දෙවැනි පෙළ Tier B ශූරතාවය තක්ෂිලා මැදි විදුහලට

19න් පහළ දෙවැනි පෙළ Tier B ක්‍රිකට් තරගාවලිය 2022/23

290
19න් පහළ දෙවැනි පෙළ Tier B ක්‍රිකට් තරගාවලිය 2022/23

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන 2022/23 වයස අවුරුදු 19න් පහළ දෙවැනි පෙළ Tier B ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (7) කොළඹ නාලන්දා විදුහල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා.

ශ්‍රී ජයවර්ධනපුර මධ්‍ය මහා විද්‍යාලය සහ හොරණ තක්ෂිලා මැදි විදුහල අතර පැවැත්වුණු මේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් ලබා ගත් තක්ෂිලා මැදි විදුහල මෙහි ශූරතාවය දිනා ගැනීමට සමත් වුනා.

හේනේගම මැදි විදුහල සහ පානදුර රාජකීය විද්‍යාල දෙක පරාජය කරමින් පිළිවෙළින් ශ්‍රී ජයවර්ධනපුර මධ්‍ය මහා විද්‍යාලය සහ තක්ෂිලා මැදි විදුහල මේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත් අතර මේ කණ්ඩායම් දෙකම එළඹෙන තරග වාරයේ දී දෙවැනි පෙළ Tier A කාණ්ඩය දක්වා උසස් වීම් ද ලබා ගනු ඇති.

කාසියේ වාසිය දිනා ගත් තක්ෂිලා මැදි විදුහල පළමුව පන්දු රැකීමට තීරණය කළා. එහි දී ශ්‍රී ජයවර්ධනපුර මධ්‍ය මහා විද්‍යාලය සිය පළමු ඉනිමට සියල්ලන්ම දැවී ලකුණු 138ක් ලබා ගත් අතර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනු ජයනිඳු සංකල්ප ලකුණු 42ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී සන්විඳු සේවින් කඩුලු 4ක් දවා ගත්තා. රෂාන් නවාන්ජන කඩුලු 2යි.

අනතුරුව සිය පිළිතුරු පළමු ඉනිම දියත් කළ තක්ෂිලා මැදි විදුහල සිය පළමු ඉනිමට ලකුණු 341ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා. තක්ෂිලා ආරම්භක පිතිකරු සන්දිත් රණවීර 4 පහර 11ක් සහ 6 පහර 2ක් එල්ල කරමින් පන්දු 151ක් තුල අගනා ලකුණු 92ක් ලබාගෙන ඔවුන්ගේ මුල්පෙළ සවිමත් කළා.

ලකුණු 59කට කඩුලු 3ක් බිඳ වැටී තිබිය දී රණවීර සමඟ එක්වුනු ජනිත් ධනංජය (ලකුණු 52) සහ චමෝද් මිහිරාන් (ලකුණු 44) ඔවුන්ගේ මැදපෙළ ස්ථාවර කිරීමේ වගකීම හොඳින් ඉටු කළා. සනීර මිහිසර ලකුණු 39යි. පන්දු යැවීමේ දී ආසිරි ජයවර්ධන කඩුලු 3ක් දවා ගන්නා විට, තලීෂ සිල්වා සහ බියංක තමීර කඩුලු 2ක බැගින් දවා ගත්තා.

ලකුණු 203ක දැවැන්ත පළමු ඉනිමේ අවාසියක් සමඟ සිය දෙවැනි ඉනිම දියත් කළ ශ්‍රී ජයවර්ධනපුර මධ්‍ය මහා විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 46ක් ලබාගෙන සිටිය දී තරගය අවසන් කිරීමට විනිසුරුවරුන් ලෙස කටයුතු කළ ඩිහාන් පීරිස් සහ සුනිල් විජේරත්න තීරණය කළා.

ඒ අනුව තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුවත් පළමු ඉනිමේ ජයග්‍රහණය හිමි වුනේ හොරණ තක්ෂිලා මැදි විදුහල් කණ්ඩායමටයි.

තක්ෂිලා මැදි විදුහල සහ පිළියන්දල මැදි විදුහල අතර පැවැත්වෙන දෙදින පාසල් මහා ක්‍රිකට් තරගය ද කඩුල්ලකින් ජය ගැනීම සහ මේ තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට හැකි වීම හොරණ තක්ෂිලා මැදි විදුහල් ක්‍රිකට් කණ්ඩායමට ඉතාමත් සුවිශේෂී වෙනවා.

  • ශ්‍රී ජයවර්ධනපුර මධ්‍ය මහා විද්‍යාලය – 138 (50.2): ජයනිඳු සංකල්ප 42, සන්විඳු සේවින් 4/46, රෂාන් නවාන්ජන 2/16 & 46/4 (18)

  • හොරණ තක්ෂිලා මැදි විදුහල – 341 (100.3): සන්දිත් රණවීර 92, ජනිත් ධනංජය 52, චමෝද් මිහිරාන් 44, ආසිරි ජයවර්ධන 3/39, තලීෂ සිල්වා 2/52, බියංක තමීර 2/90

තරගය ජය පරාජයෙන් තොරව අවසන් – තක්ෂිලා මැදි විදුහලට පළමු ඉනිමේ ජයක්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<