ලෝක කුසලාන Super League කාලසීමාව දීර්ඝ වෙයි

ලෝක කුසලාන සුපර් ලීගය 2023

5526

බංග්ලාදේශය සහ අයර්ලන්තය අතර පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සැලකිල්ලට ගනිමින් 2023 ලෝක කුසලානය සඳහා වූ සුපර් ලීග් තරගාවලියේ කාලසීමාව දින 45කින් දීර්ඝ කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය ඊයේ (14) තීරණය කර තිබෙනවා.

මීට පෙර එම කාලසීමාව 2023 මාර්තු 30 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබූ නමුත් මෙම තීරණයත් සමඟ එම කාලසීමාව 2023 මැයි දක්වා දීර්ඝ වී තිබෙනවා.

මෙම තීරණය පිළිබඳව තහවුරු කරමින් බංග්ලාදේශ ක්‍රිකට් බලධාරි Nizamuddin Chowdhury ප්‍රකාශ කර තිබුණේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් දීර්ඝ කළ කාලසීමාව තුළ අයර්ලන්ත තරගාවලිය පැවැත්වීමට උත්සහ ගන්නා බවයි.

“ඔව්, ලෝක කුසලාන සුපර් ලීග් තරගාවලියේ කාලසීමාව දීර්ඝ වුනා. බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය සහ අයර්ලන්ත බලධාරීන් එය දීර්ඝ කරන්න කියලා කරපු ඉල්ලීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් භාරගත්තා.

ඒ වගේම අපිට දිගින් දිගටම තරග ක්‍රීඩා කරන්න සිදු වෙලා තියෙන නිසා අයර්ලන්ත තරගාවලියට දිනයක් හොයාගන්න පහසු නෑ. ඒත් මෙම කාලය දීර්ඝ කිරීමත් සමඟ අපිට මැයි මාසයේ දී තරගාවලියට සහභාගි වෙන්න පුළුවන්”, යැයි ඔහු ප්‍රකාශ කළා.

බංග්ලාදේශය අයර්ලන්තයේ සංචාරයක නිරත වීමට 2020 වසරේ දී සැලසුම් කළ නමුත් කොරෝනා වසංගතය නිසාවෙන් එම සැලසුම් සාර්ථක වුනේ නැහැ. අයර්ලන්තය පසුගිය දා ඔවුන්ගේ 2022 තරගාවලි කාලසටහන නිකුත් කළ නමුත් අධික කාර්යබහුලත්වය නිසාවෙන් බංග්ලාදේශ තරගාවලියට ඉඩක් වෙන් කිරීමට ඔවුන්ට හැකිව තිබුණේ නැහැ.

මෙතෙක් පැවති තරගවල ප්‍රතිඵල මත බංග්ලාදේශය ලෝක කුසලාන සුපර් ලීග් තරගාවලියේ පෙරමුණට පැමිණීමට සමත්ව ඇති අතර ඔවුන් දකුණු අප්‍රිකාව සමඟ එක්දින තරගාවලියකට මෙම මාසයේ දී සහභාගී වීමට නියමිතයි.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<