ධනංජය 25 වැනි පළමු පෙළ ශතකය රැස් කරයි

National Super League 4 day Tournament 2025

56
National Super League 4 day Tournament 2025

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ 2 වැනි සතියේ 2 වැනි දිනයේ දී තම පළමු පෙළ තරග දිවියේ 25 වැනි ශතකය වාර්තා කිරීමට දඹුල්ල කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා අද (21) සමත් වුනා.

තම පළමු පෙළ 140 වැනි තරගයට සහභාගී වෙන ධනංජය ද සිල්වා මෙම ශතකය වාර්තා කරන්නේ ගාල්ල කණ්ඩායමට එරෙහිවයි.

  • කොළඹ සහ මහනුවර අතර තරගය සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දුන් මහනුවර ක්‍රීඩකයෝ තරගය පළමු දිනයට නතර කරන විට තම පළමු ඉනිමට කඩුලු 5ක් දැවී ලකුණු 382ක් ලබා සිටි අතර අද ඔවුන්ගේ ඉනිම ලකුණු 460කට සීමා වුනා.

එම ඉනිම වෙනුවෙන් අද දවසේ දී අර්ධ ශතකයක් එක් කිරීමට රවිඳු ප්‍රනාන්දු සමත් වීම කැපී පෙණුනා. ඔහු පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 53ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී කසුන් රාජිත සහ නිශාන් පීරිස් කඩුලු 3ක් බැගින් දවා ගත් අතර දුශාන් හේමන්ත කඩුලු 2ක් ද, සම්පත් නිශ්ශංක කඩුල්ලක් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි කොළඹ ක්‍රීඩකයන්ගේ ඉනිම ලකුණු 106කට සීමා කිරීමට මහනුවර පන්දු යවන්නෝ සමත් වූවා. එහි දී වේග පන්දු යවන ශිරාන් ප්‍රනාන්දු ලකුණු 49කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව සහන් නානායක්කාර කඩුලු 3ක් ද, චමිඳු වික්‍රමසිංහ කඩුලු 2ක් ද සහ මොහොමඩ් ඩිල්ශාඩ් කඩුල්ලක් ද දවා ගත්තා.

කොළඹ ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු නවෝද් ප්‍රනාන්දු. ඔහු පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 22ක් ලබා ගත්තා.

ඔහු සහ අවිශ්ක ප්‍රනාන්දු එක් ව පළමු කඩුල්ලට පන්දු 49ක දී ලකුණු 43ක් එක් කිරීමට ද සමත් වුනා. අවිශ්ක ප්‍රනාන්දු ලබා ගත් ලකුණු සංඛ්‍යාව 19ක්. ඊට පන්දු 24ක් වැය ව තිබූ අතර හතරේ පහර 4ක් ඒ තුළ තිබුණා.

ඊට අමතර ව ධනංජය ලක්ෂාන් පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 17ක් ලබා ගත් අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට මහනුවර පන්දු යවන්නෝ ඉඩ ලබා දුන්නේ නැහැ.

ලකුණු 354ක් ඉදිරියෙන් සිටිමින් නැවත දෙවැනි ඉනිමට පිටියට පිවිසි මහනුවර ක්‍රීඩකයෝ තරගයේ 2 වැනි දිනය අවසන් වන විට කිසිවෙක් නොදැවී ලකුණු 26ක් ලබා සිටියා. එහි දී පැතුම් නිස්සංක නොදැවී ලකුණු 10ක් ද සහ ජනිශ්ක පෙරේරා නොදැවී ලකුණු 15ක් ද ලබා පිටියේ රැදී සිටියා.

මේ වන විට මහනුවර ක්‍රීඩකයෝ ප්‍රතිවාදීන්ට වඩා ලකුණු 380ක් ඉදිරියෙන් පසු වෙනවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • මහනුවර – පළමු ඉනිම සියලුම දෙනා දැවී 460 (111.2) ජනිශ්ක පෙරේරා 48, කමිල් මිෂාර 172, නුවනිඳු ප්‍රනාන්දු 45, සහන් ආරච්චිගේ 68, සොහාන් ද ලිවේරා 24, රවිඳු ප්‍රනාන්දු 53, කසුන් රාජිත 3/80, නිශාන් පීරිස් 3/101, දුශාන් හේමන්ත 2/91
  • කොළඹ – පළමු ඉනිම සියලුම දෙනා දැවී 106 (43.0)නවෝද් පරණවිතාන 22, අවිශ්ක ප්‍රනාන්දු 19,ශිරාන් ප්‍රනාන්දු 4/49, චමිඳු වික්‍රමසිංහ 2/08, සහන් නානායක්කාර 3/18
  • මහනුවර– දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 26 (13.0)

මෙම තරගය හෙට (22) 3 වැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.

 

  • ගාල්ල සහ දඹුල්ල අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දුන් ගාල්ල ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත් ලකුණු 267ට පිළිතුරු ලෙසින් අද දවසේ දී දඹුලු ක්‍රීඩකයෝ ලබා ගත්තේ සියලුම දෙනා දැවී ලකුණු 260ක් පමණයි.

ඔවුන් අද තරගය ආරම්භ කරන්නේ කිසිවෙක් නොදැවී ලකුණු 38ක් ලබා සිටිමින්. එලෙසින් ආරම්භ කළ ඉනිමේ පළමු කඩුලු 4 ලකුණු 57ක් වෙද්දී දවා ගැනීමට ගාලු පන්දු යවන්නෝ සමත් වෙනවා.

අනතුරු ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් නායක ධනංජය ද සිල්වා සහ සොනාල් දිනූෂ එක් වෙමින් පන්දු 146ක දී ලකුණු 107ක සබඳතාවක් එක් කරනවා. සොනාල් දිනූෂ පන්දු 63කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුනු 39ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳී යනවා.

එතැන් සිට ලකුණු 6ක් ඉනිමට එක් වෙද්දී දඹුලු කණ්ඩායමේ තවත් කඩුලු 3ක් බිඳ දැමීමට ගාල්ල පන්දු යවන්නෝ සමත් වෙනවා. අනතුරු ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් නැවතත් ලකුණු අතරට පිවිසීමට දඹුලු ක්‍රීඩකයෝ සමත් වීම කැපී පෙණෙනවා.

එහි දී නැවතත් නායක ධනංජය ද සිල්වා එක් වෙන අතර ඔහු සමඟ ලසිත් ඇඹුල්දෙණිය ඊට එක් වෙනවා. ඔවුන් දෙදෙනා 8 වැනි කඩුල්ලට පන්දු 118ක දී ලකුණු 67ක සබඳතාවක් එක් කරනවා.

ධනංජය ද සිල්වා පන්දු 155කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සමඟින් ලකුණු 106කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව ද බිඳී යනවා.

ඉනිම අවසන් වන විට ලසිත් ඇඹුල්දෙණිය පන්දු 84කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 54ක් ලබා සිටියා. එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ මංගල අර්ධ ශතක ඉනිමයි.

කඩුලු දවා ගැනීමේ දී මිලාන් රත්නායක සහ ඩිල්ශාන් මදුශංක කඩුලු 3ක් බැගින් දවා ගත් අතර ඊට අමතර ව දිලුම් සුදීර කඩුලු 2ක් ද සහ දුනිත් වෙල්ලාලගේ කඩුල්ලක් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ගාල්ල – පළමු ඉනිම සියලුම දෙනා දැවී 267 (74.0)ඕෂද ප්‍රනාන්දු 100, දිනේෂ් චන්දිමාල් 73, අවිශ්ක පෙරේරා 29, අසිත ප්‍රනාන්දු 2/37, අකිල ධනංජය 7/83
  • දඹුල්ල – පළමු ඉනිම සියලුම දෙනා දැවී 260 (71.5)ධනංජය ද සිල්වා 106, සොනාල් දිනූෂ 39, ලසිත් ඇඹුල්දෙණිය නොදැවී 54, ඩිල්ශාන් මදුශංක 3/64, මිලාන් රත්නායක 3/37, දිලුම් සුදීර 2/49

මෙම තරගය හෙට (22) 3 වැනි දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිතයි.

National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<