කෝට්ටේ සටන ජය පරාජයක් නැතිව අවසන්

274

කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලය සහ කෝට්ටේ සාන්ත තෝමස් විද්‍යාලය අතර පැවති 44 වැනි කෝට්ටේ සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (11) ජය පරාජයෙන් තොරව අවසන් වුනා.

කොළඹ, හැව්ලොක් පෙදෙස කෝල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සාන්ත තෝමස් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට ප්‍රතිවාදී ශ්‍රී ජයවර්ධනපුර ක්‍රීඩකයන්ට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි සියලුම දෙනා දැවී ලකුණු 143ක් ලබා ගත්තා. එම ඉනිමේ ආරම්භක කඩුල්ල පළමු පන්දුවාරයේ දී ම දවා ගැනීමට සාන්ත තෝමස් විද්‍යාලය සමත් වූව ද, දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 54ක සබඳතාවක් ගොඩ නැගීමට බියංක තමීර සහ ජයඳු සංකල්ප සමත් වුනා.

එය ඉනිමේ හොඳම කඩුලු අතර සබඳතාව වූ අතර එහි දී ජයඳු සංකල්ප පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 38ක් ලබා ගත්තා. ඊට අමතර ව බියංක තමීර පන්දු 76කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 26ක් ලබා ගත්තා.

කඩුලු ලබා ගැනීමේ දී සදිල් නෙත්මික ලකුණු 43කට කඩුලු 5ක් දවා ගනිමින් සාර්ථක පන්දු යැවීමක නිරත වුනා. ඔහුට අමතර ව තරින් ගිම්හාන් සහ සේසත් රන්මිත කඩුලු 2 බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සාන්ත තෝමස් ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 81ක් පමණයි. අඩු ලකුණු ප්‍රමාණයකට සීමා වූ එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ කුශාන් ආදිත්‍ය. ඔහු පන්දු 46කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 12ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී තලීෂ සිල්වා ලකුණු 13කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරද්දී, බියංක තමීර ලකුණු 23කට කඩුලු 4ක් දවා ගත්තා.

ලකුණු 62ක් ඉදිරියෙන් සිටිමින් තම දෙවැනි ඉනිම ආරම්භ කළ ශ්‍රී ජයවර්ධනපුර ක්‍රීඩකයෝ එවර කඩුලු 6ක් දැවී ලකුණු 126ක් ලබා ගනිමින් තම ඉනිම අත් හිටවූවා. ඒ වෙද්දී ඔවුන් ප්‍රතිවාදීන්ට වඩා ලකුණු 188ක් ඉදිරියෙන් සිටියා.

එම ඉනිම වෙනුවෙන් සහ මෙවර වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ එක ම අර්ධ ශතකය වාර්තා කිරීමට ආරම්භක පිතිකරු බියංක තමීර සමත් වුනා. ඔහු පන්දු 103කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 55ක් ලබා ගත්තා.

ඊට අමතර ව ජයඳු සංකල්ප පන්දු 63කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 29ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා අතර දෙවැනි කඩුල්ලට සබඳතාව ලකුණු 49ක්.

කඩුලු දවා ගැනීමේ දී තරින් ගිම්හාන් සහ සදිල් නෙත්මික කඩුලු 2 බැගින් දවා ගත්තා.

ජයග්‍රහණය සඳහා ලකුණු 189ක හඹා යන ඉලක්කයකට පිටියට පිවිසි සාන්ත තෝමස් ක්‍රීඩකයෝ තරගය අවසන් වන විට කඩුලු 4ක් දැවී ලකුණු 90ක් ලබා සිටියා. එහි දී විරුල් තේමික පන්දු 119කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 39ක් ලබා ගත්තා. ඊට අමතර ව ගිම්හාන සිතිජය පන්දු 80කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 29ක් ලබා ගත්තා.

ඔවුන් දෙදෙනා අතර 5 වැනි කඩුල්ල සඳහා නොබිඳුණු සබඳතාව ලකුණු 65ක්.

කඩුලු ලබා ගැනීමේ දී බියංක තමීර ලකුණු 24කට කඩුලු 3ක් දවා ගත්තා.

මෙම තරගයේ දී අර්ධ ශතකයක් සමඟින් ඉනිම් දෙකේ දී ම ලකුණු 81ක් සහ දකුණතින් පිට දඟපන්දු යවමින් ලකුණු 47කට කඩුලු 7ක් දවා ගත් ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලයේ බියංක තමීර තරගයේ වීරයා සහ දක්ෂතම පිතිකරු ලෙසින් නම් කෙරුණා.

ඊට අමතර ව ලකුණු 43කට කඩුලු 5ක් දවා ගත් සාන්ත තෝමස් විද්‍යාලයේ වමතින් දඟපන්දු යැවූ සදිල් නෙත්මික තරගයේ දක්ෂතම පන්දු යවන්නා ලෙසින් ද, සාන්ත තෝමස් විද්‍යාලයේ නායක විරුල් කෙත්මික තරගයේ දක්ෂතම පන්දු රකින්නා ලෙසින් ද සම්මාන දිනා ගත්තා.

  • ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 143 (66) බියංක තමීර 26, ජයඳු සංකල්ප 38, සචින් ෂෙහාන් 23, තලීෂ සිල්වා නොදැවී 22, තරින් ගිම්හාන් 2/27, සදිල් නෙත්මික 5/43, සේසත් රන්මිත 2/20
  • සාන්ත තෝමස් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 83 (40.2) කුශාන් ආදිත්‍ය නොදැවී 12, තලීෂ සිල්වා 4/13, බියංක තමීර 4/23
  • ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 126 (36.3) බියංක තමීර 55, ජයඳු සංකල්ප 29, තරින් ගිම්හාන් 2/55, සදිල් නෙත්මික 2/45
  • සාන්ත තෝමස් විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 90 (40) විරුල් කෙත්මික නොදැවී 34, ගිම්හාන සිතිජය නොදැවී 29, බියංක තමීර 3/24

තරගයේ විසඳුමක් නෑ.

වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම විඳගන්න රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<