New Youngs හමුවේ Sea Hawksට දැවැන්ත ජයග්‍රහණයක්

Super League 2021

130

සුපර් ලීග් තෙවැනි සතියේ සමාරම්භක තරගයෙන් New Youngs FC පරදා ගෝල 05-00ක් ලෙස දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගන්නට Sea Hawks FC ක්‍රීඩකයින් සමත් වුනා.

මෙරට ප්‍රථම වෘත්තීය පාපන්දු ලීගය වන සුපර් ලීග් පාපන්දු තරගාවලියේ දෙවැනි සතියේ දී Renown ක්‍රීඩකයින් ගෝල 02-00ක් ලෙස පරාජය කරන්නට Sea Hawks ක්‍රීඩකයින් සමත් වුනා. නමුත්  New Youngs ක්‍රීඩකයින්ට පසුගිය සතියත් එතරම් යහපත් එකක් නොවුනේ ඔවුන් Up Country Lions හමුවේ ගෝල 04-01ක් ලෙස පරාජයට පත් වූ නිසාවෙනි.

තරගයේ ප්‍රථම ගෝලය වාර්තා කළේ තරගාරම්භයෙන් මිනිත්තු 30කට පමණ පසුවයි. ඉතාමත් හොඳ පන්දු හුවමාරුවකින් පසුව Sea Hawks ක්‍රීඩක ජේසුදාසන් විසින් ලබා දුන් පන්දුව මොහොමඩ් හස්මීර් විසින් පහසුවෙන් ගෝලය වෙත යොමු කරන්නට සමත් වුනේ තරගයේ 29 වැනි මිනිත්තුවේ දීයි.

පළමු ගෝලයෙන් මිනිත්තු 5ක් යාමටත් මත්තෙන් Sea Hawks ක්‍රීඩකයින් තවත් ගෝලයක් වාර්තා කරන්නට සමත් වුනේ New Youngs ගෝල රකින්නා අන්දමන්ද කරමින්. Sea Hawks වෙනුවෙන් ක්‍රීඩා කරන විදෙස් ක්‍රීඩක Motohiro Kaneshiro විසින් සාර්ථක කර ගත් එම ගෝල වාර්තා වුනේ තරගයේ 31 වැනි මිනිත්තුවේ දීයි.

තරගයේ 44 වැනි මිනිත්තුවේ දී Sea Hawks වෙත ලැබුණු පැති පහරක් හස්මීර් විසින් ගුවනට යොමු කළ අතර එය සාර්ථකව ග්‍රහණය කර ගත් Motohiro Kaneshiro විසින් Sea Hawks වෙත තෙවැනි ගෝලය දිනා දෙන්නට සමත් වුනේ New Youngs පීඩනය තවත් වැඩි කරමින්.

ඉන්පසුව ප්‍රථම අර්ධය අවසන් වන තෙක් ගෝලයක් ලබා ගන්නට දෙපිලේම ක්‍රීඩකයින් අසමත් වූ අතර Sea Hawks හොඳ ඉදිරියක් ලබා ගනිමින් ප්‍රථම අර්ධය නිමා කළේ New Youngsට දැඩි පීඩනයක් එල්ල කරමින්.

දෙවැනි අර්ධයේ ප්‍රථම ගෝලය වාර්තා කරන්නට සමත් වුනේ තරගාවලියේ මේ වන විට වැඩිම ගෝල ලාභියා වන මොහොමඩ් හස්මීර් විසින්. 55 වැනි මිනිත්තුවේ දී සිය සුපුරුදු වම් පාදයෙන් වාර්තා වූ ඒ ගෝලයත් සමඟින් තරගයේ පැහැදිලි ඉදිරිය Sea Hawks සතු වුනා. 

ජපන් ජාතික ක්‍රීඩකයෙකු වන Sea Hawks හි Kaneshiro විසින් තරගයේ ඔහු ලබා ගත් තෙවැනි ගෝලයත් වාර්තා කරන්නට සමත් වුනේ දුර්වල New Youngs ආරක්ෂක පෙළ ක්‍රීඩකයින් අතරින් පන්දුව ගෝලය වෙත එල්ල කරමින්. තරගයේ 75 වැනි මිනිත්තුවේ දී ලබා ගත් එම ගෝලයත් සමඟින් තරගාවලියේ ඔහු විසින් මෙතෙක් වාර්තා කර ඇති සමස්ත ගෝල ගණන 4ක්.

කෙසේ නමුත් එම දර්ශනීය ගෝලයෙන් පසුව කණ්ඩායම් දෙකම කිසිදු ගෝලයක් වාර්තා කරගන්නට අසමත් වූ අතර තරගය අවසන් වුනේ ගෝල 05-00ක් ලෙස Sea Hawks ක්‍රීඩකයින්ට දැවැන්ත ජයග්‍රහණයක පහස ලබා දෙමින්.

අවසන් ලකුණු තත්වය: Sea Hawks FC 05 – 00 New Youngs FC

ගෝල වාර්තා කළ ක්‍රීඩකයින්:

  • Sea Hawks: මොහොමඩ් හස්මීර් (29’, 55’), Motohiro Kaneshiro (31’, 44’, 75’) 

කෙසේ නමුත් මේ තරගයත් සමඟින් අඛණ්ඩව තරග 3ක් ජයග්‍රහණ කරමින් Sea Hawks ප්‍රසාද ලකුණු 6ක් ලබාගෙන ප්‍රසාද ලකුණු පුවරුවේ ප්‍රථම ස්ථානයේ සිටින අතර New Youngs ක්‍රීඩකයින් කිසිදු ලකුණක් නොලබා ප්‍රසාද ලකුණු පුවරුවේ අවසන් ස්ථානයේ පසුවනවා.

තෙවැනි සතියේ තවත් තරග 4ක් පහත පරිදි පැවැත්වීමට නියමිතයි. සියලුම තරග පැවැත්වෙන්නේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දීයි.

සුපර් ලීග් පාපන්දු තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න අප සමඟින්ම.

>>පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට<<