ඔලිම්පික් සටනට සුදුසුකම් ලැබීමේ පරිසාධන මට්ටම් නිකුත් කෙරේ

230

මෙම වර්ෂයේ පැවැත්වෙන විශාලතම ක්‍රීඩා මංගල්‍යය වන 32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල ජූලි මස 9 වැනිදා ආරම්භ වීමට නියමිතයි. ලොව පුරා නන්දෙසින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පදක්කම් සොයා තරග වදින්නට සිහින දකිද්දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර ටෝකියෝ වෙත යෑමට වරම් ලබන්නේ කවුරුන් දැයි සියල්ලන් මහත් අවධානයෙන් පසුවේ.

අත්වැරැද්දක් නිසා ශ්‍රී ලංකා ඔලිම්පික් බලාපොරොත්තු සුන්වෙයි

32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල මේ වසරේ ජපානයේ ටෝකියෝ නුවර දී පැවැත්වීමට නියමිතයි. පසුගිය දා …

මෙවර ලාංකික ඔලිම්පික් පදක්කම් බලාපොරොත්තු අතර ඉහලින්ම සිටි මැතිල්ඩා කාර්ල්සන්ගේ සහභාගිත්වය අහෝසි වෙමින් පවතින මොහොතක, මින් පෙර පැවති ඔලිම්පික් තරගාවලීන්ට වඩා වැඩි ක්‍රීඩකයින් පිරිසක් මෙවර තරගාවලියට යොමු කිරීමට බලධාරීන් දැනටමත් වැඩ ආරම්භ කර ඇත.

පෙර තරගාවලීන් දෙක සඳහාම සුදුසුකම් ලබා ගැනීමට හැකි වූයේ ක්‍රීඩකයන් 9 දෙනෙකුට පමණි. එම ප්‍රමාණය වැඩි කර ගනිමින් වසර විස්සක් මුළුල්ලේ පවතින පදක්කම් නියඟයට තිත තැබීමට බලධාරීන් මෙන්ම ක්‍රීඩකයන් ද බලාපොරොත්තුවෙන් පසුවේ.

අනෙකුත් තරගාවලීන් මෙන් නොව ඔලිම්පික් සහ ලෝක ශූරතා තරගාවලීන් සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීමේ දී පරිසාධන මට්ටමක් පැනවීමට ඔලිම්පික් බලධාරීන් කටයුතු කරන අතර අදාළ කාල සීමාවේ දී එම මට්ටම ඉක්මවා තිබූ ක්‍රීඩකයන් සඳහා ඔලිම්පික් වරම් හිමි වේ. එයිට අමතරව ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටවල් සඳහා වයිල්ඩ්කාඩ් ක්‍රමයකින් සහභාගි වීමට අවස්ථාව ලබා දීම සතුටට කරුණකි.

ඒ අනුව මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලැබීමේ පරිසාධන මට්ටම් එළිදක්වා තිබූ අතර තෝරා ගැනීමේ කාල සීමාව පසුගිය වසරේ මැයි 1 වැනිදා සිට මේ වර්ෂයේ ජුනි 29 වැනිදා ලෙස දක්වා තිබුණි.

මෙවර ඔලිම්පික් උළෙල ඉලක්ක කරමින් පුහුණුවීම් කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති අතර පෙරට වඩා වැඩි ක්‍රීඩක සහභාගීත්වයක් මගින් පදක්කමක් කරා යාමට බලාපොරොත්තුවෙන් සියල්ලන් කැප වී වැඩ කරනු දක්නට ඇත.

මෙවර ඉසව් සඳහා වන පරිසාධන මට්ටම පහතින්,

ඔලිම්පික් සිහිනය බොඳ වූ මැතිල්ඩා හැර වෙනත් ලාංකික ක්‍රීඩකයෙක් මේ වන විට ඔලිම්පික් පරිසාධන මට්ටම ඉක්මවා නොමැති අතර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කැපී පෙනුණ ක්‍රීඩකයන්ගේ දක්ෂතා සමඟ එම පරිසාධන මට්ටම සසඳා බැලූ විට පහත පරිදි වේ.

100m ඉසව්ව 

මෙම තරගයේ පිරිමි කාණ්ඩය සඳහා පරිසාධන මට්ටම තත්පර 10.05ක් වන අතර ශ්‍රී ලංකා වාර්තාව මෙන්ම දකුණු ආසියානු වාර්තාවට හිමිකම් කියන කෙටි දුර ධාවන ශූර හිමාෂ ඒෂාන්ගේ හොඳම කාලය තත්පර 10.22ක් වේ. එය පරිසාධන මට්ටම හා සලකා බැලීමේ දී තත්පර 0.17ක කාලයක් පසුපසින් ඇත.

200m ඉසව්ව

මෙම ඉසව්වේ පිරිමි කාණ්ඩය සඳහා ඔලිම්පික් පරිසාධන මට්ටම තත්පර 20.24ක් වන අතර එම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියන විනෝජ් සංජයගේ හොඳම කාලය තත්පර 22.68ක් ලෙස සටහන් වේ. එම කාලය අනුව බලන විට පරිසාධන මට්ටමට වඩා තත්පර 0.44ක් කාලයක් පසුපසින් ඇත.

400m ඉසව්ව  

මෙම ඉසව්වේ පිරිමි කාණ්ඩය සඳහා වන ඔලිම්පික් පරිසාධන මට්ටම තත්පර 44.9ක් වන අතර මෙම ඉසව්වේ ජාතික මෙන්ම දකුණු ආසියානු ශූරයා වන අරුණ දර්ශනගේ හොඳම කාලය සටහන් වන්නේ තත්පර 45.78ක්. එය පරිසාධන මට්ටම හා සලකා බැලීමේ දී තත්පර 0.88ක කාලයක් පසුපසින් ඇත.

එම ඉසව්වේ කාන්තා කාණ්ඩය සඳහා පරිසාධන මට්ටම තත්පර 51.35ක් වන අතර එම ඉසව්වෙ ජාතික ශූරිය වන නදීෂාගේ හොඳම කාලය තත්පර 53.03ක් වන අතර එය පරිසාධන මට්ටම් හා සලකා බැලිමේ දී බොහෝ පසුපසින් පවතින අතර පසුගිය දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කැපී පෙනෙන දස්කම් පෑ දිල්ෂි කුමාරසිංහගේ හොඳම කාලය තත්පර 53.40ක් වේ. 

තුන්පිම්ම ඉසව්ව 

මෙම ඉසව්වේ පිරිම කාණ්ඩය සඳහා ඔලිම්පික් පරිසාධන මට්ටම මීටර 17.14ක් වන අතර එම ඉසව්ව සඳහා ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියන ග්‍රේෂන් ධනංජයගේ හොඳම දුර මීටර 16.71ක් ලෙස සටහන් වේ.

එම ඉසව්වේ කාන්තා කාණ්ඩය සඳහා පරිසාධන සීමාව මීටර් 14.32ක් වන අතර එම ඉසව්වේ කැපී පෙනෙන ක්‍රීඩිකාවක් වන ජාතික වාර්තාවේ හිමිකම දරන විදූෂා ලක්ෂානිගේ හොඳම දුර ලෙස මීටර 13.64ක් ලෙස සටහන් වේ. 

මෙලෙස බැලූ විට මෙවරත් ඔලිම්පික් පරිසාධන මට්ටම ඉක්මවා යැයි සිතීමට හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණන ඉතා අඩු බවක් දක්නට ලැබේ. නමුත් අවසාන කාල සීමාව තුල ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවේ සිදු වූ පිබිදීම සහ ක්‍රීඩකයන්ගේ කැපවීම ආදිය බැලූ කල පෙර වසරවලට වඩා වැඩි පිරිසක් මෙවර සහභාගි වීමට වරම් ලබනු ඇතයි සියල්ලන් බලාපොරොත්තුවෙන් පසුවේ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<