චන්දිමාල්, ගුරුසිංහ හා හතුරුසිංහ ටෙස්ට් තරගාවලියෙන් ඉවතට

196
Chandimal, Hathurusingha and Gurusingha

ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ හා කළමනාකරු අසංක ගුරුසිංහ යන අය අද (12) ආරම්භ වන තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගී නොවනු ඇත.

චන්දිමාල්ලාගේ පරීක්ෂණය කල් යයි

පසුගිය 27 වැනිදා නිමා වූ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ දෙවන ටෙස්ට් තරගය අතරතුර…

පසුගිය 27 වැනිදා නිමා වූ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේ දෙවන ටෙස්ට් තරගය අතරතුර ශ්‍රී ලංකා කණ්ඩායම විසින් සිදු කළ පැය දෙකක තරග වර්ජනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මේ පරීක්ෂණය සිදු කළ අතර ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ හා කළමනාකරු අසංක ගුරුසිංහ යන අය විසින් ඔවුන් අතින් ICC චර්යා ධර්ම තෙවැනි මට්ටමේ  වරදක් සිදු වූ බව පසුගිය 22 වැනිදා පිළිගත්ත ද ICC විසින් ඒ සම්බන්ධව පරීක්ෂණයක් පවත්වනු ලැබීය.

කෙසේ නමුත් ඊයේ (11) රාත්‍රියේ සිට පුරා පැය හයකට ආසන්න කාලයක් තිස්සේ Skype තාක්ෂණය යොදා ගනිමින් පැවැත්වූ චෝදනා විභාග කිරීමේ පරීක්ෂණය අතරතුර නායක චන්දිමාල්, පුහුණුකරු හතුරුසිංහ හා කළමනාකරු ගුරුසිංහ යන අය ඔවුන් වෙත ඒ සඳහා ලැබෙන අවම දඬුවම වෙන ටෙස්ට් තරග දෙකේ දඬුවම ලබාගෙන දකුණු අප්‍රිකා ටෙස්ට් තරග දෙක සඳහා  සහභාගී නොවීමට තීරණය කර ඇත.

“පරීක්ෂණය පවත්වා අවසන්. චන්දිමාල්, හතුරුසිංහ හා ගුරුසිංහ යන වරද පිළිගත් අය දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරග දෙකට සහභාගී වන්නේ නෑ.” ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මාධ්‍ය අංශය සිය නිල ටිවිටර් ගිණුම ඔස්සේ එසේ ප්‍රකාශ කර තිබුණි.

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් සටනේ වැඩි බර කා හට ද?

සංචාරක දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පුරා මාසයකට..

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පත්කළ එංගලන්ත ජාතික අධි නීතිඥයකු වන මයිකල් බිලෝෆ් විසින් අදාළ පරීක්‍ෂණය මෙහෙයවනු ලැබූ අතර ගැටලුව ඇතිවූ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තරග තීරක ලෙස කටයුතු කළ ජවගල් ශ්‍රීනාත් මහතා ද ඒ සඳහා සහභාගී වී ඇත. මෙම චෝදනා විභාගය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක චන්දිමාල්, පුහුණුකරු හතුරුසිංහ මහතා සහ කළමනාකරු වන ගුරුසිංහ යන තිදෙනාට අමතරව තවත් නීතිඥවරු දෙදෙනකු ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් සහභාගි වී තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විනය නීති සංග්‍රහයට අනුව තෙවැනි මට්ටමේ වරදක් සිදුකළහොත් දඬුවම් ලකුණු 4-8 දක්වා ප්‍රමාණයක් ලැබෙන අතර අවම ටෙස්ට් තරග දෙකක සිට ටෙස්ට් තරග හතරක් දක්වා තරග තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට (ICC) හැකිය. නමුත් එම පරීක්ෂණයේ ප්‍රතිඵලය කුමක්දැයි ICC තවමත් නිල වශයෙන් ප්‍රකාශයක් සිදුකර නොමැත. එසේම පන්දුව පළුදු  කිරීමේ වරද නිසා නායක චන්දිමාල් හට කොදෙව් තරග සංචාරයේ අවසන් ටෙස්ට් තරගය ද මඟ හැරී ගියේය.

ඒ අනුව චන්දිමාල්ගේ නායකත්වයේ වගකීම වේගපන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් වෙත පැවරෙනු ඇත. තවද ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කළ තිලාන් සමරවීර මේ තරගාවලිය තුල ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩ බලන පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇති අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර ක්‍රිකට් සබඳතා පිළිබඳව කටයුතු සිදු කරන චන්දිම මාපටුන මහතා අසංක ගුරුසිංහ මහතා වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ලෙස වැඩ කටයුතු කරනු ඇත.

චන්දිමාල්ට දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරග දෙක පැවැත්වෙන කාලය තුල කණ්ඩායම සමඟ සිටිය හැකි අතර හතුරුසිංහ හා ගුරුසිංහ යන අය හට එම තරග දෙකම නැරඹීමට පමණක් පැමිණීමට හැකිය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<