කුළුඳුල් T20 කිරුළකට සටන් කරන දකුණු අප්‍රිකානුවන්

විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය 2022

369

ඕස්ට්‍රේලියාවේ දී ආරම්භ වීමට නියමිත අටවැනි විස්සයි විස්ස ලෝක කුසලානයට මේ වන විට සියලු කටයුතු සූදානම්. ඒ සඳහා තරග වදින කණ්ඩායම් අතරින් දකුණු අප්‍රිකාව කාගේත් අවධානය දිනා ගත් කණ්ඩායමක්.

වත්මන් ICC විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් හි තෙවැනි ස්ථානයේ පසුවන දකුණු අප්‍රිකාව මෙවර තරගාවලියට අවතීර්ණ වන්නේ දක්ෂතා සංකලනයකින් පරිපූර්ණ ක්‍රීඩකයන් රැසක එකතුවක් සමඟින්.

මෙවරත් දකුණු අප්‍රිකාව පිටියට පිවිසෙන්නේ Temba Bavumaගේ නායකත්වය යටතේ යි.

ඉතිහාසය දෙස හැරී බැලීමේ දී එදාමෙදාතුර විස්සයි විස්ස තරග ඉතිහාසය තුළ සුපිරි ක්‍රීඩකයන් රැසක්ම බිහි කළ ක්‍රිකට් රාජ්‍යයක් වූව ද, දකුණු අප්‍රිකාවට මේ දක්වා පැවැත්වූ කිසිදු විස්සයි විස්ස ලෝක කුසලානයක් ජය ගැනීමට නොහැකි වීම ඉතා අවාසනාවන්ත කාරණයකි.

එහි දී අවම මට්ටමින් අවසන් මහා තරගයකටවත් සුදුසුකම් ලබා ගැනීමට අපොහොසත් වූ ඔවුන් හිමිකරගත් ඉහළම තත්වයන් බවට පත්වූයේ 2009 හා 2014 ලෝක කුසලානවල අවසන් පූර්ව තරගවලට සුදුසුකම් ලැබීමයි.

කෙතරම් සුපිරි ක්‍රීඩකයන්ගෙන් සමන්විත වූ කණ්ඩායම්වලින් ඔවුන් ලෝක කුසලාන ඉතිහාසයේ තරග වැදුණ ද, එම සියලුම තරගාවලිවල පැවති පිළිමළුන් පිටුදැකීමේ තරගවලින් දකුණු අප්‍රිකාව ඉවතට විසි වූයේ දක්ෂතාවයට වඩා අවාසනාව ඔවුන්ට හරස් වෙමින්.

මෙවර තරගාවලියේ දී ඔවුන් Group 2 ඔස්සේ තරග වැදීමට නියමිතව ඇති අතර එම කාණ්ඩයට අයත් අනෙකුත් කණ්ඩායම් වන්නේ ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය හා සුදුසුකම් ලැබීමේ වට දෙකෙන් තේරීපත්වන කණ්ඩායම් දෙකකි.

මෙම කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙසින් කටයුතු කිරීමට නියමිතව ඇත්තේ නායක Temba Bauma සහ Quinton De Kock පිතිකරණ යුගලයයි.

මේ අතරින් De Kock වර්තමාන සංයුතියේ ඔවුන් සතු අත්දැකීම් බහුලතම ක්‍රීඩකයෙකු වන අතර විශ්වාසනීයම පිතිකරුවෙකු ලෙස ද ස්ථාවරයක් ගොඩනඟාගත් අයෙකි. කෙසේ නමුත් පසුගිය සමයේ දී ඔහුගේ ප්‍රහාරාත්මක වේගය යම්තාක් දුරට ගිලිහී ගොස් ඇත. මෙම කණ්ඩායමේ කඩුලු රැකීමේ භූමිකාව පැවරී ඇත්තේ ද ඔහුට ය.

ඔහුගේ සහයක ආරම්භක පිතිකරුවා වන නායක Bavuma පහුගිය සමයේ දී දිගින් දිගටම අසාර්ථක වීම නිසා යම් පසුබෑමකට ලක්ව සිටීම ඔවුන්ගේ පිතිකරණ අංශයේ එකම සෘණාත්මක කාරණය වශයෙන් සඳහන් කළ හැක.

අංක 3 ස්ථානය හිමිව ඇත්තේ වසර කිහිපයකට පසු නැවතත් කණ්ඩායමට පිවිසි
Rillee Rossouw හටයි. දකුණු අප්‍රිකාව තරගවැදි පසුගිය T20I තරගාවලි කිහිපයේ දී ඔවුන්ගේ වඩාත් සාර්ථකම පිතිකරුවා බවට පත්වූයේ ද Rossouwයි.

අනතුරුව පිටියට පිවිසෙන්නේ ප්‍රවේගකාරී පිතිකරු Aiden Markaram ය. අංක 4 ස්ථානයේ පිතිකරණයේ යෙදෙන ඔහු පසුගිය සමය පුරාවටම තම ආක්‍රමණශීලී පිතිකරණය මඟින් ඉහළ දායකත්වයක් ලබා දුන් පිතිකරුවෙකි. විශාල පහරවල් කරා යා හැකි විශේෂඥ පිතිකරුවකු වන ඔහු මෑතකාලීනව තම පන්දු යැවීමෙන් ද වර්ධනයක් පෙන්නුම් කළ ක්‍රීඩකයෙකි.

දකුණු අප්‍රිකාව එදාමෙදාතුර T20I තරග රටාවේ බිහිකළ සුපිරිතම පිතිකරුවා වශයෙන් අවිවාදයෙන් තොරව සඳහන් කළ හැකි David Millerට හිමිව ඇත්තේ අංක 5 ස්ථානයයි. වසර 12ක ජාත්‍යන්තර තරග අත්දැකීම් සමඟින් මෙම දකුණු අප්‍රිකානු සංචිතයේ සිටින අත්දැකීම් බහුලතම ක්‍රීඩකයා ද වන Miller තරග නිමාකරන්නෙකු වශයෙන් නමක් දිනා සිටින ඔවුන්ගේ ප්‍රබලතම තුරුම්පුවකි.

ඉන් අනතුරුව පසුපෙළ ශක්තිමත් කිරීම වෙනුවෙන් Tristan Stubbs පිටියට පිවිසෙන්නේ අංක 6 ස්ථානය හිමිකරමිනි. නවක පිතිකරුවෙකු වශයෙන් සුවිශේෂී කුසලතාවක් පෙන්නුම් කරන ඔහු ඔවුන්ගේ විශාලතම අනාගත බලාපොරොත්තුවක් ලෙස හැඳින්විය හැක.

මීට අමතරව සංචිතය තුළ සිටින අනෙක් විශේෂඥ පිතිකරුවන් වන්නේ ආරම්භක පිතිකරු Reeza Hendricks හා මැද පෙළ පිතිකරුවකු මෙන්ම අතිරේක කඩුලු රකින්නෙකු ද වන Heinrich Klaasen ය.

කණ්ඩායමේ දඟපන්දු යැවීමේ අංශය පෙළගැස්වී ඇත්තේ ICC විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් හි සිව්වැනි ස්ථානයේ පසුවන Tabraiz Shamsiගේ ප්‍රමුඛත්වයෙනි.

Shamsiගේ සහයක දඟපන්දු යවන්නා වන Keshav Maharaj වමත් පා දඟපන්දු යවන්නෙකි.

මොවුන් දෙදෙනාට අමතරව පිතිකරණය මූලික කර ගත් දඟපන්දු යවන්නෙකු ලෙසින් ලෙසින් Aiden Markaram කටයුතු කිරීම ඔවුන්ට අමතර ශක්තියකි. මෙම කණ්ඩායමේ සිටින 6 වැනි පන්දු යැවීමේ විකල්පය ඔහුයි.

දකුණු අප්‍රිකානු වේගපන්දු බලඇණිය පෙළගැස්වී ඇත්තේ නම් දැරූ වේගපන්දු යවන ක්‍රීඩක Kagiso Rabadaගේ ප්‍රමුඛත්වයෙනි. වර්තමානයේ සිටින මුල් පෙළේ වේගපන්දු යවන්නෙකු වශයෙන් සැලකෙන Rabada ඔවුන් සතු ප්‍රබලතම අවියකි.

Rabadaගේ සහයක වේගපන්දු යවන්නා වන Anrich Nortje අමතර වේගය මූලික කරගත් වේගපන්දු යවන්නෙකි. ඔවුන් දෙදෙනාම දකුණත් වේගපන්දු යවන්නන් වන අතර ඔවුන්ගේ සහයක තෙවැනි වේගපන්දු යවන්නා වශයෙන් Lungi Ngidi හෝ තුන් ඉරියව් ක්‍රීඩක Wayne Parnell දෙදෙනාගෙන් එක් අයෙකු කටයුතු කරනු ඇත.

සමස්තයක් වශයෙන් මෙම සංයුතිය දක්ෂතා රැසකින් පරිපූර්ණ එකතුවකි. නමුත් ඉතිහාසයේ පැවති අනෙකුත් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලි සඳහා ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායම්වලට සාපේක්ෂව මෙවර කණ්ඩායම තරමක් පසුපසින් සිටින බව අප මෙහි දී පිළිගත යුතු කාරණයක්. ඊට හේතූන් වන්නේ අත්දැකීම් බහුල ක්‍රීඩකයින් අඩුවීම සහ වර්තමාන අනෙක් සංයුති සමඟ සංසන්දයේ දී ඒවායේ දක්ෂතා මීට වඩා තරමක් ඉහළ මට්ටමක පැවතීමයි.

කෙසේ නමුත් මේ සමස්ත දක්ෂතා එකතුව යම් තරගකාරී මට්ටමක සිටින බැවින් කිසිසේත් අවතක්සේරුවට ලක් කළ නොහැකි කණ්ඩායමකි. ඔවුන්ගේ පන්දු යැවීමේ අංශය සාමාන්‍ය මට්ටමක පැවතිය ද පිතිකරණ අංශය වර්තමානයේ තිබෙන ප්‍රබලතම පිතිකරණ බලඇණිවලින් එකක්.

ඒ අනුව දකුණු අප්‍රිකානුවන් සතු මේ සියලු ශක්තීන් සමඟින් ඔවුන්ට හිතකර වේග තණතිලි වල තත්වයන්ට අනුගත වී ප්‍රතිවාදීන්ට අභියෝගයක් වන්නේ කෙසේ දැයි අප විමසිල්ලෙන් බලා සිටිමු.

දකුණු අප්‍රිකානු සංචිතය: Temba Bavuma (c), Quinton de Kock, Heinrich Klaasen, Reeza Hendricks, Keshav Maharaj, Aiden Markram, David Miller, Lungi Ngidi, Anrich Nortje, Wayne Parnell, Kagiso Rabada, Rillee Rossouw, Tabraiz Shamsi, Tristan Stubbs

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<