පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ මොරටු මහා විද්‍යාලය අතර පැවති 68 වැනි රන් මහ සටන අද (7) මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී නිමාවට පත්වූයේ ඉතා උණුසුම් තරගයක් දැක බලා ගැනීමට ප්‍රේක්ෂකයින් හට ඉඩ ප්‍රස්තාව සලසා දෙමිනි. 

රන් මහා සටන විවෘතයි! සුමංගලයෙන් වැඩි දස්කම්

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ මොරටු මහා විද්‍යාලය අතර 68 වන වරටත් ක්‍රියාත්මක වන….

පළමු ඉනිමේ ජය ශ්‍රී සුමංගලයින් සතු වූවත් අවසන් මොහොත දක්වා සටන අත නොහැරි මොරටු විද්‍යාලයීය ක්‍රීඩකයින් තරගය තියුණු අවසානයක් කරා රැගෙන ගියේ තරගයේ ජයග්‍රහණය දෙපිලටම නැවත වතාවක් විවෘත කරදෙමිනි. කෙසේ නමුත් දිනය අවසානයේ දී දෙපිලේම ක්‍රීඩකයින් හට ජය පරාජයෙන් තොරව කෙළවර වූ තරග ප්‍රතිඵලයකින් සෑහීමකට පත්වන්නට සිදු විය.

ඊයේ (6) දිනය සඳහා තරගය නතර කරන විට තම පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි මොරටු විද්‍යාල කණ්ඩායම හට සාර්ථක වීමට කිසිදු අවකාශයක් ලබා නොදුන් සුමංගල දඟපන්දු යවන්නන් දිනයේ පළමු පැය තුල දී ම ප්‍රතිවාදී කඩුලු 6ක් බිඳ දමමින් ඔවුන්ගේ ඉනිම සුනුවිසුනු කරදැමීමට සමත් විය. 

දිනය ආරම්භයේ දී ලකුණු 114/4ක් ලෙසින් දැක්වුණු මොරටු විද්‍යාලයේ ලකුණු පුවරුවට මැදපෙළ සහ පසුපෙළ පිතිකරුවන් සියලු දෙනාටම එක් කළ හැකි වූයේ ලකුණු 36ක් පමණි.

Photos: Sri Sumanagala College vs Moratu Maha Vidayalaya | 68th Battle of the Golds – Day 2

චමිදු රවිශාන් ඉනිම ස්ථාවර කිරීමට දැඩි උත්සහයක් දැරූ නමුත් අනුක ජයසිංහ සමඟ එක්වූ විශ්ව කුමාර කඩුලු 4 බැගින් බිඳ දමමින් මොරටු තණතිල්ල ආක්‍රමණය කළේ මොරටු පළමු ඉනිම 150කට සීමා කරමිනි. 

ලකුණු 71ක වාසියක් තම අතැතිව පන්දුවට පහර දීම සඳහා තරග බිමට අවතීර්ණ වූ සුමංගල ආරම්භක පිතිකරුවන් හට ශක්තිමත් අඩිතාලමක් සකසා දීම සඳහා අවසර ලබා නොදුන් විනුර පීරිස් ලකුණු 9ක් රැස් කරගෙන සිටි සසිඳු ද සිල්වා පිටියෙන් ඉවත් කළේ සුමංගල විදුහල් උප නායක තරණ ද සිල්වා පිටියට කැඳවමිනි.

එක් වෙනස්කමක් සමඟින් ශ්‍රී ලංකාව පිතිකරණයට!

පරාජයකින් අවසන් වූ කොදෙව් – ශ්‍රී ලංකා පළමු විස්සයි විස්ස තරගයෙන් පසුව මාලිංග ප්‍රමුඛ ශ්‍රී ලංකා පිළ…..

මොරටු පන්දු යවන්නන් වෙත පීඩනයක් යොමු කරමින් ලකුණු රැස් කිරීමේ කාර්‍යභාර්‍යෙහි නියැළුණු තරණ ද සිල්වාගේ සහ මිහිරංග ප්‍රනාන්දුගේ සබඳතාව බිඳ දැමූ ඩිල්ෂාන් පිරීස් සුපිරි පන්දු රැකීමක නිරත වෙමින් තරණ ද සිල්වා දුවද්දී දැවී යාමකට හසුකර ගත්තේ සුමංගල කණ්ඩායමේ පිතිකරණ බලඇණියට ප්‍රබල අභියෝගයක් එල්ල කරමිනි.

ලකුණු 17කට තරණ ද සිල්වා පිටියෙන් ඉවත් කළ මොරටු ක්‍රීඩකයින් තෙවැනි කඩුල්ල ද දවා ගැනීමට වැඩි කාල වේලාවක් නොගත් අතර ඔවුන්ගේ මීළඟ ගොදුර බවට පත් වූයේ සුමංගල පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ප්‍රභාෂ් ජයසේකරයි. 

සුමංගල මුළු ලකුණු සංඛ්‍යාව 50ක් ලෙස සටහන්ව තිබිය දී විශ්ව ප්‍රනාන්දුගේ දඟ පන්දුවේ පළමු ගොදුර බවට පත් වූ ප්‍රභාෂ් දැවී ගියේ පිට ඉන්නේ දඟ කැවුණු පන්දුව කෙලින්ම කඩුල්ලේ වැඳීමෙනි.

සුමංගල පිතිකරණ ලැයිස්තුවේ ප්‍රධාන බලකණු කිහිපයක්ම ඉතාමත් අඩු ලකුණු සංඛ්‍යාවකට නැවතත් ක්‍රීඩාගාරය වෙත හරවා යැවූ දකුණත් පා දඟපන්දු යවන විශ්ව ප්‍රනාන්දු තණතිල්ලේ කඩතොලු  සහිත ස්ථානයන්ගෙන් උපරිම ඵල නොලා ගනිමින් පන්දුකරණයේ නිරත වූයේ ඉමෙත් ගම්පොල සහ විදූශ පීරිස්ගේ කඩුල්ලේ හිමිකාරිත්වය ඔහුගේ නමින් ලියා ගනිමිනි.

පසුපෙළ පිතිකරුවන් සියලු දෙනාම අසාර්ථක වන අයුරු එක් අන්තයක සිට නිරීක්ෂණය කළ හේෂාන් ඔමින්ද මොරටු පන්දු බලඇණියට එරෙහිව යම්තාක් හෝ ප්‍රතිරෝධයක් දක්වමින් තීරණාත්මක ලකුණු 18ක් රැස් කළේ කණ්ඩායමේ ලකුණු තත්වය 87 දක්වා ඉහළ නංවාලමිනි. සියලු දෙනා දැවී යාමෙන් අනතුරුව ලකුණු 87කින් සෑහීමකට පත් වීමට සිදු වූ සුමංගල කණ්ඩායමේ කඩුලු 5ක් ලකුණු 21ක් පමණක් ලබා දෙමින් බිඳ හෙලූ විශ්ව ප්‍රනාන්දුගේ පන්දු යැවීම කා අතරත් වඩාත් කථා බහට ලක්විය.

ප්‍රභාත් සහ ලසිත ශතක සබඳතාවක

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ සිංගර් කුසලාන ක්‍රිකට්……

ලකුණු 158ක ඉලක්කයක් හඹා යැමේ අරමුණින් මොරටු විද්‍යාලයීය ක්‍රීඩකයින් පිත්ත අතට ගනිද්දී සුමංගල පන්දු යවන්නන් දඟපන්දුවෙන් විස්කම් පෑමට පිටියට පා තැබුවේ මහා තරගයේ ජය කෙසේ හෝ තම කණ්ඩායම වෙත දිනා දීමේ අරමුණෙනි.

අමිහිරි ආරම්භයක් සමඟින් තම ඉනිම ඇරඹූ මොරටු විද්‍යාල ක්‍රීඩකයින්ගේ පළමු කඩුල්ල පළමු පන්දුවාරයේ දී ම බිඳ වැටුණේ ප්‍රතිවාදී සුමංගල ක්‍රීඩකයින් අමන්දානන්දයට පත් කරමිනි. නායක අනුක ජයසිංහ සුපුරුදු පරිදි පන්දු බලඇණියේ වැඩි බර තම කර මත පවරා ගත්තේ ආරම්භක පිතිකරු විශ්ව ප්‍රනාන්දු හට එකදු ලකුණක් හෝ රැස් කිරීමට තිබූ අවස්ථාව අහුරාලමිනි.

දෙවන කඩුල්ල සඳහා පිටියට පිවිසි චමල්ක ප්‍රනාන්දු නායක මධුෂාන් දිලක්ෂණ සමඟ එක්ව ලකුණු 25ක සබඳතාවක් ගොඩනැඟූ නමුත් මුළු ලකුණු සංඛ්‍යාව 25ක්ව තිබිය දී ඔහු දැවී ගියේ හේෂාන් ඔමින්ද යැවූ පන්දුවකට සසිඳු ද සිල්වා අතට උඩ පන්දුවක් ලබා දීමෙනි. එම පන්දුවාරයේ දී ම මදුර ගිම්හාන ලකුණු නොලබාම පිටියෙන් ඉවත්ව කළ හේෂාන් ඔමින්ද තම කණ්ඩායමේ ජයග්‍රහණය පිළිබඳව වූ බලාපොරොත්තු තවදුරටත් ඉහළ නංවාලීමට සමත් විය.

මොරටු විද්‍යාලය වෙනුවෙන් ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ චමිදු රවිශාන් සුමංගල පන්දු යවන්නන් පීඩනයකට හසුකොට ගනිමින් තම ඉනිම දියත් කළ නමුත් සුමංගල නායක අනුක ජයසිංහගේ දිනයේ දෙවන ගොදුර බවට පත්වීමට ඔහුට සිදු විය. ලකුණු 24ක් රැස් කර ගෙන සිටි ඔහුගේ කඩුල්ල දවා ගැනීම සඳහා කඩුල්ල පිටුපස සිට තම සේවය සැපයූ ඉමෙත් ගම්පොල සමත් විය.

මොරටු විද්‍යාලයේ ලකුණු තීරුව 60/5ක් ලෙස දිස්වුණු මොහොතක ඉතාමත් පරිණත ඉනිමක් දියත් කළ නායක මධුෂාන් දිලක්ෂණ සහ උපනායක රශාන් කවිශ්ක අගනා ලකුණු 60ක සබඳතාවක් ගොඩනැඟූවේ සුමංගල ක්‍රීඩකයින් මොහොතකට නිරුත්තර කරමිනි.

Photos : Sri Sumanagala College vs Moratu Maha Vidayalaya | 68th Battle of the Golds

ThePapare.com | Brian Dharmasena | 07/03/2020…..

ලකුණු 120ක්ව තිබිය දී එතෙක් වේලා ඉතාමත් අපූරුවට පන්දුවට පහර දෙමින් සිටි රශාන් කවිශ්ක දැවී ගියේ සුමංගල කණ්ඩායමට නැවත වතාවක් තරගයට අවතීර්ණ වීමට මඟ පාදා දෙමිනි. අනුක ජයසිංහ යොමු කළ පන්දුවට වැරෙන් උඩු ගුවනට එල්ල කළ ස්විප් පහර ඩීප් මිඩ්විකට් කලාපයේ පන්දු රැකි විදූශ පිරීස් ආරක්ෂිතව රැක ගැනීමත් සමඟම ඔහුට එසේ පිටියෙන් ඉවත්ව යාමට සිදු විය.

මොරටු විද්‍යාලයීය ඉනිමේ කොදුනාරටිය වූ නායක දිලක්ෂණගේ ඉනිම ලකුණු 44කට සීමා වීමත් සමඟම තරගය තවත් උණුසුම් වූ අතර දිනය අවසන් වීමට ඉතිරිව තිබූ පන්දුවාර කිහිපය අතලොස්ස තුලදී ඉලක්කය පසුකොට යෑමට පිතිහරඹයෙහි නියැලෙමින් සිටි ඩිල්ශාන් සහ විනුර පිරීස් හට නොහැකි විය. 

සුමංගල පන්දු යවන්නන් ද ප්‍රතිවාදී පසුපෙළ පිතිකරුවන් කොටු කර ගැනීමට දැඩි ප්‍රයත්නයක නිරත් වූවත් ඔවුන්ගේ ද එම වෑයම ප්‍රමාණවත් නොවුයේ මොරටු විද්‍යාල පිතිකරුවන් පන්දු තෝරා බේරා ගනිමින් පහර දීමට වඩාත් උත්සුක වූ නිසාවෙනි. ඒ අනුව 68 වැනි රන් මහා සටන ජය පරාජයෙන් තොරව අවසන් වූයේ කලකට පසු ඉතාමත් උද්වේගකර අවසානයක අත්දැකීම් ප්‍රේක්ෂකයින් හට දැක බලා ගැනීමට අවස්ථාව සලසාදෙමිනි. 

විදුහල් දෙක අතර පැවැත්වෙන එක්දින මහා තරගය හෙට(8) මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.

  • තරගයේ වීරයා – මධුෂාන් දිලක්ෂණ (මොරටු මහා විද්‍යාලය)
  • දක්ෂතම පිතිකරුවා – ප්‍රභාෂ් ජයසේකර (ශ්‍රී සුමංගල විද්‍යාලය)
  • දක්ෂතම පන්දු යවන්නා – විශ්ව ප්‍රනාන්දු (මොරටු මහා විද්‍යාලය)

ශ්‍රී සුමංගල සුමංගල විද්‍යාලයීය පළමු ඉනිම – පන්දුවාර 62.4ක දී කඩුලු 9ක් දැවී ලකුණු 221: ප්‍රභාෂ්
ජයසේකර 89, ඉමෙත් ගම්පොළ 49, මිහිරංග ප්‍රනාන්දු 36, එරාන් හන්සමාල් 57/4,
චමල්ක ප්‍රනාන්දු 28/2

මොරටු විද්‍යාලීය පළමු ඉනිම – පන්දුවාර 47කදී සියලු දෙනා දැවී ලකුණු 150: මධුෂාන් දිලක්ෂණ 46, විශ්ව ප්‍රනාන්දු 23, අනුක ජයසිංහ 26/4, විශ්ව කුමාර 32/4

ශ්‍රී සුමංගල සුමංගල විද්‍යාලයීය දෙවන ඉනිම – පන්දුවාර 31.5ක දී සියලු දෙනා දැවී ලකුණු 87: මිහිරංග ප්‍රනාන්දු 24, තරණ ද සිල්වා 17, විශ්ව ප්‍රනාන්දු 21/5

මොරටු විද්‍යාලීය දෙවන ඉනිම – පන්දුවාර 48කදී කඩුලු 8ක් දැවී ලකුණු 150: මධුෂාන් දිලක්ෂණ 44, රශාන් කවිශ්ක 30, අනුක ජයසිංහ 70/3, විශ්ව කුමාර 39/2

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<