Defenders සහ Blue Eagles සටන සමයි; Sea Hawks දෙවැනි ජයට

Super League 2021

141

Super League 2021 පාපන්දු තරගාවලියේ අද (24) පැවති තරගවලින් Defenders FC සහ Blue Eagles SC අතර තරගය ගෝල රහිතව අවසන් වූ අතර දෙවැනි තරගයෙන් Renown SC පරදා ජයග්‍රහණය ලබා ගන්නට Sea Hawks FC සමත් වුනා.

Defenders FC – Blue Eagles SC

Defenders ක්‍රීඩකයන් පළමු තරගය ජය පැරදුමකින් තොරව අවසන් කරමින් සහ Blue Eagles ක්‍රීඩකයන් පළමු තරගයේ ලද පරාජයෙන් පසු අද සිය මුල්ම ජයග්‍රහණය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් තරගයට පිවිස තිබුණා.

තරගය ආරම්භයේ සිටම දෙපිලේම ක්‍රීඩකයන් එකිනෙකාට නොදෙවෙනි ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරමින් තරග වදින්නට වූ නමුත් ගෝල ලබා ගැනීමට ලද අවස්ථා කිහිපයක් ඔවුන්ට මගහැරී ගියා.

එම නිසාවෙන් පළමු අර්ධය තුළ දී කිසිදු ගෝලයක් රැස්කිරීමට කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයන් අසමත් වීම නිසා පළමු අර්ධය ගෝල රහිතව අවසන් වුනා.

තරගාවලියේ පළමු ජයග්‍රහණය ලබා ගැනීමේ අදිටනින් කණ්ඩායම් ද්විත්වයම පිටියට පිවිසි නමුත් Defenders ක්‍රීඩකයන් තරගයේ යම් ආධිපත්‍යක් ලබා ගැනීමට සමත් වන අයුරු දක්නට ලැබුණා.

එනමුත් දෙපිලේම පසුපෙළ ක්‍රීඩකයන්ගේ ආරක්ෂිත ක්‍රීඩා විලාශය නිසාවෙන් දෙවැනි අර්ධය තුළ කිසිදු ගෝලයක් ලබා ගැනීමට කණ්ඩායම් ද්විත්වයටම නොහැකි වූ නිසා තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට සිදු වුනා.

අවසන් ලකුණු තත්වය: Defenders FC 0 – 0 Blue Eagles SC

කහ කාඩ්පත්:

  • Blue Eagles SC: ශානක ප්‍රබෝද් 6’ 

තවත් පාපන්දු පුවත්:

Renown SC – Sea Hawks FC

තරගාවලියේ තමන් සහභාගී වූ පළමු තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමෙන් පසු පළමු ජයග්‍රහණය ලැබීමේ අරමුණින් Renown ක්‍රීඩකයන් තරගයට පිවිස තිබුණා.

පෙර තරගයේ ලද ජයග්‍රාහී මානසිකත්වය එලෙසම රඳවා ගත් Sea Hawks ක්‍රීඩකයන් විසින් සිය ප්‍රතිවාදීන්ට තරගය ආරම්භයේ සිටම ප්‍රබල අභියෝගයක් එල්ල කළ අතර තරගයේ 28 වැනි මිනිත්තුවේ දී පළමු ගෝලය වාර්තා කිරීමට Sea Hawks ක්‍රීඩක මොහොමඩ් හස්මීර් සමත් වුනා.

එම ගෝලයෙන් පසු පළමු අර්ධය අවසන් වන තුරුම කිසිදු ගෝලයක් වාර්තා කිරීමට කිසිවෙකු සමත් නොවූ නිසා පළමු අර්ධයේ වැඩි වාසිය Sea Hawks ක්‍රීඩකයන්ට හිමි වුනා.

අසාර්ථක පළමු අර්ධයෙන් පසු පිටියට පිවිසි Renown ක්‍රීඩකයන් සිය ප්‍රතිවාදීන්ට ප්‍රබල පීඩනයක් එල්ල කරමින් තරගයට පිවිසීමට උත්සහ කළා. 

නමුත් තරගයේ 81 වැනි මිනිත්තුවේ දී Sea Hawks ක්‍රීඩක මොහොමඩ් ශාහීල් එල්ල කළ පහරක් Renown ගෝල රකින්නාගේ දුර්වල ක්‍රීඩා විලාශය නිසාවෙන් ගෝල සීමාව පසුකර යෑමෙන් Sea Hawksට තවත් ගෝලයක් හිමි වුනා.

Sea Hawks ක්‍රීඩකයන්ගේ ගෝලයන්ට පිළිතුරු වශයෙන් තරගය අවසන් වන තුරුම කිසිදු ගෝලයක් රැස්කිරීමට Renown ක්‍රීඩකයන් අසමත් වීම නිසා තරගාවලියේ දෙවැනි ජයග්‍රහණය ලබමින් ප්‍රසාද ලකුණු සටහනේ ඉහළටම පැමිණීමට Sea Hawks ක්‍රීඩකයන්ට හැකි වුනා.

අවසන් ලකුණු තත්වය: Renown SC 0 – 2 Sea Hawks FC

ගෝල ලබා ගත් ක්‍රීඩකයින්:

  • Sea Hawks FC: මොහොමඩ් හශ්මීර් 28’, ශාහීල් 81’

කහ කාඩ්පත්:

  • Renown SC: මොහොමඩ් රියාල් 61’
  • Sea Hawks FC: මනරම් පෙරේරා 30’

තරගාවලියේ දෙවන සතියේ අවසන් තරග ද්විත්වය හෙට (25) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. සියලුම තොරතුරු ඔබ වෙත ගෙන එන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න අප සමඟම.

>>පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට<<