Raina සියලු ආකෘතිවලින් විශ්‍රාම යයි

832

හිටපු ඉන්දීය මෙන්ම උත්තර් ප්‍රදේශ් පිතිකරුවෙකු වන Suresh Raina සියලු ආකෘතිවල ක්‍රිකට් රටාවලින් සමුගන්නා බව ඊයේ (6) නිවේදනය කළා.

35 හැවිරිදි වියේ පසුවන Raina මීට පෙර විදෙස් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගෙන තිබුණේ MS Dhoniගේ විශ්‍රාම ගැනීමේ නිවේදනයෙන් සුළු මොහොතට පසුවයි. ඒ 2020 අගෝස්තු 15 වැනිදායි.

“ඇත්තටම මගේ රට සහ මගේ ප්‍රාන්තය නියෝජනය කරන්නට ලැබීම මට මහත් ගෞරවයක්. මම කැමති දැනුම් දෙන්න මම සියලුම ආකෘතිවල ක්‍රිකට් තරගවලින් විශ්‍රාම ගන්නා බව,” යැයි ඊයේ Twitter ඔස්සේ Raina පවසා තිබුණා.

මෙම තීරණයත් සමඟින් ඔහු හට Road Safety Series තරගාවලිය වැනි තරගාවලි මෙන්ම විදෙස් විස්සයි විස්ස ලීග් තරග ක්‍රීඩා කිරීමට අවකාශය හිමි වනවා.

“මට අවශ්‍යයි තව අවුරුදු දෙක තුනක් ක්‍රීඩා කරන්න. උත්තර ප්‍රදේශ් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් ඔස්සේ අවධානය දිනා ගන්නා උද්යෝගිමත් යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ඉන්නවා. මම දැනටමත් උත්තර් ප්‍රදේශ් ක්‍රිකට් සංගමයෙන් NOC (No Objection Certificate) සහතිකය ලබාගෙන තිබෙනවා. මම BCCI ලේකම් Jay Shah සහ උපසභාපති  Rajiv Shukla වෙත මගේ තීරණය ගැන දන්වා තිබෙනවා.

මම Road Safety Series සඳහා ක්‍රීඩා කරාවි. දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වරලත් (Franchises) විස්සයි විස්ස ලීග් සඳහා මට කතා කරලා තියෙනවා. නමුත් මම තවමත් කිසිම තීරණයක් ගෙන නැහැ.”

Raina 2018 සිට කිසිදු පළමු පෙළ තරගාවලියක් සඳහා ක්‍රීඩා කර නොමැති අතර ඔහු අවසන් වරට IPL තරගාවලියක් සඳහා ක්‍රීඩා කළේ 2021 වසරේ දීයි.

Chennai Super Kings කණ්ඩායමේ සිටි නිත්‍ය ක්‍රීඩකයෙකු වූ Raina IPL තරග වාර 11ක් සඳහා සිය දායකත්වය ලබා දී තිබෙනවා. 2008 සිට 2021 දක්වා IPL නියෝජනය කර ඇති Raina 2010, 2011, 2018 සහ 2021 දී IPL ශූරතාවය සඳහා CSK මෙහෙය වනු ලැබුවා.

එමෙන්ම ඔහු CSK හි වැඩිම ලකුණු ලාභීය ලෙස පෙරමුණේ පසුවන්නේ තරග 176ක දී ලකුණු 4687ක් වාර්තා කරමිනුයි. මේ වන විට ඔහුව CSK වෙතින් නිදහස් කර තිබෙනවා.

ක්‍රීඩා දිවියෙන් විශ්‍රාම යන විට Raina පළමු පෙළ තරග 109ක දී ලකුණු 6871ක් වාර්තා කරගෙන තිබෙනවා. එමෙන්ම List A තරග 302ක දී ලකුණු 8078ක් වාර්තා කරගෙන සිටින Raina විස්සයි විස්ස තරග 336කට සහභාගී වෙමින් රැස්කරගෙන තිබෙන ලකුණු සංඛ්‍යාව 8654ක්. ඔහු ප්‍රථම වරට ඉන්දීය කණ්ඩායම වරම් දිනා ගත්තේ 2005 වසරේ දීයි.

එතැන් පටන් අද දක්වා ඔහු විසින් එක්දින තරග 226ක්, ටෙස්ට් තරග 18ක් සහ විස්සයි විස්ස තරග 78ක දී ඉන්දියාව නියෝජනය කර ඇති අතර 2011 වසරේ එක්දින ලෝක කුසලානය දිනා ගත් ඉන්දීය කණ්ඩායමේ දී ඔහු සාමාජිකයෙක්. සියලු ආකෘතිවලින් ශතක වාර්තා කරන්නට සමත් වූ පළමු ඉන්දියානුවා ඔහුයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<