වාර්තා පිට වාර්තා බිහිවූ ටෙස්ට් තරගයක නොදන්නා තොරතුරු

295

ඉන්දියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ තුන්වැනි ටෙස්ට් තරගය ඊයේ (25) නිමා වුනේ ඉන්දීය කණ්ඩායමට කඩුලු 10ක ජයග්‍රහණයක් හිමිකර දෙමින්.

තරගය පැවැත්වුණු අහමදාබාද්හි හි Motera ක්‍රීඩාංගණයේ තණතීරුව දඟපන්දු යවන්නන්ගේ පාරාදීසයක් වෙද්දී, Axar Patel සහ Ravichandran Ashwin දින දෙකක දී තරගය නිමා කිරීමට සමත් වුනා.

තරගයේ තණතීරුව පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබුණා. කණ්ඩායම් දෙකටම පන්දුවට පහර දීමට ඉතාමත් අසීරු වුනා. කිසිදු කණ්ඩායමක් ලකුණු 150 සීමාව හෝ පසුකර යාමට සමත්නොවීම විශේෂත්වයක්.

එංගලන්ත කණ්ඩායම පළමු ඉනිමේ දී ලකුණු 112කට දැවී ගිය අතර ඉන්දීය කණ්ඩායම වාර්තා කළේ ලකුණු 145ක් පමණයි. එංගලන්ත දෙවන ඉනිම ලකුණු 81කට සීමා වූ අතර ඉන්දීය කණ්ඩායම කිසිදු කඩුල්ලක් නොදැවි ජයග්‍රාහී ලකුණු 49 පසුකර යාමට සමත් වුනා.

මෙම තරගය දින දෙකක් තුල නිමා වීමත් සමඟින් එය අවම දින ගණනක් ක්‍රීඩා කළ ටෙස්ට් තරග වාර්තාව ද සමකිරීමට සමත් වුනා.

ඉන්දීය කණ්ඩායමක් දින දෙකක් තුල ටෙස්ට් තරගයක් නිමා කළ දෙවන අවස්ථාව ලෙස මෙය වාර්තා වුනා. 2018 වසරේ පැවති ඇෆ්ගනිස්තාන ටෙස්ට් තරගයේ දී ඉන්දීය කණ්ඩායම ඉනිමකින් සහ ලකුණු 262කින් ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුනේ දින දෙකක් තුල දීයි.

ඉන්දීය – එංගලන්ත තුන්වැනි ටෙස්ට් තරගය දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් ලෙස පැවැත්වුනා. ඒ අනුව දින දෙකක් තුල නිමා වූ දෙවන දිවා රාත්‍රී ටෙස්ට් තරගය මෙයයි. මීට පෙර දකුණු අප්‍රිකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර 2017 වසරේ දී පැවති දිවා රාත්‍රී ටෙස්ට් තරග ද දින දෙකක් තුල දී නිමා වුනා.

ටෙස්ට් තරග ඉතිහාසය තුල දින දෙකක් තුල නිමා වූ තරග 21ක් වාර්තා වනවා. 2000 වසරෙන් පසු එවන් තරග වාර්තා වන්නේ 6ක් පමණයි.

මෙම තරගය තුල යවා තිබුණේ පන්දු 842ක් පමණක් වීමත් විශේෂත්වයක්. එය ඉන්දීය කණ්ඩායමක් ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කළ අවම පන්දු සංඛ්‍යාව ලෙස සටහන් වුනා.

2000 වසරට පෙර දින දෙකක් තුල නිමා වූ ටෙස්ට් තරගයක් වාර්තා වන්නේ 1946 වසරේ දීයි. ඒ නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවති ටෙස්ට් තරගයකින්.

තවත් ක්‍රිකට් පුවත්:

2000 – 2018 කාල සීමාව තුල දින දෙකක් තුල නිමා වූ ටෙස්ට් තරග 6ක් වාර්තා වනවා.

මෙම තරගයට පෙර 1946 වසරේ සිට ටෙස්ට් තරග තුල තරග දෙකක් හෝ ඊට වැඩි ගණනක් දින දෙකක් තුල ජයග්‍රහණය කිරීමට සමත්ව ඇත්තේ ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය පමණි. මෙම ජයග්‍රහණයත් සමඟින් ඉන්දීය කණ්ඩායම ද එම ලැයිස්තුවට එක්වුනා.

දින දෙකක් තුල නිමා වූ ටෙස්ට් තරග පිළිබඳව පළමුවෙන් වාර්තා වන්නේ 1882 වසරේ දීයි. ඒ ඕස්ට්‍රේලියා කණ්ඩායම එංගලන්තය දින දෙකක් තුල පරාජය කිරීමත් සමඟින්. 1800 ශතවර්ෂය තුල ටෙස්ට් තරග 9ක් දින දෙකක් තුල නිමා වී තිබෙනවා. 1900 ශතවර්ෂය තුල එවන් තරග වාර්තා වන්නේ 6ක් පමණයි. 21 වැනි සියවස තුල මේ වන විට ටෙස්ට් තරග 7ක් දින දෙකක් තුල නිමා වී තිබීම විශේෂත්වයක්.

එංගලන්ත කණ්ඩායම මෙම තරගයේ පළමු ඉනිමේ දී ම දැඩි පසුබෑමකට ලක්ව සිටි අතර ආරම්භක පිතිකරු Zak Crawleyගේ හුදකලා සටනක් පමණක් දැකගැනීමට හැකි වුනා. ඔහු ලකුණු 54ක් වාර්තා කළ අතර සෙසු කිසිදු ක්‍රීඩකයෙකු ලකුණු 20 සීමාව පසුකර යාමට සමත් වුනේ නැහැ. එංගලන්ත පළමු ඉනිමේ සියලු කඩුලු ඉන්දීය දඟපන්දු යවන්නන් වූ Axar Patel සහ Ravichandran Ashwin සතු වුනා.

ඉන්දීය පළමු ඉනිම ලකුණු 145කට සීමා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුනේ නායක Joe Rootගේ පන්දු යැවීමත් සමඟින්. ඔහු ඉන්දීය ඉනිමේ කඩුලු 5ක් දවා ගැනීමට සමත් වුනා.

ලකුණු 33ක් පසුපසින් සිටිමින් සිය දෙවන ඉනිම ආරම්භ කළ එංගලන්ත කණ්ඩායමට සාර්ථක වීමට කිසිදු ඉඩක් ඉන්දීය පන්දු යවන්නන් ලබා දුන්නේ නැහැ. එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Ben Stokes වාර්තා කළේ ලකුණු 25ක් පමණයි. නැවතත් ක්‍රියාත්මක වූ Axar Patel සහ Ravichandran Ashwin එංගලන්ත ඉනිම ලකුණු 81කට සීමා කළා. සිය දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන Axar Patel තරගයේ කඩුලු 11ක් දවා ගැනීමට සමත් වුනා. තරගයේ වීරයා සම්මානය ද ඔහු සතු වුනා.

එංගලන්ත කණ්ඩායම මෙම තරගය පරාජය වීමත් සමඟින් ඔවුන්ට ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට පිවිසීමේ හැකියාව අහිමි වුනා. එහි අවසන් තරගයට නවසීලන්තය මේ වන විටත් සුදුසුකම් ලබා සිටින අතර අනෙක් කණ්ඩායම බවට පත්වීමට ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර තියුණු සටහන් නිර්මාණය වී තිබෙනවා.

ඉන්දීය – එංගලන්ත සිව්වැනි සහ අවසන් ටෙස්ට් තරගය එළඹෙන මාර්තු මස 04 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<