විශ්ව සුපුන්ගෙන් රුහුණු නිල් සටනට මෙවරත් ශතකයක්

124th Battle of the Blues Ruhuna

121

මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය සහ සාන්ත තෝමස් විද්‍යාලය අතර 124 වැනි වරටත් පැවැති “රුහුණු නිල් මහා සටන” වාර්ෂික මහා ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී නිමා වූවා.  

එසේ නිමා වූ තරගයේ වඩාත් කැපී පෙණෙන ක්‍රීඩකයා බවට පත් වෙන්නේ සාන්ත සර්වේශස් විද්‍යාලයේ විශ්ව සුපුන්. ඔහු ගිය වර වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ දී සේ ම මෙවර ද ශතකයක් වාර්තා කරමින් රුහුණු නිල් සටන් ඉතිහාසයට පිට පිට වසර දෙකක දී ශතක දායාද කළ පළමු ක්‍රීඩකයා බවට පත් වීමට සමත් වූවා.  

සාන්ත සර්වේශස් විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දෙමින් තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 131ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සාන්ත තෝමස් විද්‍යාලය තම පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 200ක් ලබා ගනිමින් ඉනිම අත් හිටවූවා. 

ඒ අනුව ලකුණු 69ක් පිටුපස සිටිමින් පිටියට පිවිසි සාන්ත සර්වේශස් විද්‍යාලය තම දෙවැනි ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 236ක් ලබා ගත්තා. ජයග්‍රහණය සඳහා ලකුණු 168ක ඉලක්කයක් වෙනුවෙන් තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගය නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 22ක් ලබා සිටියා.  

Battle of the Blues Ruhuna, මාතර, 22, 23, 24 මාර්තු 2024 

  • කාසියේ වාසිය – සාන්ත තෝමස් විද්‍යාලය 
  • ක්‍රීඩාංගණය – උයන්වත්ත ක්‍රීඩාංගණය, මාතර 

තරගයේ දෙවැනි දිනය නිමාවේ දී සාන්ත තෝමස් ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 200ක් ලබා සිටි අතර ඒ අනුව ඔවුන් එපමණකින් සෑහීමකට පත් වී ඉනිම අත් හිටවූවා.  

ලකුණු 69ක් පිටුපස සිටිමින් අවසන් දිනයේ දී පිටියට පිවිසි සාන්ත සර්වේශස් ක්‍රීඩකයෝ පෙර වැරදි මග හරවා ගනිමින් එම ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 236ක් ලබා ගත්තා.  

එම ඉනිම වෙනුවෙන් විශ්ව සුපුන් පන්දු 188කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් ලකුණු 106ක් ලබා ගනිමින් මෙවර තරගයේ එක ම ශතකලාභියා බවට පත් වුනා. ඔහුත් සමඟ එක් වු නායක දිනිරු අබේවික්‍රමසිංහ පන්දු 115කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 53ක් ලබා ගත්තා. 

ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ලට ලකුණු 108ක සබඳතාවක් ගොඩ නැගුණා. ඊට පසුව කඩුල්ලේ දී ද ලකුණු 70ක සබඳතාවක් එක් කිරීමට විශ්ව සුපුන් සහ රවීන් කවින්ත සමත් වූවා. රවීන් කවින්ත පන්දු 70කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 32ක් ලබා ගත්තා.  

ඔවුන් මෙම කඩුලු ද්විත්වයේ දී අර්ධ ශතක ඉක්මනව සබඳතා එක් කරන්නේ කඩුලු 3ක් ලකුණු 15කට දැවී ගොස් තිබිය දී වීම විශේෂත්වයක්.  

ඔවුන් තිදෙනාට අමතර ව විරාන් චමුදිත පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 25ක් ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී පෙසඳු සංජන ලකුණු 27කට කඩුලු 3ක් දවා ගන්නා ලද අතර ඊට අමතර ව නවිජ ද සේරම් සහ සෙනුර අබේසේකර කඩුලු 2ක් බැගින් ද සහ මනුග ගුරුගේ කඩුල්ලක් බැගින් ද දවා ගත්තා.  

ජයග්‍රහණය සඳහා ලකුණු 168ක් පිටුපසින් සිටි සාන්ත තෝමස් විද්‍යාලයට එය හඹා යෑමට තරම් කාලයක් ලැබුනේ නැහැ. ඔවුන්ගේ දෙවැනි ඉනිම පන්දුවාර 5කට පමණක් සීමා වූ අතර ඒ වෙද්දී ඔවුන් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 22ක් ලබා සිටියා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

සාන්ත සර්වේශස් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 131 (43.0) රිසිනු කිත්නුක 28, විශ්ව සුපුන් 32, රවීන් කවින්ත 27, නවිජ ද සේරම් 5/44, මනුග ගුරුගේ 2/26 

සාන්ත තෝමස් විදයාලය – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 200 (105.0) නවිජ ද සේරම් 49, පෙසඳු සංජන් 28, කුමේෂ් නුවන්ජන නොදැවී 53, විරාන් චමුදිත 6/51 

සාන්ත සර්වේශස් විද්‍යාලය – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 236 (76.2) විශ්ව සුපුන් 106, දිනිරු අබේවික්‍රමසිංහ 53, රවීන් කවින්ත 32, විරාන් චමුදිත 25, නවිජ ද සේරම් 2/64, පෙසඳු සංජන් 3/27, සෙනුර අබේසේකර 2/39 

සාන්ත තෝමස් විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 22 (5.0) අබ්දුල් මජීඩ් 10, නවිජ ද සේරම් නොදැවී 6 

තරගයේ විසඳුමක් නෑ. 

තරගයේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ දී පාසල් දෙකේ ක්‍රීඩකයන් වෙන් වෙන් ව ඇගයුණ අතර ඒ අනුව සම්මාන ලැබූ ක්‍රීඩකයන්ගේ ලැයිස්තුව මෙසේයි. 

සාන්ත තෝමස් විද්‍යාලය 

  • දක්ෂතම පන්දු රකින්නා – අබ්ලුල් මජීඩ්
  • දක්ෂතම පන්දු යවන්නා – නවිජ ද සේරම්
  • දක්ෂතම පිතිකරු – කුමේෂ් නුවන්ජන

සාන්ත සර්වේශස් විද්‍යාලය 

  • දක්ෂතම පන්දු රකින්නා – දිනුරු අබේවික්‍රම
  • දක්ෂතම පන්දු යවන්නා – විරාන් චමුදිත
  • දක්ෂතම පිතිකරු – විශ්ව සුපුන්

දෙවිදුහල් අතර පැවැත්වෙන් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය මේ මස 30 වැනිදා උයන්වත්ත ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතයි. 

තවත් වාර්ෂික මහා ක්‍රිකට් තරග සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව වන ThePapare.com සමඟින්.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<