ජයවර්ධනපුර සටනේ වැඩි ගෞරවය සාන්ත ජෝන් විද්‍යාලයට

23 වැනි ජයවර්ධනපුර මහා සටන

522
23 වැනි ජයවර්ධනපුර මහා සටන

නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලය සහ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය අතර පැවැත්වුණු 23 වැනි ජයවර්ධනපුර මහා සටන අද (5) කොළඹ, පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී නිමා වුනා.

එහි දී තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුනු නමුත් එහි වැඩි ගෞරවය දිනා ගත්තේ සාන්ත ජෝන් විද්‍යාලයයි.

කාසියේ වාසිය දිනාගත් ආනන්ද ශාස්ත්‍රාලය පළමුව පන්දුවට පහර දීමට සාන්ත ජෝන් විද්‍යාලයට ආරාධනා කළා. එහි දී සාන්ත ජෝන් පළමු ඉනිමේ කඩුලු 4ක් ලකුණු 40ක් තුළ බිඳ වැටී තිබුණු මොහොතක ජයනාතන් අභිනාෂ් සහ අනුසර ප්‍රනාන්දු එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 94ක සබඳතාවයක් ගොඩනංවමින් සාන්ත ජෝන් ලකුණු සටහන ස්ථාවර කිරීමට අවශ්‍ය අඩිතාලම සකස් කළා.

එහි දී පන්දු 78ක් තුල ලකුණු 70ක් ලබාගෙන තරමක වේගයෙන් පන්දුවට පහර දුන් අනුසර 4 පහර 13ක් සමඟ එම ලකුණු 70 ලබා ගත්තා. ඉන් නොනැවතුණු ජයනාතන් 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 119ක සුපිරි සබඳතාවයක් ගොඩනැංවූ අතර එහි දී ලක්ෂිත ලක්දිනු ලකුණු 38ක් ලබාගෙන ජයානාත් හට අවශ්‍ය සහාය ලබා දුන්නා.

23 වැනි ජයවර්ධනපුර මහා සටනේ වාර්තා වුනු එකම ශතකයේ හිමිකරු වුනු ජයනාතන් 213ක් තුල 4 පහර 12ක් එල්ල කරමින් ලකුණු 115ක් ලබාගෙන මේ තරගයේ වීරයා ලෙස ද සම්මාන දිනා ගත්තා. පන්දු යැවීමේ දී පොෂිත මදනායක සහ ආනන්ද ශාස්ත්‍රාල නායක ජනිත් චතුරංග කඩුලු 2ක බැගින් දවා ගත්තා.

ලකුණු 282ක් ලබා ගත් සාන්ත ජෝන් විද්‍යාලය සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළ අතර අනතුරුව සිය පළමු ඉනිම දියත් කළ ආනන්ද ශාස්ත්‍රාලයට පියුමාල් දෙව්රංග ඇතුළු සාන්ත ජෝන් පන්දු යවන්නන් හමුවේ සිය පළමු ඉනිමට ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 170ක් පමණයි.

එහි දී කුශිත් මදුශාන් සහ ජනිත් චතුරංග හට හැරෙන්නට එකඳු හෝ ආනන්ද ශාස්ත්‍රාල පිතිකරුවෙක් හට මේ තරගය තුල ලකුණු 30 සීමාව අභිබවා යන්නට හැකි වුනේ නැහැ.

අවසානයේ දී ආනන්ද ශාස්ත්‍රාල පළමු ඉනිම ලකුණු 170කට සීමා කළ සාන්ත ජෝන් කණ්ඩායම ලකුණු 112ක පළමු ඉනිමේ වාසියක් සහිතව ආනන්ද ශාස්ත්‍රාල කණ්ඩායමට සිය දෙවැනි ඉනිම දියත් කිරීමට අවස්ථාව ලබා දුන් අතර තරගයේ අවසානය වන විට ඔවුන්ගේ ඉනිම ලකුණු 44/1ක් ලෙස සටහන් වුනා.

සාන්ත ජෝන් විද්‍යාලය – 282/8d (89): ජයනාතන් අභිනාෂ් 115, අනුසර ප්‍රනාන්දු 70, පොෂිත මදනායක 2/47, ජනිත් චතුරංග 2/62

ආනන්ද ශාස්ත්‍රාලය – 170 (70.3): කුශිත් මදුශාන් 44, ජනිත් චතුරංග 31, පියුමාල් දෙව්රංග 4/27 & 44/1 (17 F/O):

  • තරගයේ වීරයා – ජයනාතන් අභිනාෂ් (සාන්ත ජෝන් විද්‍යාලය)
  • දක්ෂතම පිතිකරු – අනුසාර ප්‍රනාන්දු (සාන්ත ජෝන් විද්‍යාලය)
  • දක්ෂතම පන්දු යවන්නා – පියුමාල් දෙව්රංග (සාන්ත ජෝන් විද්‍යාලය)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<