Colombo සහ Red Stars ජයග්‍රාහීව තරගාවලිය අරඹයි

Super League 2021

170

‘සුපර් ලීග් 2021’ තරගාවලිය ආරම්භ කරමින් අද (19) දින කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවති තරගයන්ගෙන් New Youngs FC සහ Blue Star SC කණ්ඩායම් පරදවා ජයග්‍රහණ වාර්තා කිරීමට Colombo FC සහ Red Stars FC කණ්ඩායම් සමත් වුනා. 

Colombo FC – New Youngs FC 

ආරම්භයේ සිටම තරගයේ ආධිපත්‍ය සිය කණ්ඩායම වෙත ලබා දුන් Colombo ක්‍රීඩක චමෝද් ඩිල්ෂාන් තරගයේ 15 වන මිනිත්තුවේ දී පළමු ගෝලය වාර්තා කිරීමට සමත් වුනා. 

එම අර්ධය තුළදී තවත් ගෝල වාර්තා කිරීමට දෙපිළෙහිම ක්‍රීඩකයන් උත්සාහ දරූ නමුත් එම උත්සාහයන් සාර්ථක නොවූ නිසා පළමු අර්ධය ගෝල 1-0ක් ලෙස Colombo ක්‍රීඩකයන්ට වාසි ගෙන දෙමින් අවසන් වුනා. 

දෙවන අර්ධයේ 53 වන මිනිත්තුවේ දී ලද දඬුවම් පහරක් සාර්ථකව අවසන් කළ Colombo ප්‍රබල ක්‍රීඩක සර්වාන් ජෝහාර්, සිය කණ්ඩායමට දෙවන ගෝලය වාර්තා කර දීමට සමත් වූ අතර තරගයේ 80 වන මිනිත්තුවේ දී සිය කණ්ඩායම වෙනුවෙන් තෙවන ගෝලය රැස්කිරීමට Momas Yapoට හැකි වුනා. 

තමන් ලබාදුන් ආරම්භය සාර්ථකව අවසන් කරමින් තරගයේ 86 වන මිනිත්තුවේ දී දඬුවම් රාමුව තුළට ලැබුනු පන්දුවක් පහසුවෙන් ගෝලය වෙත යොමු කරමින් සිය දෙවන ගෝලය රැස්කිරීමට චමෝද් ඩිල්ෂාන් සමත් වුනා. 

අවසන් ලකුණු තත්වය : Colombo FC 4 – 0 New Youngs FC 

ගෝල රැස්කළ ක්‍රීඩකයින්

  • Colombo FC : චමෝද් ඩිල්ෂාන් 15’ & 86’, සර්වාන් ජෝහාර් 53’(P), Momas Yapo 86’. 

තවත් පාපන්දු පුවත් කියවන්න

Blue Star SC – Red Stars FC 

තරගයේ 04 වන මිනිත්තුවේ දී ලද දඬුවම් පහරක් සාර්ථකව ගෝලය වෙත එල්ල කරමින් සිය කණ්ඩායමට අවශ්‍ය ආරම්භය ලබා දීමට Red Stars ක්‍රීඩක මොහොමඩ් රහමාන් සමත් වුනා. 

එම ගෝලය වාර්තා කරගැනීමෙන් කෙටි වේලාවකට පසු තරගයේ 10 වන මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ Red Stars විදෙස් ක්‍රීඩක ස්මයිල් අබුමේරි විසින් සිය කණ්ඩායමට දෙවන ගෝලය රැස්කර දීමට සමත් වුනා. 

Blue Star ක්‍රීඩකයන්ගේ අනුවණ ක්‍රීඩා විලාශය නිසාවෙන් තරගයේ 36 වන මිනිත්තුවේ දී ලද දඬුවම් පහරකින් දිනයේ දෙවන ගෝලය රැස්කිරීමට Red Stars ක්‍රීඩක මොහොමඩ් රහමාන් සමත් වූ අතර 41 වන මිනිත්තුවේ දී Blue Star කණ්ඩායම වෙනුවෙන් මුල්ම ගෝලය A. Jerry වාර්තා කළා. 

උණුසුම් වූ පළමු අර්ධයෙන් පසු තරගයේ 56 වන මිනිත්තුවේ දී ගෝල රාමුව තුළට ලද පන්දුවක් ස්ථානගත කර සිය කණ්ඩායමට දෙවන ගෝලය රැස්කරමින් කණ්ඩායමේ බලාපොරොත්තු ඉහළ දැමීමට Blue Star ක්‍රීඩක සෙනාල් සංදේශ් සමත් වුනා. 

නමුත් එම බලාපොරොත්තු සුන්කරමින් තරගයේ 75 වන මිනිත්තුවේ දී නැවත ක්‍රියාත්මක වූ මොහොමඩ් රහමාන් අලංකාර ගෝලයක් රැස්කරමින් තරගාවලියේ පළමු ගෝල ත්‍රිත්වය වාර්තා කිරීමට සමත් වූයේ සිය කණ්ඩායමේ ජය තහවුරු කරමින්. 

අවසන් ලකුණු තත්වය : Blue Star SC 2 – 4 Red Stars FC 

ගෝල රැස්කළ ක්‍රීඩකයින්

  • Blue Star SC: A. Jerry 41’, සෙනාල් සංදේශ් 56’. 
  • Red Stars FC: මොහොමඩ් රහමාන් 3′ (P), 36′ (P), 75′, ඉස්මයිල් අබුමේරී 10’. 

කහ කාඩ්පත ලබාගත් ක්‍රීඩකයින්:  

  • Blue Star SC: තරිඳු එරංග 4’ & 77’, ළහිරු තාරක 24’ & 37’
  • Red Stars FC: ළහිරු තාරක 37’, තරිඳු එරංග 77’ 

>>පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට<<