Up Countryට පහසු ජයක්; Red Stars සහ Ratnam සමයි

Super League 2021

180

Super League 2021 පාපන්දු තරගාවලියේ අද (25) පැවති දෙවැනි සතියේ අවසන් තරගවලින් Red Stars FC සහ Ratnam SC අතර තරගය ගෝල රහිතව අවසන් වූ අතර දෙවැනි තරගයෙන් New Youngs FC පරදා ජයග්‍රහණය ලබා ගන්නට Up Country Lions FC සමත් වුනා.

Red Stars – Ratnam 

පෙර තරගයේ ලද විශාල ජයග්‍රහණය නිසාවෙන් Red Stars ක්‍රීඩකයන් ජයග්‍රාහී මානසිකත්වයකින් තරගයට පිවිස තිබුණු අතර තරගාවලියේ පළමු ජයග්‍රහණය ලබා ගැනීමේ අරමුණින් පිටියට පිවිසි Ratnam ක්‍රීඩකයන් සිය ප්‍රතිවාදීන්ට තරගය ආරම්භයේ සිටම ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට සමත් වුනා.

නමුත් තරගයේ 8 වැනි මිනිත්තුවේ දී Red Stars ක්‍රීඩකයන්ට ගෝලයක් ලබා ගැනීමට ලැබුණු විශාල අවස්ථාවක් Ratnam ගෝල රකින්නාගේ සහ පසුපෙළ ක්‍රීඩකයන්ගේ දස්කම් නිසාවෙන් වැළකී ගියා.

එම අර්ධය තුළ ගෝල ලබා ගැනීමට තිබූ අවස්ථා කිහිපයක්ම දෙපිලේම ක්‍රීඩකයන්ට මගහැරී යාම නිසාවෙන් පළමු අර්ධය ගෝල රහිතව අවසන් වුනා.

දෙවැනි අර්ධය ආරම්භයේ සිටම ඉතා කැපී පෙනෙන ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ Ratnam ඉදිරිපෙළ ක්‍රීඩක ඒ. බී. චිත්‍රකුමාර් ගෝලය වෙත එල්ල කළ පහරක් ඉතා දක්ෂ ලෙස එය නවතාලීමට Red Stars ගෝල රකින්නා සමත් වුනා.

තරගය පුරාවටම දෙපිලේම ක්‍රීඩකයන් ඉතාමත් දක්ෂ ලෙස ක්‍රීඩා කිරීමට සමත් වූවත් නියමිත කාලය අවසන් වනතුරු කිසිදු ගෝලයක් වාර්තා කිරීමට දෙපිලම සමත් වුනේ නැහැ.

අවසන් ලකුණු තත්වය: Red Stars FC 0 – 0 Ratnam SC

කහ කාඩ්පත්:

  • Ratnam SC: හශීම් අබ්දුල්ලා 41’, P. Rexon 82’
  • Red Stars FC: මොහොමඩ් රමීස් 50’

තවත් පාපන්දු පුවත්:

New Youngs – Up Country Lions 

තරගාවලියේ පළමු ජයග්‍රහණය ලබමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ලබා ගැනීමේ අරමුණින් දෙපිලේම ක්‍රීඩකයන් තරගයට පිවිස තිබුණා.

තරගයේ 20 වැනි මිනිත්තුවේ දී දඬුවම් රාමුව තුළට පැමිණි පන්දුවකට වේගවත් පහරක් එල්ල කරමින් තරගාවලියේ ගෝල ලබා ගැනීම ආරම්භ කිරීමට Up Country Lions ක්‍රීඩක වසීම් රාසීක් සමත් වුනා.

එයට පිළිතුරු ලෙස 23 වැනි මිනිත්තුවේ දී New Youngs ක්‍රීඩක ජෝයි නිතූෂාන් දඬුවම් රාමුවෙන් එපිට සිට, Up Country Lions නායක සුජාන් පෙරේරා පසුකරමින් ගෝලය වෙත එල්ල කරමින් ගෝල තත්වය සමකිරීමට සමත් වුනා.

එම ගෝලයෙන් පසු පළමු අර්ධය තුළ තවත් ගෝලයක් වාර්තා කිරීමට දෙපිලේම ක්‍රීඩකයන් අසමත් වීම නිසා පළමු අර්ධය ගෝල 1-1ක් ලෙස සමව අවසන් වුනා.

උණුසුම් වූ පළමු අර්ධයෙන් පසු තරගයේ 66 වැනි මිනිත්තුවේ දී Up Country ක්‍රීඩක ශිෆාන් විසින් දක්ෂ ලෙස යොමු කළ පන්දුවක් ගෝලය වෙත ස්ථානගත කරමින් දෙවැනි ගෝලය වාර්තා කරන්නට වසීම් රාසීක්ට හැකි වුනා.

තරගයේ 83 වැනි මිනිත්තුවේ දී නැවතත් ක්‍රියාත්මක වූ රාසීක් දඬුවම් රාමුව තුළ සිට පහරක් එල්ල කරමින් ගෝල ත්‍රිත්වය සම්පූර්ණ කර ගැනීමට සමත් වුනා. එය දේශීය පාපන්දු පිටියේ දී වසීම් ලබා ගත් පළමු ගෝල ත්‍රිත්වයයි.

එම ගෝලයෙන් පසු තරගයේ අවසන් අතිරේක කාලයේ දී ලද දඬුවම් පහරක් සාර්ථකව අවසන් කරමින් සිය කණ්ඩායම ගෝල 4-1ක ජයග්‍රහණයකට රැගෙන යාමට Up Country Lions නායක සුජාන් පෙරේරා සමත් වුනා.

අවසන් ලකුණු තත්වය: Up Country Lions FC 4 – 1 New Youngs FC

ගෝල ලබා ගත් ක්‍රීඩකයින්:

  • Up Country Lions: වසීම් රාසීක් 20’, 66’ & 83’, සුජාන් පෙරේරා 90+3’
  • New Youngs: ජෝයි නිතූෂන් 23’

කහ කාඩ්පත්:

  • Up Country Lions FC: මොහොමඩ් රිකාස් 58’, George Abege 45+2
  • New Youngs FC: කවින් සුචරිත් 39’

තරගාවලියේ දෙවැනි සතිය අවසානයේ දී ප්‍රසාද ලකුණු 6ක් ලබා ගත් Sea Hawks FC ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානයෙත්, ප්‍රසාද ලකුණු 4ක් ලබා ගත් Up Country Lions දෙවැනි ස්ථානයෙත් රැඳී සිටී.

තරගාවලියේ තෙවැනි සතියේ තරග අප්‍රේල් 30 වැනිදා ආරම්භ වීමට නියමිතයි. තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත ගෙන එන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න අප සමඟම.

>>පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට<<