සාන්ත ජෝසප්, ත්‍රිත්ව සහ මාරිස් ස්ටෙල්ලා අවසන් මහා තරගවලට

වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2022/23

318

වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ Tier A සහ Tier B අවසන් පූර්ව තරග තුනක් අද (4) නිමාවට පත් වුනු අතර එහි දී මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සහ මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය (Tier B) ඒ ඒ කාණ්ඩවල අවසන් මහා තරග සඳහා සුදුදුසුකම් ලබා ගන්නට සමත් වුනා.

ACE කැපිටල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු ත්‍රිත්ව – මලියදේව තරගයෙන් කඩුලු 7ක පූර්ණ තරග ජයක් ලබා ගැනීමට ත්‍රිත්ව විද්‍යාලය සමත් වුනා. දෙවැනි දිනයේ උදෑසන ඔවුන්ගේ පළමු ඉනිමට තවත් ලකුණු 93ක් එක් කරගත් ත්‍රිත්ව විද්‍යාලය සිය පළමු 199  දක්වා රැගෙන ආවා. එහි දී දිනූෂ පීරිස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනා.

පළමු ඉනිමේ අවාසිය සමඟ සිය දෙවැනි ඉනිම ආරම්භ කළ මලියදේව විද්‍යාලය වේගවත්ව සිය දෙවැනි ඉනිම දියත් කිරීමට උත්සහ කළේ හොඳ ලකුණු පුවරුවක් නිර්මාණය කරමින් පළමු ඉනිම  තිබූ තරගය පූර්ණ තරග ජයක් වෙත රැගෙන යාමට වුවත්, එය ඔවුන්ට සාර්ථක කරගන්නට හැකි වුනේ නැහැ.

එහි දී ජයවි ලියනගම කඩුලු 4ක් දවාගෙන දස්කම් දැක්වූවා. අවසානයේ දී ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 40ක ඉලක්කයක් හඹා යමින් පහසුවෙන් මේ තරගය ජය ගත්තේ කඩුලු 7ක ජයක් හිමිකරගෙනයි.

සාන්ත ජෝසප් විද්‍යාලය සහ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය අතර ගල්කිස්සේ දී පැවති තරගයේ දී සාන්ත ජෝසප් කණ්ඩායම ලකුණු 400 සීමාව ඉක්මවා ගියා. එහි දී නරේන් මුරලිදරන් සහ අවින්ත ද අල්විස් ශතක ලබා ගත් අතර මුදිත දිසානායක ලකුණු 78ක් ලබා ගත්තා. ලහිරු අමරසේකර නොදැවී ලකුණු 46*යි.

තරගයේ නියමිත කාලය අවසන් වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කළ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 89ක් ලබාගෙන සිටි අතර පළමු තරග වටය අවසානයේ දී ලබා ගත් ප්‍රසාද ලකුණු සහ මේ තරගයේ දී ලබා ගත් ප්‍රසාද ලකුණුවල එකතුව සාන්ත බෙනඩික්ට් කණ්ඩායමට වඩා වැඩි නිසාවෙන් සාන්ත ජෝසප් කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසකම් ලබා ගත්තා.

Tier B කොටසේ දෙවැනි අවසන් පූර්ව තරගය ලෙස පැවැත්වුණු මාරිස් ස්ටෙල්ලා – සාන්ත ඇලෝසියස් තරගයේ දී සාන්ත ඇලෝසියස් පන්දු රැකීම තරමක් අලස මට්ටමක පැවතුණා. ඒ නිසාවෙන් උඩපන්දු කිහිපයක්ම ඔවුන්ගේ අතින් ගිලිහී යාම ද සවියක් කරගනිමින් මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය ලකුණු 311/8ක් ලබාගෙන සිය ඉනිම අත්හිටවූවා.

මූලික වටය අවසානයේ දී සාන්ත ඇලෝසියස් කණ්ඩායම වැඩි ප්‍රසාද ලකුණු ප්‍රමාණයක් ලබාගෙන තිබුණු නමුත්, මේ තරගයේ දී මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය ලබා ගත් ප්‍රසාද ලකුණු ප්‍රමාණය සාන්ත ඇලෝසියස් සමස්ත ප්‍රසාද ලකුණු සටහන ඉක්මවා ගිය නිසා තියුණු සටනකට පසුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය අවසන් මහා තරගෙය් සිය අසුන වෙන් කරගත්තා. මාරිස් ස්ටෙල්ලා ආරම්භක පිතිකරු සහ නායක කවීන් ප්‍රනාන්දු ශතකයක් ලබා ගන්නා විට ශේන් ආධිත්‍ය අර්ධ ශතකයක් ලබාගෙන දස්කම් දැක්වූවා.

ඒ අනුව Tier A කොටසේ අවසන් මහා තරගය මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ සාන්ත ජෝසප් විද්‍යාලය අතර පැවැත්වෙන අතර Tier B කොටසේ අවසන් මහා තරගය මාතර සාන්ත  සර්වේසස් විද්‍යාලය සහ මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය අතර එළඹෙන සතියේ දී පැවැත්වීමට නියමිතයි. එසේම Tier B අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත් මාරිස් ස්ටෙල්ලා සහ සාන්ත සර්වේසස් විද්‍යාල එළඹෙන තරග වාරයේ සිට Tier A කොටසේ තරග කිරීමට නියමිතයි.

මලියදේව විද්‍යාලය සහ ත්‍රිත්ව විද්‍යාලය

  • මලියදේව විද්‍යාලය – 139 (56.5): ගයන වීරසිංහ 65, තරන විමලධර්ම 4/34, දිනුක තෙන්නකෝන් 3/37, හේෂාන් ගමගේ 2/23 & 99 (42.4): තරන විලමධර්ම 4/36, ජයවි ලියනගම 3/6
  • ත්‍රිත්ව විද්‍යාලය – 199 (53.5): දිනූශ පීරිස් 45, දිනුක තෙන්නකෝන් 36, චාරුක හේරත් 4/43, දිමත් අබේසිංහ 3/61 & 41/3 (10)

ත්‍රිත්ව විද්‍යාලයට කඩුලු 7ක ජයක්

සාන්ත ජෝසප් විද්‍යාලය සහ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

  • සාන්ත ජෝසප් විද්‍යාලය – 439/7d (148.5): නරේන් මුරලිදරන් 102, අවින්ත ද අල්විස් 101, මුදිත දිසානායක 78, ලහිරු අමරසේකර 46*, මෙවන් දිසානායක 4/137
  • සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – 89/6 (24): ශාරුජන් ශන්මුගනාතන් 33*, ශෙනාල් සමරතුංග 21, යෙනුල දෙව්තුස 2/8, ලහිරු අමරසේකර 2/26

තරගය ජය පරාජයෙන් තොරව අවසන් (සාන්ත ජෝසප් විද්‍යාලයට තරගයේ වැඩි ප්‍රසාද ලකුණු)

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය සහ සාන්ත ඇලෝසියස් විද්‍යාලය

  • මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය – 311/8d (88.4): කවීන් ප්‍රනාන්දු 109, ශේන් ආධිත්‍ය 57, රමිත් බණ්ඩාර 50, ඕෂද දේවින්ද 3/30
  • සාන්ත ඇලෝසියස් විද්‍යාලය – 80/3 (20)

තරගය ජය පරාජයෙන් තොරව අවසන් (මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයට තරගයේ වැඩි ප්‍රසාද ලකුණු)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<