අයනගේ ශතකය නිසා ඉසිපතනය පෙරමුණ ගනියි

541
Singer U19 Division 1

වයස අවුරුදු 19න් පහළ සිංගර් පාසල් ක්‍රිකට් තරග වාරයේ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයට එරෙහිව අද (17) පැවති තරගයේදී අයන සිරිවර්ධන රැස් කල ශතකය හේතුවෙන් ඔහු ක්‍රීඩා කරන ඉසිපතන විද්‍යාලයට තරගයේ පෙරමුණ ගන්නට හැකිවිය. මීට අමතරව තවත් පාසල් තරග කිහිපයක්ම අද ප්‍රථම දිනයට ආරම්භ විය.  

පසුගිය ලිපි: හලාවත මේරියන්ස් සහ සිංහල ක්‍රීඩා සමාජය ජයග්‍රහණ වාර්තා කරයි

කොළඹ ඉසිපතන විද්‍යාලය සහ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය අතර තරගය

අද උදෑසන පේරාදෙණිය සරසවි ක්‍රීඩාංගණයේදී ආරම්භ වුනු මෙම තරගයේ කාසියේ වාසිය කොළඹ ඉසිපතන විද්‍යාලය සතුවිය.

ඒ අනුව ප්‍රථමයෙන් පිතිකරණයේ යෙදුනු ඔවුන් ප්‍රථම දිනය නිමා වන විට කඩුලු 9ක් දැවී ලකුණු 329ක් ලබා ධනාත්මක තත්වයක පසුවේ. ඉසිපතන විද්‍යාලයේ උපනායක, දකුණත් පිතිකරු අයන සිරිවර්ධන අද වාර්තා කළ ලකුණු 134 මෙවන් ඉහළ ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීම සඳහා ඉසිපතන විද්‍යාලයට මහෝපකාරී විය. මේ වන විට නොදැවී පන්දුවට පහර දෙන ලෙශාන් අමරසිංහ ලකුණු 68ක් ලබාගෙන සිටියි.

කොළඹ ඉසිපතන විද්‍යාලය – කඩුලු 9ක් දැවී ලකුණු 329 (පන්දුවාර 77): අයන සිරිවර්ධන 134, කලණ පෙරේරා 42, ලෙශාන් අමරසිංහ 68*, ඉසුරු ප්‍රබෝධ 2/46, නිපුන කුමාරසිරි 2/59.


හලාවත මාරිස්ටෙලා විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය අතර තරගය

තර්ස්ටන් විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී අද ආරම්භ වුනු මෙම තරගයේ කාසියේ වාසිය ද හිමි වූයේ තර්ස්ටන් පිළටයි. ඒ අනුව ඔවුන් ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා ප්‍රතිවාදී මාරිස්ටෙලා පිතිකරුවන්ට ඇරයුම් කරන ලදී. මාරිස්ටෙලා විද්‍යාලයේ නායක සචිඳු කොළඹගේ ලකුණු 82ක් ද, අශාන් ප්‍රනාන්දු ලකුණු 91ක් ද රැස් කරමින් ඔවුන්ගේ ප්‍රථම ඉනිමේ ලකුණු සංඛ්‍යාව 255ක් දක්වා ඉහළ දමා ගැනීමට ආධාර විය.

තර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක චරණ නානායක්කාර, නවීන් ගුණවර්ධන සහ කුසල් ආදිත්‍ය කඩුලු 3 බැගින් බිඳ හෙලූහ. පිලිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින තර්ස්ටන් විද්‍යාලය ප්‍රථම දිනය සඳහා තරගය නතර කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 57ක් ලබා සිටියි. ඒ අනුව ඔවුන් මාරිස්ටෙලා ප්‍රථම ඉනිමට වඩා ලකුණු 198ක් පසුපසින් සිටින්නේ කඩුලු 6ක් අතැතිවයි.

හලාවත මාරිස්ටෙලා විද්‍යාලය – සියල්ලන්ම දැවී 255 (පන්දුවාර 67.1): අශාන් ප්‍රනාන්දු 91, සචිඳු කොළඹගේ 82, චරණ නානායක්කාර 3/48, නවීන් ගුණවර්ධන 3/80, කුසල් ආදිත්‍ය 3/37.

කොළඹ තර්ස්ටන් විද්‍යාලය – කඩුලු 4ක් දැවී ලකුණු 57 (පන්දුවාර 17.5): 
ඉමේෂ් විරංග 32, පසිඳු උශෙට්ටි 2/04.


මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතර තරගය

කොළඹ බ්ලූම්ෆීල්ඩ් පිටියේදී ආරම්භ වුනු මෙම තරගයේ කාසියේ වාසිය මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සතුවිය. ඒ අනුව මුලින් පිතිකරණයේ යෙදීම තෝරාගත් ඔවුන් ප්‍රථම ඉනිම වෙනුවෙන් ලකුණු 296ක් රැස් කිරීමට සමත් විය. සහන් ප්‍රනාන්දු සහ අවිඳු ප්‍රනාන්දු පිළිවෙලින් ලකුණු 86ක් සහ 87ක් බැගින් ලබා ගනිමින් වේල්ස් කුමර ඉනිම ගොඩ නැගීමට වෙහෙස වූහ. පන්දු යැවීමේදී විහාන් මුදලිගේ කඩුලු 3ක් බිඳ දැමීය. පිලිතුරු ඉනිම ක්‍රීඩා කරන කොළඹ මහානාම විද්‍යාලය එක් කඩුල්ලක් දැවී ලකුණු 48ක් ලබාගෙන වේල්ස් කුමර ප්‍රථම ඉනිමට වඩා ලකුණු 248ක් පිටුපසින් පසුවේ.

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය  296 (පන්දුවාර 75.4): සඳුන් ප්‍රනාන්දු 86, අවිඳු ප්‍රනාන්දු 87, තිලාන් නිමේෂ් 41, විහාන් මුදලිගේ 3/38, නිදූක වැලිකල 2/42, හේශාන් හෙට්ටිආරච්චි 2/42.

කොළඹ මහානාම විද්‍යාලය – එක් කඩුල්ලක් දැවී ලකුණු 48 (පන්දුවාර 17): කවිඳු මුණසිංහ 21.

මෙම සියලුම තරග හෙට (18)දෙවන සහ අවසන් දිනයට ක්‍රියාත්මක වේ.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට