De Grasse කැනේඩියානු ඉතිහාසය අලුත් කරයි

32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල

2010

2016 රියෝ ඔලිම්පික් උළෙලේ දී උසේන් බෝල්ට් හමුවේ බිඳ වැටුණු පිරිමි මීටර් 200 ඉසව්වේ රන් පදක්කම් සිහිනය මෙවර ඔලිම්පික් උළෙලේ දී සැබෑවක් කරගැනීමට කැනඩාවේ Andre De Grasse සමත් වුනා. මේ 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ අද (04) සිදු වූ තවත් විශේෂ සිදුවීම් කිහිපයක්. 

මලල ක්‍රීඩා (Athletics) 

පිරිමි මීටර් 200 ධාවන ඉසව්වේ අවසන් තරගය තත්පර 19.62කින් නිමා කරමින් රන් පදක්කම ජයග්‍රහණය කිරීමට කැනඩාවේ Andre De Grasse සමත් වුනේ නව කැනේඩියානු වාර්තාවක් ද පිහිටුවමින්. 1928 වසරෙන් පසුව කැනේඩියානු ජාතිකයෙකු විසින් මීටර් 200 ධාවන ඉසව්වක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්. 

මෙම ඉසව්වේ රිදී පදක්කම තත්පර 19.68ක කාලයක් වාර්තා කළ ඇමරිකා එක්සත් ජනපදයේ Kenneth Bednarek විසින් දිනා ගත් අතර ඇමරිකා එක්සත් ජනපදයේම Noah Lyles විසින් ලෝකඩ පදක්කම දිනා ගත්තේ තත්පර 19.74කින් ඉසව්ව නිමා කරමින්. 

Andre De Grasse විසින් මෙවර ඔලිම්පික් උළෙලේ දී මීටර් 100 ධාවන ඉසව්වේ ද ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර 2016 රියෝ ඔලිම්පික් උළෙලේ දී මීටර් 100 ඉසව්වේ ලෝකඩ පදක්කම, මීටර් 200 ඉසව්වේ රිදී පදක්කම සහ 4×100m ඉසව්වේ ලෝකඩ පදක්කම ද ජයග්‍රහණය කිරීමට සමත් ව තිබෙනවා. 

කාන්තා මීටර් 400 කඩුලු මතින් දිවීම ඉසව්වේ තමා විසින්ම මෙම වසරේ දී පිහිටවූ ලෝක වාර්තාව (51.90) සහ 2008 වසරේ දී ජැමෙයිකාවේ Melaine Walker විසින් පිහිටුවා තිබූ ඔලිම්පික් වාර්තාව (52.64) ද බිඳ හෙළමින් තත්පර 51.46කින් ඉසව්ව නිමා කළ ඇමරිකා එක්සත් ජනපදයේ Sydney McLaughlin රන් පදක්කම දිනා ගත්තා. 

(Sydney McLaughlin තරගය නිමා කරමින්) ඡායාරූපය – olympics.com

තත්පර 51.58ක කාලයක් වාර්තා කළ ඇමරිකා එක්සත් ජනපදයේම Dalilah Muhammad හට රිදී පදක්කම හිමි වූ අතර ඇය 2016 රියෝ ඔලිම්පික් උළෙලේ රන් පදක්කමේ හිමිකාරිය ද වීම විශේෂත්වයක්. 

ලෝකඩ පදක්කම තත්පර 52.03කින් තරගය නිමා කළ නෙදර්ලන්තයේ Femke Bol විසින් හිමි කරගත්තා. 

කාන්තා මීටර් 3000 steeplechase ඉසව්වේ රන් පදක්කම උගන්ඩාවේ Peruth Chemutai (9:01.45) විසින් දිනා ගත් අතර රිදී පදක්කම ඇමරිකා එක්සත් ජනපදයේ Courtney Frerichs (9:04.79) හට හිමි වුනා. කෙන්යාවේ Hyvin Kiyeng (9:05.39) විසින් ලෝකඩ පදක්කම දිනා ගත්තා. 

(Peruth Chemutai අවසන් තරගයේ ධාවනයේ යෙදෙමින්) ඡායාරූපය – olympics.com

වර්තමානයේ මෙම ඉසව්වේ ලෝක වාර්තාවට (8:44.32) හිමිකම් කියනා කෙන්යාවේ Beatrice Chepkoech හට අවසන් තරගයේ දී හත්වැනි ස්ථානය හිමි වීම විශේෂ සිදුවීමක්. 

පිරිමි මිටිය විසි කිරීම ඉසව්වේ රන් පදක්කම හිමි කර ගැනීමට මීටර් 82.52ක දක්ෂතාවයක් දැක්වූ පෝලන්තයේ Wojciech Nowicki සමත් වූ අතර නෝර්වේ රාජ්‍යයේ Eivind Henriksen මීටර් 81.58ක දක්ෂතාවයක් දක්වමින් රිදී පදක්කම දිනා ගත්තා. මීටර් 81.53ක දක්ෂතාවයක් දැක්වූ පෝලන්තයේ Paweł Fajdek හට ලෝකඩ පදක්කම හිමි වුනා. 

පිරිමි මීටර් 800 ධාවන ඉසව්වේ රන් පදක්කම සහ රිදී පදක්කම පිළිවෙළින් කෙන්යාවේ Emmanuel Korir (1:45.06) සහ Ferguson Rotich (1:45.23) විසින් දිනා ගැනීමට සමත් වුනා. එහි ලෝකඩ පදක්කම පෝලන්තයේ Patryk Dobek (1:45.39) විසින් දිනා ගත්තා. 

බයිසිකල් ධාවනය (Cycling) 

නව ලෝක වාර්තාවක් සමඟ පිරිමි කණ්ඩායම් pursuit ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට ඉතාලි කණ්ඩායම (Simone Consonni, Filippo Ganna, Francesco Lamon සහ Jonathan Milan) සමත් වුනා. අවසන් තරගයේ දී මිනිත්තු 3:42.032ක දක්ෂතාවයක් දක්වමින් ඉතාලි කණ්ඩායම බිඳ හෙළීමට සමත් වූයේ ඔවුන් විසින්ම පළමු වටයේ දී පිහිට වූ ලෝක වාර්තාව (3:42.307) වීම විශේෂත්වයක්. 

(ඉතාලියේ Simone Consonni සහ Filippo Ganna තරගයේ ජයග්‍රහණය සමරමින්) ඡායාරූපය – olympics.com

සුදුසුකම් ලැබීමේ වටය අවසානයේ දී නව ඔලිම්පික් වාර්තාවක් (3:45.014) සමඟ පෙරමුණ ගෙන සිටි ඩෙන්මාර්කය (Lasse Norman Hansen, Niklas Larsen, Frederik Rodenberg සහ Rasmus Pedersen) අවසන් තරගයේ දී ඉතාලි කණ්ඩායම හමුවේ පරාජයට පත්වූයේ මිනිත්තු 3:42.198ක කාලයක් වාර්තා කරමින්. 

ලෝකඩ පදක්කම හිමි කරගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම (Kelland O’Brien, Sam Welsford, Leigh Howard සහ Luke Plapp) සමත් වුනා. 

Skateboarding 

මෙවර ඔලිම්පික් උළෙලේ දී නව ක්‍රීඩාවක් ලෙස හඳුන්වා දුන් Skateboarding හි කාන්තා park ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට ජපානයේ 19 හැවිරිදි Sakura Yosozumi සමත් වුනා. 

(Sakura Yosozumi අවසන් තරගවටය අතරතුර) ඡායාරූපය – olympics.com

රිදී පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වූ ජපානයේ Kokona Hiraki තවමත් 12 හැවිරිදි වියේ පසුවන ක්‍රීඩිකාවක වන අතර ‘ඔලිම්පික් උළෙලේ ඕනෑම ඉසව්වක පදක්කමක් ජයග්‍රහණය කළ ළාබාලතම ජපන් ජාතිකයා’ වන්නේ ද ඇයයි. 

‘මහා බ්‍රිතාන්‍යය වෙනුවෙන් ඔලිම්පික් පදක්කමක් ජයග්‍රහණය කළ ළාබාලතම ක්‍රීඩිකාව’ ලෙස ඉතිහාසගත වීමට 13 හැවිරිදි Sky Brown සමත් වුනේ ලෝකඩ පදක්කම ජයග්‍රහණය කරමින්. 

බර එසවීම (Weightlifting) 

පිරිමි +109 kg බර පන්තිය යටතේ තරග වැදුණු ජෝර්ජියාවේ Lasha Talakhadze විසින් තමා සතුවම තිබූ ලෝක වාර්තා තුනක් බිඳ හෙළමින් රන් පදක්කම දිනා ගත්තා. අවසන් තරග වටයේ දී ඔහු විසින් Snatch ක්‍රමයට එසවූ කිලෝග්‍රෑම් 223, Clean & Jerk ක්‍රමයට එසවූ කිලෝග්‍රෑම් 265 සහ ඔහු විසින් එසවූ මුළු බර ප්‍රමාණය වූ කිලෝග්‍රෑම් 488 ද නව ලෝක වාර්තා ලෙස සටහන් වුනා. 

(Lasha Talakhadze අවසන් තරගය අතරතුර) ඡායාරූපය – olympics.com

රිදී පදක්කම ඉරානයේ Ali Davoudi විසින් දිනාගත් අතර සිරියාවේ Man Asaad හට ලෝකඩ පදක්කම හිමි වුනා.

හොකී (Hockey) 

කාන්තා අංශයේ පළමු අවසන් පූර්ව තරගයේ දී ගෝල 5-1ක් ලෙස මහා බ්‍රිතාන්‍යය පරාජයට පත් කිරීමට නෙදර්ලන්තය සමත් වූ අතර ඉන්දියාව පරාජයට පත් කරමින් දෙවැනි අවසන් පූර්ව තරගයේ දී ගෝල 2-1ක තියුණු ජයක් හිමි කර ගැනීමට ආජන්ටිනාව සමත් වුනා. 

ඒ අනුව එළඹෙන 06 වැනිදා රන් පදක්කම සඳහා නෙදර්ලන්තය සමඟ ආජන්ටිනාව තරග වැදීමට නියමිත අතර එදිනම ලෝකඩ පදක්කම සඳහා ඉන්දියාව සහ මහා බ්‍රිතාන්‍යය තරග වැදීමට නියමිතයි. 

තවත් අවසන් තරගවල ප්‍රතිඵල කිහිපයක් සැකෙවින්, 

මල්ලවපොර (Wrestling) 

පිරිමි Greco-Roman 67 kg බර පන්තිය 

  1. රන් පදක්කම – Mohammad Reza Geraei (ඉරානය) 
  2. රිදී පදක්කම – Parviz Nasibov (යුක්‍රේනය) 
  3. ලෝකඩ පදක්කම – Frank Stäbler (ජර්මනිය) සහ Mohamed Ibrahim El-Sayed (ඊජිප්තුව) 

පිරිමි Greco-Roman 87 kg බර පන්තිය 

  1. රන් පදක්කම – Zhan Beleniuk (යුක්‍රේනය) 
  2. රිදී පදක්කම – Viktor Lőrincz (හංගේරියාව) 
  3. ලෝකඩ පදක්කම – Denis Kudla (ජර්මනිය) සහ Zurab Datunashvili (සර්බියාව) 

කාන්තා Freestyle 62 kg බර පන්තිය 

  1. රන් පදක්කම – Yukako Kawai (ජපානය) 
  2. රිදී පදක්කම – Aisuluu Tynybekova (කිර්ගිස්ථානය) 
  3. ලෝකඩ පදක්කම – Iryna Koliadenko (යුක්රේනය) සහ Taybe Yusein (බල්ගේරියාව) 

ඔරු පැදීම (Sailing) 

පිරිමි 470 ඉසව්ව 

  1. රන් පදක්කම – Mathew Belcher සහ William Ryan (ඕස්ට්‍රේලියාව) 
  2. රිදී පදක්කම – Anton Dahlberg සහ Fredrik Bergström (ස්වීඩනය) 
  3. ලෝකඩ පදක්කම – Jordi Xammar සහ Nicolás Rodríguez (ස්පාඥ්ඥය) 

කාන්තා 470 ඉසව්ව 

  1. රන් පදක්කම – Hannah Mills සහ Eilidh McIntyre (මහා බ්‍රිතාන්‍යය) 
  2. රිදී පදක්කම – Agnieszka Skrzypulec සහ Jolanta Ogar (පෝලන්තය) 
  3. ලෝකඩ පදක්කම – Camille Lecointre සහ Aloïse Retornaz (ප්‍රංශය) 

බොක්සිං (Boxing) 

පිරිමි light heavyweight (75-81 kg) බර පන්තිය 

  1. රන් පදක්කම – Arlen López (කියුබාව) 
  2. රිදී පදක්කම – Benjamin Whittaker (මහා බ්‍රිතාන්‍යය) 
  3. ලෝකඩ පදක්කම – Loren Alfonso (අසර්බයිජානය) සහ Imam Khataev (රුසියානු ඔලිම්පික් කමිටුව) 

මැරතන් පිහිනීම (Marathon swimming)

කාන්තා කිලෝමීටර් 10 මැරතන් පිහිනීම ඉසව්ව 

  1. රන් පදක්කම – Ana Marcela Cunha (බ්‍රසීලය) 
  2. රිදී පදක්කම – Sharon van Rouwendaal (නෙදර්ලන්තය) 
  3. ලෝකඩ පදක්කම – Kareena Lee (ඕස්ට්‍රේලියාව) 

Artistic swimming 

Duet Free Routine ඉසව්ව 

  1. රන් පදක්කම – Svetlana Kolesnichenko සහ Svetlana Romashina (රුසියානු ඔලිම්පික් කමිටුව) 
  2. රිදී පදක්කම – Huang Xuechen සහ Sun Wenyan (චීනය) 
  3. ලෝකඩ පදක්කම – Marta Fiedina සහ Anastasiya Savchuk (යුක්රේනය) 

Equestrian 

Individual jumping ඉසව්ව 

  1. රන් පදක්කම – Ben Maher (මහා බ්‍රිතාන්‍යය) 
  2. රිදී පදක්කම – Peder Fredricson (ස්වීඩනය) 
  3. ලෝකඩ පදක්කම – Maikel van der Vleuten (නෙදර්ලන්තය) 

මෙවර ඔලිම්පික් උළෙලේ සාර්ථක 12 වැනි දිනය අවසන් වන විට තවදුරටත් පදක්කම් ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය චීනය විසින් හිමි කරගෙන තිබෙන්නේ රන් පදක්කම් 32ක්, රිදී පදක්කම් 22ක් සහ ලෝකඩ පදක්කම් 16ක් ජයග්‍රහණය කරමින්. 

ඡායාරූපය – olympics.com

ඇමරිකා එක්සත් ජනපදය රන් පදක්කම් 25ක්, රිදී පදක්කම් 31ක් සහ ලෝකඩ පදක්කම් 23ක් සමඟින් දෙවැනි ස්ථානයේ පසුවන අතර සත්කාරක ජපානය රන් පදක්කම් 21ක්, රිදී පදක්කම් 07ක් සහ ලෝකඩ පදක්කම් 12ක් ජයග්‍රහණය කරමින් තෙවැනි ස්ථානයේ පසුවෙනවා. 

හෙට (05) දිනයේ දී මෙවර ඔලිම්පික් උළෙලේ පදක්කම් සඳහා වන තවත් අවසන් තරග 27ක් පැවැත්වීමට නියමිතයි. 

32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල ආවරණය කරන්නට ThePapare.com අපිත් ටෝකියෝවට ගොස් අවසන්. ඔලිම්පික් ක්‍රීඩා පුවත් ඇතුළු තරගාවලියේ සිරි අසිරිය ඡායාරූප, වීඩියෝ ඔස්සේ ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අපි සූදානම්. රැඳී සිටින්න ThePapare.com අපි සමඟින්ම. 

>> 32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙලේ සියලුම තොරතුරු <<