වැඩ බලන නායකයාගේ අසාර්ථකත්වයට හේතු දක්වයි!

5995
Rishabh Pant

Dinesh Karthikගේ ප්‍රහාරත්මක පිතිහරඹය සහ Avesh Khanගේ අතිදක්ෂ පන්දුකරණය හමුවේ නිරුත්තර වූ දකුණු අප්‍රිකානු කණ්ඩායම හට තවත් එක් අඩියක් පසුපසට ගැනීමට සිදු වූයේ තරග 5කින් සමන්විත ඉන්දු-දකුණු අප්‍රිකා විස්සයි විස්ස තරගාවලිය 2-2ක් ලෙස සම කිරීමට Rishabh Pant ප්‍රමුඛ ඉන්දීය ක්‍රීඩකයින් ඉකුත් දා (17) සමත්කම් දැක්වීමත් සමඟිනි.

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම හට ලකුණු 82ක දරුණු පරාජයක් අත්පත්කර දෙමින් තුන් ඉරියව්වෙන්ම තම ආධිපත්‍යය පතුරුවාලීමට ප්‍රබල ඉන්දීය කණ්ඩායම සමත් වූයේ පිතිකරණ අංශයෙන් පන්දු 27ක දී ලකුණු 55ක් රැස් කළ Dinesh Karthikගේ අගනා ඉනිම සහ Avesh Khan විසින් දකුණු අප්‍රිකානු පිතිකරුවන් සිව්දෙනෙකු නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යවමින් තනා දුන් අඩිතාලමත් සමඟිනි.

ඒ අනුව ලකුණු 170ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු ඉනිම ලකුණු 87කට සීමා කිරීමට ඉන්දීය පන්දු බලඇණිය හට හැකි වූයේ දකුණු අප්‍රිකානු කණ්ඩායම විසින් විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයක දී මෙතෙක් රැස්කළ අඩුම ලකුණු සංඛ්‍යාව මෙය ලෙස වාර්තාවක් ද අලුත් කරමිනි.

මීට පෙර තෙවැනි විස්සයි විස්ස තරගයේ දී ද දකුණු අප්‍රිකානු පිතිකරුවන්ගේ හඹා යෑමේ සටන සුනුවිසුනු කර දැමීමට ඉන්දීය පන්දු යවන්නන් වගබලා ගත්තේ තරගාවලි ජයග්‍රහණය කෙසේ හෝ තම කණ්ඩායම දෙසට හරවා ගැනීමේ ප්‍රයත්නයේ වැදගත් ඉදිරි පියවරක් ලෙසිනි.

පළමු තරග ද්විත්වයේ අමිහිරි පරාජයන් ද සමඟින් තරමක් පසුගාමී ස්වරූපයක් ගත් ඉන්දීය කඳවුර ඔවුන්ට සුපුරුදු ජයග්‍රාහී මාවත වෙත යලි අවතීර්ණ වීමට සමත්කම් දැක්වූවත්, කණ්ඩායමේ වැඩ බලන නායකවරයා කටයුතු කරන Rishab Pantගේ පිත්ත අපේක්ෂා කළ අයුරින් ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් මේ වන විට බොහෝ පාර්ශවයන් විවිධාකාර මත පළකොට සිටින අයුරු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සුලභව දැකගැනීමට ලැබුණි.

පන්දු 23ක් තුල දී Pant හට වාර්තා කිරීමට හැකි වූයේ ලකුණු 17ක් වීම මෙහි දී වඩාත් කැපී පෙනෙන කාරණය බවට පත් වූ අතර ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ලෙස නම් දරා සිටින ඔහුගේ මෙම අසාර්ථක වීම සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ බොහෝ දෙනා විවිධ මත සහ හේතු පළකොට තිබෙන අයුරු දැක ගැනීමට හැකිය.

ඔහු කඩුල්ලට පැමිණි අවස්ථාවේ සිට අනවශ්‍ය පීඩනයකින් පන්දුවට පහර දීමට තැත් කරන බවක් පෙනෙන්නට තිබෙන්නේ මෙතෙක් ක්‍රීඩා කළ ඉනිම හතරෙන් තුනක දී ම

ඔහු දැවී ගියේ එකම පහරක් දියත් කිරීමට ගනු ලැබූ අසාර්ථක ප්‍රයත්නයන් කිහිපයක් නිසාවෙනි.

මේ සම්බන්ධයෙන් තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වා සිටි Rishab පවසා සිටියේ මෙවන්නක්.

“තනි ක්‍රීඩකයෙක් විදියට, මට සමහර දේවල් ගැන මීට වඩා සැලකිල්ලෙන් කටයුතු කරන්න වෙනවා. තව මට දියුණු කරගන්න ඕන දේවල් කිහිපයක්ම තියෙනවා. නමුත් මේ වෙලාවේ ඒ දේවල් හැමදෙයක් ගැනම ලොකුවට හිතලා අනවශ්‍ය පීඩනයක් දාගන්න මම කැමති නැහැ. ඒක නිසා ගන්න පුළුවන් ධනාත්මක දේවල් විතරක් අරගෙන ක්‍රමයෙන් වැරදි නිවැරදි කරගන්න එක තමයි මගේ සැලැස්ම. අපි බලමු බැංගලෝර් වලදී වෙනසක් කරන්න.”

කාසියේ වාසිය උරගා බැලූ අවස්ථා හතරේ දී ම පරාජයට පත්වූ Rishabh Pant, සිව්වැනි තරගයේ දී කඩා වැටීමේ අවදානමට ලක්ව තිබූ ඉන්දීය ඉනිම යලි ස්ථාවර කරදීමට උර දුන් Hardik Pandya සහ Dinesh Karthikගේ සේවය අගය කර සිටියේ මේ අයුරිනි.

“හරි වෙලාවට හරි තීරණ ගැනීමේ ප්‍රතිඵල භුක්විඳීමේ අවස්ථාව අපිට ලැබුණා. කාසියේ වාසිය ගැන අපිට ඕනෑවට වඩා බැරෑරුම්ව හිතන්න අවශ්‍ය නැහැ. මොකද දිනය අවසානයේ දී වැරදි අඩුවෙන්ම කරපු කණ්ඩායමට තමයි ජයග්‍රහණය කරන්න වැඩි ඉඩකඩක් තියෙන්නේ. Hardikගේ සහ Rishabගේ ඉනිම් දෙකම සුවිශේෂී. තරගය ජය ගන්න ඕනෑ වුන අඩිතාලම සකස් කරලා දුන්නේ ඔවුන් දෙන්නා.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<