තවත් කොදෙව් ක්‍රීඩකයෙක් ශ්‍රී ලංකා තරගාවලියෙන් ඉවතට

1158

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන Sunil Narine ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලිය සඳහා නම් කළ සංචිතයෙන් ඉවත් වී තිබෙනවා.

ඒ ඔහු ජාත්‍යන්තර විස්සයි විස්ස තරග සඳහා එක්වීමට සූදානම් නොමැති බව පවසමින්. කලක් කොදෙව් කණ්ඩායමෙන් ඉවත්ව සිටි Narine ශ්‍රී ලංකා තරගාවලිය සඳහා නැවතත් කණ්ඩායමට එක්වීමට නියමිතව තිබුණා.

2019 වසරේ දී Sunil Narine ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් වූ ගැටලුකාරී තත්ත්වයක් නිසා තරග තහනමකට ලක්ව සිටි අතර එම වසරෙන් පසුව කොදෙව් කණ්ඩායම නියෝජනය කළේ නැහැ. 

නමුත් ඔහුගේ පන්දු යැවීම නිවැරදි බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් තීරණය කර තිබුණා.

“Sunil Narine අපිට දැනුම් දුන්නා ඔහු තවමත් ජාත්‍යන්තර තරගවලට ක්‍රීඩා කරන්න සූදානම් නැහැ කියලා. ඔහු තවමත් ජාත්‍යන්තර තරගවලට සහභාගී වෙන්න සූදානම් වෙමින් ඉන්නවා කියලා කිව්වා. ඒ නිසා ඔහු මෙම තරගාවලියෙන් ඉවත් කරන්න අපි තීරණය කළා”, කොදෙව් කණ්ඩායමේ තේරීම් කමිටු ප්‍රධානියා වන Roger Harper ESPNcricinfo වෙබ් අඩවිය වෙත පවසා සිටියා.

Sunil Narine තරගාවලියෙන් ඉවත් වීමත් සමඟින් කොදෙව් කණ්ඩායමේ ප්‍රධාන දඟපන්දු යවන්නන් ලෙස Akael Hosein, Kevin Sinclair සහ Fabian Allen කටයුතු කිරීමට නියමිතයි.

මේ දිනවල පැවැත්වෙන Super50 තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වන Gudakesh Motie ද ඉදිරි තෝරාගැනීම් සඳහා සලකා බලන බව Roger Harper තහවුරු කර තිබෙනවා. 

“Motie ගැන අපේ අවධානය යොමු වෙලා තියනවා. ඒත් මේ තරගාවලිය සඳහා අපි Akael Hoseinට අවස්ථාවක් දෙන්න වැඩි ඉඩක් තියනවා.” 

තවත් ක්‍රිකට් පුවත්:

මේ අතර ශ්‍රී ලංකාව සමඟින් පැවැත්වීමට නියමිත විස්සයි විස්ස සහ එක්දින තරගාවලිය සඳහා නම් කළ සංචිතයෙන් Sheldon Cottrel, Shimron Hetmyer සහ Oshane Thomas ඉවත්කර තිබෙනවා. ඒ තරගාවලියට පෙර පැවති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් වීම හේතුවෙන්. 

“අපි තීරණය කළා මේ වතාවේ ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් කිසිදු ක්‍රීඩකයෙකුට වෙනසක් නොකරන්න. අපි ක්‍රීඩකයන්ට කලින්ම දැනුම් දුන්නා ඔවුන් මේ පරීක්ෂණය අසමත් වුනොත් කිසිම විදිහකින් ඔවුන්ව සහභාගී කරගන්නේ නැහැ කියලා”, කොදෙව් ක්‍රිකට් අධ්‍යක්ෂ Jimmy Adams පවසා සිටියා.

“යෝග්‍යතා පරීක්ෂණවලට අපි ගොඩක් කරුණු සලකා බැලුවා. ඔවුන්ගේ වයස, පෞද්ගලික ශාරීරික ගැටලු, ආබාධ සම්බන්ධයෙන් වන ඉතිහාසය සහ පුහුණුවීම් කළ ආකාරය මූලික වශයෙන් සොයා බැලුවා.” 

කොදෙව් කණ්ඩායම සඳහා Fidel Edwards කැඳවා තිබීම බොහෝ දෙනාගේ අවධානයට යොමුව තිබුණා. මේ පිළිබඳව අදහස් දක්වමින් Roger Harper පවසා සිටියේ Oshane Thomas තරගාවලිය සඳහා සහභාගී නොවීම නිසා Edwards හට අවස්ථාවක් ලබා දීමට ඔවුන් තීරණය කළ බවයි. 

Fidel Edwards කොදෙව් කණ්ඩායම නියෝජනය කරන්නේ වසර 8කට පසුව වීම විශේෂත්වයක්.

“අපි අපේ කණ්ඩායම සකස් කරන්නේ විස්සයි විස්ස ලෝක කුසලානය ඉලක්ක කරගෙන. ඒ නිසා අපි හැම ආකාරයකම කණ්ඩායම් අත්හදා බලන්න උත්සාහ කරනවා. ඒකෙන් අපිට පුළුවන් වේවි හොඳම සංචිතය තෝරාගන්න. Oshane Thomas වගේ ක්‍රීඩකයෙක්ගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඉක්මන් කඩුලු කීපයක් ලබා ගන්න. ඔහු පසුගිය කාලය තුල ඒක කරලා පෙන්නුවා. ඔහු මේ තරගාවලිය සඳහා සහභාගී නොවීමත් එක්ක ඔහුගේ කාර්‍යභාරය ඉටු කරන්න පුළුවන් පන්දු යවන්නෙක් අපි යොදාගන්න ඕනේ. ඒක තමයි අපි Fidel Edwardsගෙන් බලාපොරොත්තු වෙන්නේ”, Roger Harper පවසා සිටියා.

ශ්‍රී ලංකා කණ්ඩායම කොදෙව් සංචාරය අතරතුර විස්සයි විස්ස තරග 3ක්, එක්දින තරග 3ක් සහ ටෙස්ට් තරග 2ක් සඳහා සහභාගී වීමට නියමිතයි. 

විස්සයි විස්ස තරගාවලිය සඳහා නම් කළ කොදෙව් සංචිතය: Kieron Pollard (නායක), Nicholas Pooran, Fabian Allen Dwayne Bravo, Fidel Edwards, Andre Fletcher, Chris Gayle, Jason Holder, Akeal Hosein, Evin Lewis, Obed McCoy, Rovman Powell, Lendl Simmons, Kevin Sinclair.

එක්දින තරගාවලිය සඳහා නම් කළ කොදෙව් සංචිතය: Kieron Pollard (නායක), Shai Hope, Fabian Allen, Darren Bravo, Jason Holder, Akeal Hosein, Alzarri Joseph, Evin Lewis, Kyle Mayers, Jason Mohammed, Nicholas Pooran, Romario Shepherd, Kevin Sinclair.

ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය එළඹෙන මාර්තු මස 4 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<