ඉදිරි වසර හතරේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල ඇඳුම් සහකරු – Moose

445

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල ඇඳුම් සහකරු ලෙස Moose Clothing සමාගම ඉදිරි වසර 4ක (2023-2027) කාලය සඳහා ගිවිසුම්ගත වී තිබෙනවා.

මෙම නව හවුල්කාරීත්වය යටතේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) සහ ආසියානු ක්‍රිකට් කවුන්සිල (ACC) විසින් සංවිධානය කරන තරග ඇතුළුව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත සියලු තරග සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් වෙනුවෙන් නිල ක්‍රිකට් ඇඳුම් ලබා දීමට කටයුතු කිරීමට නියමිතයි.

මෙම ආයතන අතර සහයෝගිතාව සනිටුහන් කරමින්, ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වීමට නියමිත පිරිමි එක්දින තරගාවලි සඳහා වන නිල එක්දින ජර්සිය 2023 මැයි 25 වැනිදා කොළඹ පවත්වන ලද විශේෂ උත්සවයක දී එළිදක්වනු ලැබුවා.

>>Photos – Launch of Moose as Sri Lanka Cricket’s Official Clothing Partner 2023-27<<

මේ අවස්ථාව වෙනුවෙන් එක්වුණු Moose Clothing ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි හසීබ් ඔමාර් මහතා මෙසේ අදහස් දැක්වූවා.

“මේ හවුල්කාරිත්වයේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ක්ෂේත්‍ර දෙකක් වන ඇඟලුම් කර්මාන්තය සහ ක්‍රිකට් ක්‍රීඩාව ඒකාබද්ධ කිරීමයි. ගෝලීය වේදිකාවක Moose ඇඟලුම් වල දීප්තිමත් නිර්මාණශීලීත්වය, දක්ෂතා සහ ශක්තීන් ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් මෙම හවුල්කාරිත්වය යොදාගැනීමට අපි කැමතියි. අවසාන වශයෙන්, මෙය ශ්‍රී ලංකාවේ විලාසිත සහ ඇඟලුම් කර්මාන්තයේ නව යුගයක් ඇරඹීමට උපකාරී වෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.”

මෙම ජර්සිය නිර්මාණය කර ඇත්තේ, ක්‍රීඩකයාගේ කාර්ය සාධනය සහ චලනය පහසු කිරීම වෙනුවෙන් සිදු කරන ලද පර්යේෂණ සහ විශ්ලේෂණ මඟින් සංවර්ධනය කරන ලද, තාක්ෂණික ඒකාබද්ධතාවක් සහිත රෙදි භාවිතයෙන්.

එම රෙදි මඟින් සමෙන් අභ්‍යන්තර තෙතමනය ඉවතට ගෙන එය ඉක්මනින් පිටතට මාරු කිරීමට උපකාරී වන අතර බාහිර මතුපිට වඩාත් ඉක්මනින් වියළීමට එය වඩාත් උපකාරී වෙනවා. ඉතාමත් සැහැල්ලු මෙන්ම ආශ්වාසය පහසු කරවන රෙදි වර්ගයක් වීම මෙහි තිබෙන අමතර වාසියක්.

මේ නිල ඇඳුමේ මෝස්තරය රටේ සංස්කෘතිය, උරුමය සහ සෞන්දර්යාත්මක ආභාෂය විදහාපාන අයුරින් ජාතික ධජයේ වර්ණ සංයෝජනයෙන් සමන්විත සිංහ ජාතියේ අභිමානය සහ පුනර්ජීවනය සංකේතවත් කරමින් නිර්මාණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිරූපනය කිරීම වෙනුවෙන් නිල් සහ කහ වර්ණ ද, එම වර්ණවලට අනුකූලව තැඹිලි පැහැයෙන් රේඛා කිහිපයක් එක් කර තිබෙන්නේ ශ්‍රී ලාංකීය ජනතාවගේ නිර්භීතකම සහ දරා ගැනීමේ හැකියාවට කරන ගෞරවයක් වශයෙන් සිංහ හිස ද ප්‍රදර්ශනය කර තිබෙනවා.

“ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ඒ සඳහා ඇලුම් කරන ප්‍රේක්ෂකයින් යන දෙපාර්ශවයම ක්‍රිකට් කෙරෙහි දක්වන ආසාව මෙම අභිමානවත් ජර්සි මෝස්තරයෙන් ප්‍රතිමූර්තිමත් කරනවා. එය අභිමානවත් ජාතියක පුනර්ජීවනයේ සංකේතයක් වන අතර ලාංකිකයන්ගේ ප්‍රීතිය, ශක්තිය, උණුසුම, සතුට සහ නිර්භීතකම මනාව පිළිඹිමු වෙනවා,” යැයි Moose Clothing ආයතනයේ අලෙවි ප්‍රධානී කිත්මිණි ද සිල්වා පැවසුවා.

Moose Clothing සහ ශ්‍රී ලංකා ක්‍රිකට් අතර මෙම හවුල්කාරිත්වය මෙරට විලාසිතා සහ ඇඟලුම් කර්මාන්තය නව මානයකට ගෙන ඒමට උපකාරී වනු නිසැකයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<