වනිඳු ලෝක කුසලානයේ තරගාවලි වීරයාගේ නාමයන් අතරට

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

528
Wanindu Hasaranga

මේ දිනවල ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වීරයා සම්මානය සඳහා නිර්දේශ වූ ක්‍රීඩකයින් නව දෙනෙකුගේ නාමයන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කර තිබුණා.

මෙවර තරගාවලියේ කණ්ඩායම් වෙනුවෙන් කැපී පෙනෙන දස්කම් දැක්වූ ක්‍රීඩකයින් මෙලෙස නිර්දේශ වී ඇති අතර ඔවුන් සඳහා මනාප ලබා දීමට මෙවර ප්‍රේක්ෂකයින්ට ද අවස්ථාව ලබා දීම විශේෂත්වයක්.

ඉතා උණුසුම් මුහුණුවරක් ගත් මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට එංගලන්තය සහ පාකිස්තාන කණ්ඩායම්වලට පසුගිය දා හැකි වුනා.

එලෙස අවසන් මහා තරගයට කණ්ඩායම් තේරී පත් වෙද්දී තරගාවලිය පුරාවට සිය කණ්ඩායම් ජයග්‍රහණය කරා මෙහෙයවීමට දායකත්වය ලබා දුන් ක්‍රීඩකයින් නව දෙනෙකු මෙලෙස තරගාවලියේ වීරයා සම්මානයට නිර්දේශ කර තිබෙනවා.

එම ක්‍රීඩකයින් අතරට එංගලන්ත ක්‍රීඩකයින් තුනක්, පාකිස්තාන ක්‍රීඩකයින් දෙකක්, ඉන්දීය ක්‍රීඩකයින් දෙකක්, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයෙක් සහ සිම්බාබ්වේ නියෝජනය කරමින් ක්‍රීඩකයෙක් ඇතුළත්.

Virat Kohli (ඉන්දියාව)

අවසන් පූර්ව වටයේ අවාසනාවන්ත ලෙස පරාජය ලැබුවත් මෙවර තරගාවලියේ පිති කරණයෙන් ඉතා ඉහළ දස්කම් දැක්වීමට Virat Kohliට හැකි වුනා.

තරග හයක් තුළ 98.66ක පිතිකරණ සාමාන්‍යයක් රඳවා ගනිමින් ලකුණු 296ක් ලබා ගැනීමට Virat Kohliට හැකි වූ අතර ඔහු පාකිස්තානය සමඟ පැවති තරගයේ දී ලකුණු 82ක් නොදැවී ලබා ගනිමින් ඉතිහාස ගත ජයක් සිය කණ්ඩායමට ලබා දුන්නා.

Suryakumar Yadav (ඉන්දියාව)

තරගාවලියේ අනෙක් සාර්ථක ම ඉන්දීය පිතිකරුවා වූ Suryakumar Yadav ඉතා අගනා ඉනිම් කිහිපයක් ක්‍රීඩා කළ අතර ඔහුගේ පිතිකරණ රටාවට බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමි වුනා.

තරග හයක් පුරාවට ලකුණු 239ක් ලබා ගැනීමට සමත් වූ Suryakumar Yadav පිතිකරණ විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීමේ අංක 01 ස්ථානයට පැමිණීමට ද සමත් වීම විශේෂත්වයක්.

Shadab Khan (පාකිස්තානය)

පාකිස්තාන කණ්ඩායම තරගාවලියේ අවසන් මහා තරගයට රැගෙන යාමට ඉතා විශාල සේවාවක් කළ Shadab Khan තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූවා.

දකුණු අප්‍රිකාව සමඟ පැවති තීරණාත්මක තරගයේ දී කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කරමින් අර්ධ ශතකයක් ලබා ගත් ඔහු තරගාවලියට පුරාවට මෙතෙක් කඩුලු 10ක් ලබා ගෙන ඇත්තේ 6.59ක සාමාන්‍යයක් රඳවා ගනිමිනුයි.

Shaheen Afridi (පාකිස්තානය)

ආබාධයකින් සුවය ලැබීමෙන් පසු පාකිස්තාන සංචිතයට එක් වූ Shaheen Afridi තරගාවලියේ පළමු තරග ද්විත්වයේ කඩුලු රහිත වූවත් අනෙක් තරග හතරේ දී කඩුලු 10ක් ලබා ගැනීමට සමත් වුනා.

තරගාවලියේ මේ දක්වා තරග හයක් තුළ කඩුලු දහයක් ලබා ඇති ඔහු ලකුණු 6.17ක සාමාන්‍යයක් රඳවා ගෙන ඇති අතර එංගලන්තයට එරෙහි අවසන් මහා තරගයේ දී ඔහු පාකිස්තාන කණ්ඩායමට ඉතා තීරණාත්මක ක්‍රීඩකයෙක්.

Sam Curran (එංගලන්තය)

අවසන් පූර්ව වටයේ තරමක් ප්‍රහාරයට පත් වූවත් එංගලන්ත කණ්ඩායමේ අවසන් පන්දුවාර යවමින් සිය කණ්ඩායම අවසන් මහා තරගයට රැගෙන ඒමට විශාල සේවාවක්  Sam Curran සැපයුවා.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට එරෙහි තරගයේ දී කඩුලු 5ක් දවා ගනිමින් සුපිරි පන්දු යැවීමක නිරත වීමට ඔහුට හැකි වූ අතර ඔහු ද මෙම තරගාවලිය පුරාවට කඩුලු 10ක් දවා ගැනීමට සමත්ව තිබෙනවා.

Jos Buttler (එංගලන්තය)

එංගලන්ත කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරමින් ඉන්දියාවට එරෙහි සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ Jos Buttler සිය කණ්ඩායම අවසන් මහා තරගයට ගෙන ඒමට Alex Hales සමඟ අවසන් පූර්ව තරගයේ දී වටිනා සම්බන්ධතාවක් ගොඩ නැගුවා.

තරගාවලිය පුරාවට අර්ධ ශතක දෙකක් ලබා ගත් Buttler මේ දක්වා තරග පහක් තුළ ලකුණු 199ක් ලබා ගැනීමට සමත්ව තිබෙනවා.

Alex Hales (එංගලන්තය)

කලකට පසුව එංගලන්ත සංචිතය එක් වෙමින් තරගාවලිය පුරාවට එංගලන්ත කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වීමට Alex Halesට හැකිව තිබෙනවා.

ඉන්දියාව එරෙහි අවසන් පූර්ව තරගයේ දී වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණයට මඟ පැදූ ඔහු තරගාවලිය පුරාවට මේ දක්වා ලකුණු 211ක් ලබා ගැනීමට සමත්ව ඇත.

Sikandar Raza (සිම්බාබ්වේ)

තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ Sikandar Raza තරග අටක් තුළ ලකුණු 219ක් ලබා ගැනීමට සමත් ව තිබෙනවා.

තරගාවලිය පුරාවට පන්දුවෙන් දස්කම් දක්වමින් කඩුලු 10ක් දවා ගැනීමට සමත් වූ ඔහු පාකිස්තානයට එරෙහි තරගයේ දී ලකුණු 25ට කඩුලු 3ක් දවා ගනිමින් සිය කණ්ඩායමට ඉතිහාස ගත ජයක් ගෙන ආවා.

වනිඳු හසරංග (ශ්‍රී ලංකාව)

ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ අංශයෙන් පෙරමුණ ගත් වනිඳු හසරංග මෙවර තරගාවලියේ මේ දක්වා වැඩිම කඩුලු ලාභියා වීමට සමත්ව ඇත්තේ තරග අටක් තුළ කඩුලු 15ක් දවා ගනිමිනුයි.

ලකුණු 8ක් තුළ කඩුලු 3ක් දවා ගනිමින් මෙවර තරගාවලියේ ඔහුගේ හොඳම පන්දු යැවීම සටහන් කළ වනිඳු පසුගිය තරගාවලියේ ද වැඩිම කඩුලු ලාභියා වීම විශේෂත්වයක්.

ඒ අනුව ඔහුට පිට පිට ලෝක කුසලාන  දෙකක දී වැඩිම කඩුලු ලාභියා වීමට ද වැඩි අවස්ථාවක් පවතී.

තරගාවලියේ වීරයාට මනාප පලකරන්න: https://www.icc-cricket.com/awards/player-of-the-tournament

ICC ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<