ෆරාගේ ලෝක වාර්තාව හිටපු ලෝක ශූරයා අළුත් කරයි

66
Athletics

බ්‍රිතාන්‍ය ජාතික දිගු දුර ධාවන ශූර Mo Farah විසින් පසුගිය වසරේ පිහිට වූ අර්ධ මැරතන් ලෝක වාර්තාව බිඳ හෙළීමට ඉතියෝපියානු ජාතික Keninse Bekele ඊයේ (01) දිනයේ දී සමත් විය.

බ්‍රිතාන්‍යය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වූ සුප්‍රසිද්ධ “ලන්ඩන් අර්ධ මැරතන් තරගය” පැය 1යි තත්පර 22ක කාලයක් තුළදී නිමා කළ Bekele, 2019 වසරේ දී මින් පෙර පිහිටුවා තිබූ වාර්තාවට වඩා විනාඩියයි තත්පර 18ක කාලයකට පෙරාතුව තරගය අවසන් කිරීම මෙහිදී වඩාත් කැපී පෙනුනි.

පැරණි වාර්තාවට හිමිකම් කියූ ලෝක ශූර Mo Farahගේ පාදයේ හටගත් ආබාධයක් නිසාවෙන් මෙවර අදියර සඳහා සහභාගී වීමට තිබූ අවස්ථාව අවාසනාවන්ත අයුරින් ඔහු හට අහිමි වී ගියේය.

Christopher Thompson සමස්ත තරගයේ දෙවන ස්ථානය හිමිකර ගන්නා විට Jake Smith තෙවැන්නා ලෙසින් දිනුම් කණුව අභිබවා දිව ගියේ ඉතාමත් තියුණු, කරට කර සටනක් Bekele හට ලබා දෙමිනි. තවද මෙම අර්ධ මැරතන් තරගය බොහෝ විට ක්‍රීඩකයින් උපයෝගී කරගනුයේ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ප්‍රධාන තරග ඉසව්ව වන “ලන්ඩන් මහා මැරතන් තරගය” සඳහා හොඳින් පෙර සූදානම් වීම සඳහාය.

දැනට ලොව සිටින ප්‍රබලතම මැරතන් ධාවකයින් රැසකගේ සහභාගීත්වයෙන් දියත් කෙරෙන “ලන්ඩන් මහා මැරතන් තරගය” එළඹෙන අප්‍රේල් මස 26 වනදා ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සම්පාදනය කෙරෙමින් පවතින අතර එහිදී වත්මන් ඔලිම්පික් ශූර කෙන්යාවේ Eliud Kipchonge සහ Keninse Bekele එකම ධාවන පථයක දී සටන් වැදීම මේ වන විට බොහෝදෙනාගේ අවධානය දිනා ගැනීමට සමත් වී තිබේ.

ඉතිහාසගත ජයග්‍රහණයෙන් අනතුරුව මාධ්‍ය ඇමතු ලෝක ශූර Bekele එහිදී සඳහන් කර සිටියේ ඊයේ දිනයේ දී ඔහු ධාවන පථයට පිවිසියේ හුදෙක් තරගය ජය ගැනීමේ අරමුණ පමණක් සිතෙහි තබාගෙන බවයි. තවද කාලය පිළිබඳ එතරම් සැලකිල්ලක් නොදැක්වූ නමුත් නව ලෝක වාර්තාවක උරුමකරුවකු බවට පත්වීමට හැකි වීම පිළිබඳව ඔහු සතුට වන බවද පවසා සිටියේය.

“මම මේ කාල සීමාවේ දී ලොකු අවධානයක් දීලා හොඳින් පුහුණුවීම් කටයුතු වල නිරත වෙනවා. මොකද අප්‍රේල් මාසයේ දී තියෙන ප්‍රධාන ලන්ඩන් මැරතන් තරගය ජයග්‍රහණය කිරීම තමයි මගේ මූලිකම අභිප්‍රාය.”

“ඊයේ දිනයේ දී තරගය නරඹන්න පැමිණි සියලුම දෙනාගෙන්ම ඉතාමත් හොඳ සහයෝගයක් ලැබුනා. ඔවුන්ගේ ඒ දිරිගැන්වීම ඉදිරියටත් මම බලාපොරොත්තු වෙනවා.”

ලන්ඩන් සහ රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල තම විශිෂ්ට ධාවනයන්ගෙන් ඒකාලෝක කළ Mo Farah, මීටර 5000 සහ මීටර 10000 යන ඉසව් ද්විත්වයෙන් අත්පත් කරගත් එම සුවිශේෂී සාර්ථකත්වය මැරතන් තරග ඉසව්ව තුළින් දැකගත නොහැකි වීම බොහෝදෙනා හට දැඩි ප්‍රශ්නාර්ථයක් වී ඇත. ඔහු යලිත් වතාවක් තම පූර්ණ අවධානය ඔහුට වඩාත් හුරුපුරුදු තරග ඉසව් දෙක සඳහා පමණක් ලබා දෙනු ඇතැයි ක්‍රීඩා විචාරකයින් මේ වන විට මත පළකර සිටින බවද වාර්තා වේ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<