රැජිනත් ආර්ජෙන්ටිනාවට

ගේට්වේ ජාත්‍යන්තර පාසලේ නැගී එන කෙටි දුර ධාවන ශූරිය වන ශෙලීන්ඩා ජැන්සන් ආර්ජෙන්ටිනාවට පියාසර කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් අසුන හිමි කර ගත් අතර බාලිකා මීටර 200 ඉසව්ව තත්පර 25.50කින් නිමා කරමින් තේරීම් තරගාවලියේ දී සිව්වැනියා ලෙස ඉසව්ව නිම කිරීමට සමත් විය. ඒ අනුව ඇය එම ඉසව්වේ ආසියානු නියෝජන හතර අතරට එක්වූ අතර අවසන් තරගයේ දී දක්ෂතා තුලට පිවිසීමට නොහැකි වුවත් ඇය මූලික තරගවල දී තත්පර 24.99කින් ඉසව්ව නිමා කිරීමට සමත් විය.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<