කැලේ මාරු වුනාට Akashගේ පුල්ලි මාරු වෙලා නැහැ!

3325

ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සිය ඉන්ජිනේරු වෘත්තයට තිත තැබූ ක්‍රීඩකයකු මේ දිනවල ඉන්දියාවේ ප්‍රධානතම මාතෘකාවක් බවට පත් වී තිබෙනවා.

ටෙනිස් පන්දුවෙන් ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කරමින් නව යොවුන් විය පසු වුනාටත් පසුව ලෙදර් පන්දුවට අතට ගත් Mumbai Indians කණ්ඩායමේ නවතම වේගපන්දු තරුව Akash Madhwal පිළිබඳ ඉන්දියාවෙන් ඇහෙන්නෙ තරමක් විශේෂ කතාවක්.

මෙවර IPL තරගාවලියේ Eliminator තරගයේ දී Lucknow Super Giants කණ්ඩායමට යනඑන මං නැති කිරීමට සමත් වූ Akash විසින් එහි දී ප්‍රතිවාදීන් හට ලකුණු 5ක් පමණක් ලබා දෙමින් කඩුලු 5ක් බිඳ හෙළීමට සමත් වුනා.

Akashගේ මෙම පන්දු යැවීම ඔහු පිළිබඳ කතාබහක් නිර්මාණය කිරීමට ප්‍රමාණවත් වූ අතර, පසුව ඔහුගේ අතීතය සොයා යන ඉන්දියානුවන්ට මුණ ගැහෙන්නේ හිතුවාටත් වඩා වෙනස් විදිහේ කතා වස්තුවක්.

ක්‍රිකට් ක්‍රීඩාවට ඇති ඇල්ම නිසා සිය වෘත්තීය වූ ඉන්ජිනේරු රැකියාව පසකට දැමූ Akash විසින් ඉන්දියාවේ Uttarakhand හි සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩා කිරීමට යොමු වෙනවා. මේ අතර 2018 වසරේ දී මෙම Uttarakhand ප්‍රාදේශීය කණ්ඩායමට BCCI හි අනුමැතිය හිමි වන අතර ඉන්පසුව Akash හට සිය ක්‍රිකට් ජීවිතය දිනෙන් දින ම ඉහළට ගෙන යාමටත් අවස්ථාව උදා වනවා.

මේ සමඟම Uttarakhand කණ්ඩායම නියෝජනය කරමින් පළමු පෙළ තරග ක්‍රීඩා කරමින් පන්දු යැවීමෙන් දක්ෂතා පෙන්වීමට සමත් වන Akash හට 2019 වසරේ දී Royal Challengers Bangalore කණ්ඩායම සමඟ දැල් තුල පන්දු යවන්නෙකු ලෙස එක් වීමට ලැබෙනවා.

පසුව ඔහුට Mumbai Indians කණ්ඩායමේ දැල් පන්දු යවන්නෙකු ලෙස ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වන අතර එහි දී ඔහුට ලැබෙන සුළු අවස්ථාවෙන් පවා තමන් උපරිම ප්‍රයෝජන ලබා ගත් බවයි Aksh පවසා සිටින්නේ.

“ඔවුන් ඔබට පුහුණු තරග ලබා දෙනවා. ඒවායේ දී ඔබට ඔබේ ශක්‍යතාව පෙන්වන්න අවස්ථාව ලැබෙනවා. කණ්ඩායම ඔබ දෙස බලාගෙනයි ඉන්නේ. ඔවුන් ඔබ ගැන බලා ගන්නවා.”

ඔහුට Mumbai Indians සමඟ පසුගිය වසරේ තරග දෙකක් ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වූ අතර, මේ වසරේ දී තවත් අවස්ථාව ලබා දෙන බවට මුම්බාය විසින් ඔහුට සහතික වී තිබෙනවා.

නමුත් Mumbai Indians සතු ව Jofra Archer සහ Jasprit Bumrah යන ප්‍රධාන වේගපන්දු තුරුම්පු දෙක සතු වීම ඔහුට මෙවර තරගාවලියේ ස්ථිර ඉඩක් හිමි වීම පිළිබඳ ගැටලුවක් ඇති කරන්නට ඉඩ තිබුණා.

කෙසේ වෙතත් තරගාවලිය ආරම්භ වීමට පෙර ම Bumrahට මෙවර මුම්බාය සමඟ එක් වීමට නොහැකි වන බව නිවේදනය කළ අතර, Archer හට ද මෙවර තරගාවලිය සමඟ දිගින් දිගට රැඳීමට අවස්ථාව හිමි වුනේ නැහැ.

මුම්බාය සතු ප්‍රධාන බල කණු දෙකක අහිමි වීම තමන්ට මෙවර තරගාවලියේ යමක් කිරීම වෙනුවෙන් අවස්ථාව වන බව Akash විසින් වටහා ගන්නවා.

“කණ්ඩායමෙන් මට ලබා දීලා තියෙන වගකීම උපරිමයෙන් ඉටු කරන්න මම උත්සාහ කරනවා. මම Bumrahගේ ආදේශකය නෙවෙයි, නමුත් මම මට කරන්න පුළුවන් දේ උපරිමයෙන් කරන්න උත්සාහ ගන්නවා.”

Lucknow Super Giants කණ්ඩායමට එරෙහිව වාර්තාගත පන්දු යැවීමක නිරත වීමට සමත් වූ Akash විසින් තරගයෙන් අනතුරුව ඒ විදිහට අදහස් පළ කරනවා.

ඔහු මෙම තරගයේ දී දැක්වූ 5/5 දක්ෂතාව IPL Play-Off තරග ඉතිහාසයේ  ක්‍රීඩකයෙකු විසින් යැවූ හොඳම පන්දු යැවීම (මීට පෙර 2010 වසරේ දී CSK වෙනුවෙන් Doug Bollinger විසින් 4/13 ක දක්ෂතාවක් දක්වා තිබුණා.) ලෙස වාර්තා අතරට එක් වුනා. එමෙන් ම ජාතික වරම් නොලද ක්‍රීඩකයෙකු විසින් සිදු කළ හොඳම පන්දු යැවීම ලෙසත් මෙය වාර්තා අතරට එක් වූ අතර ඉන්දීය දඟ පන්දු පුරාවෘත්තය ලෙස හැඳින්විය හැකි Anil Kumble සහ සම තැන් ගනිමින් IPL ඉතිහාසයේ සිව්වැනියට හොඳම පන්දු යැවීම ලෙස ද මෙය සටහන් වුනා.

එමෙන්ම මෙම තරගයට පෙර ද ඔහු විසින් පන්දුවෙන් කැපී පෙනෙන දස්කම් පෙන්වීමට සමත් වූ නමුත් (මීට පෙර ඔහු විසින් ගුජරාටයට එරෙහිව කඩුලු 3ක් සහ හයිද්‍රාබාදයට එරෙහිව කඩුලු 4ක් බිඳ හෙළුවා.) එම තරගවල දී Cameron Green සහ Suryakumar Yadav විසින් මුම්බාය වෙනුවෙන් වාර්තා කිරීමට සමත් වූ ශතක නිසා Akashගේ නම එතරම් ම කැපී පෙනුණේ නැහැ. නමුත් Lucknow සමඟ තරගයේ දී Akashට ඉහළින් යාමට කිසිවකුත් සිටියේ නැහැ.

Uttarakhand හිදි සැහැල්ලු පන්දුවෙන් ආරම්භ කළ ක්‍රිකට් ක්‍රීඩාව අවසානයේ ලෝකයේ විශාලතම ක්‍රිකට් ලීගය තෙක් ගෙන යාමට Akash විසින් සමත් වෙනවා. සිය මුල් කාලයේ සැහැල්ලු පන්දුවෙන් පිතිකරුවන් මෙල්ල කිරීමට යොදා ගත් යෝකර් පන්දුව දැන් IPL තරගාවලියේ Mumbai Indians කණ්ඩායම වෙනුවෙන් යොදා ගන්නා බවත් Akash පවසනවා.

ක්‍රිකට් ජීවිතය කෙතරම් දියුණු වුනත් සැහැල්ලු පන්දුවෙන් Akash ලබා ගත් පන්නරය අදටත් මතකයේ තබා ගැනීම සහ අවශ්‍ය මොහොතේ භාවිතයට ගැනීම අගය කළ යුතුමයි.

“Rohit අයියා දන්නවා මගේ ශක්තිය යෝකර් පන්දුව බව. නමුත් මට නව පන්දුවෙනුත් පන්දු යැවිය හැකි බව ඔහු සොයා ගත්තා. ඒ නිසා ඔහු දන්නවා මාව භාවිත කරන්න අවශ්‍ය කොහොමද කියලා.”

Akash සිය නායකයා පිළිබඳ උපරිම විශ්වාසයකින් යුතු ව අදහස් පළ කරන අතර අද (26) Gujarat Titans සහ Mumbai Indians අතර පැවැත්වීමට නියමිත Qualifier 2 තරගය වෙනුවෙන් Rohit Sharma විසින් Akashව භාවිතා කරන ආකාරය ThePapare.com වෙතින් සජීවීව දැක බලා ගැනීමේ අවස්ථාව ඔබට හිමි වී තිබෙනවා. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<