සහිරා ක්‍රීඩකයින් ජයග්‍රාහීව තරගාවලිය අරඹයි

ThePapare පාපන්දු ශූරතාවලිය 2022

701

පාසල් 20ක සහභාගීත්වයෙන් පැවැත්වෙන ThePapare පාපන්දු ශූරතාවලියේ සමාරම්භක සතියේ අවසන් තරගය අද (03) සත්කාරක කොළඹ සහිරා සහ කටුනේරිය සාන්ත සෙබස්තියන් විදුහල් පැවති අතර එහි දී ගෝල 5-1ක් ලෙස තරගය ජයග්‍රහණය කරන්නට සත්කාරකයින් සමත් වුනා.

තරගය ආරම්භ කරමින් සාර්ථකව ලකුණු වාර්තා කරන්නට සහිරා ක්‍රීඩකයින් සමත් වුනේ 13 වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කරමින්. එම ගෝලය සඳහා හිමිකම් කීවේ Mohamed Fazrullah විසිනුයි.

ඉන් අනතුරුව මිනිත්තු 10ක් ගත වෙද්දී සහිරා ලකුණු පුවරුව දෙගුණ කරන්නට Mohamed Aadhil සමත් වුනේ 23 වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කරමිනුයි.

කෙසේ නමුත් තරගයේ ප්‍රථම අර්ධය අවසන් වීමට පෙර සහිරා ලකුණු පුවරුව දෙගුණ කරන්නට ප්‍රතිවාදී කණ්ඩායමේ දිනුක ප්‍රනාන්දු සමත් වුනේ අත්වැරදීමකින් වාර්තා වූ Own Goal අවස්ථාවක් නිසාවෙනුයි.

ගෝල 3-0ක් ලෙස ඉදිරියෙන් සිටිමින් සහිරා ක්‍රීඩකයින් දෙවැනි අර්ධයට පිටියට පිවිසි නමුත් සාන්ත සෙබස්තියන් ක්‍රීඩක එච්. කේ. ප්‍රනාන්දු විසින් මිනිත්තු දෙකක් ගත වෙද්දී ගෝලයක් වාර්තා කරන්නට සමත් වුනා.

නමුත් එය අභියෝගයක් කර නොගත් සහිරා ක්‍රීඩක Mufazzal Ziard 55 වැනි මිනිත්තුවේ දී සහිරා කණ්ඩායමේ සිව්වැනි ගෝලය වාර්තා කළ අතර 83 වැනි මිනිත්තුවේ දී දඬුවම් පහරක් සාර්ථක කර ගත් සහිරා ක්‍රීඩක Mohamed Thariq විසින් ලකුණු පුවරුව 5-1ක් දක්වා ඉහළ දමන්නට සමත් වුනා.

ඒ සමඟින් තරගය නිමාව දුටුවේ සත්කාරක සහිරා ක්‍රීඩකයින් විසින් සාර්ථකව තරගාවලිය සඳහා ආරම්භය ලබා ගනිමිනුයි.

අවසන් ලකුණු තත්වය: සහිරා විද්‍යාලය 5 -1 සාන්ත සෙබස්තියන් විද්‍යාලය

ගෝල ලාභීන්:

  • සහිරා – Mohamed Fazrullah (13’), Mohamed Aadhil (23’), දිනුක ප්‍රනාන්දු (OG – 42’), Mufazzal Ziard (55’), Mohamed Thariq (P – 83’)
  • සාන්ත සෙබස්තියන් – එච්. කේ. ප්‍රනාන්දු (47’)

තරගාවලියේ දෙවැනි සතියේ තරග මේ සතියේ දී ආරම්භ වීමට නියමිතයි. තරගාවලියේ මූලික වටයේ තෝරා ගත් තරග කිහිපයක් සහ අවසන් පූර්ව වටයේ සියලු තරග සජීවීව ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. තරගාවලියේ උණුසුම සමඟ රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<