ඕස්ට්‍රේලියා කණ්ඩායමට කඩුලු 3ක ජයක්

311
Australia Cricket Team

ශ්‍රී ලංකා තරග සංචාරය තුල පළමු වරට දඟ පන්දු ප්‍රශ්න පත්‍රය යන්තමින් ගොඩ දමා ගැනීමට ඕස්ට්‍රේලියානුවන් සමත් විය. ඒ දෙරට අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය කඩුලු 3කින් ජය ගනිමිනි.

පසුගිය ලිපි: තිසර, ඩිල්ශාන්, දිල්රුවන් සහ මිලින්ද නැවතත් පිටියට

පල්ලෙකැලේ, ගාල්ල සහ SSC පිටි වලදී නොහැකි වුවත්, කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදී කාසියේ නිවැරදි පැත්ත අනුමාන කිරීමට සමත්වූ ස්ටීවන් ස්මිත් පන්දු යැවීම තෝරා ගන්නා ලදී. ලක්ෂාන් සඳකැන්ට සහ අමිල අපොන්සුට ජාත්‍යන්තර එක්දින වරම් හිමිවෙද්දී,ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීමේ වගකීම පැවරුනේ ටී. එම්. ඩිල්ශාන්ට සහ කුසල් පෙරේරාටයි.

පළමු පන්දුවාරය තුලදීම කුසල් ජනිත්ව නැවත ක්‍රීඩාගාරයට හරවා යවන්නට මිචෙල් ස්ටාක් සමත් විය. කලකට පසු ශ්‍රී ලංකා නිල ඇඳුමෙන් ක්‍රීඩා කල ඩිල්ශාන් ලකුණු 22ක් රැස් කලේ පන්දු 27කිනි. අනතුරුව තුන් වන කඩුල්ලට අගනා ලකුණු 79ක සබඳතාවක් ගොඩ නැගුවේ දිනේෂ් චන්දිමාල් – කුසල් මෙන්ඩිස් සුසංයෝගයයි.

සාමාන්‍යයෙන් සිදු නොවන ලෙස පිතිකරණයට ඉතා අසීරුවූ මෙවර ආර්.ප්‍රේමදාස තණතිල්ලේ ඉතා වගකීමෙන් යුත් ඉනිමක් ක්‍රීඩා කල මෙන්ඩිස් ලකුණු 67ක් ලබා ගත්තේ හතරේ පහර 6ක් ද සමගයි. යලිත් වරක් ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත්වූයේ දිනේෂ් චන්දිමාලුයි. ඔහු පන්දු 118ක් තුල නොදැවී ලකුණු 80ක් ලබා ගත්තේ හතරේ පහර 3ක් පමණක් ඊට ඇතුලත් කරමිනි.

කෙසේ වුවත් කුසල් මෙන්ඩිස්ගේ දැවී යාමෙන් පසු චන්දිමාල් සමග එක්ව ලකුණු වේගය ඉහල දැමිය හැකි සබඳතාවක් ගොඩනගන්නට කිසිවෙක් සමත් නොවූහ. නායක ඇන්ජලෝ මතිව්ස් ලකුණු නොලබා පිටියෙන් ඉවත්වූ අතර ධනංජය ද සිල්වා ලකුණු 2කට දැවී ගියේ මිචෙල් ස්ටාක්ගේ එක්දින තරග දිවියේ 100වන කඩුල්ල ලෙසිනි.

එම කඩුල්ල දවා ගැනීමත් සමග අඩුම එක්දින තරග සංඛ්‍යාවකින් එම කඩ ඉම පසුකළ ක්‍රීඩකයා ලෙසත් ස්ටාක් ඉතිහාසයට එක්විය. මෙය ඔහුගේ 52වන එක්දින තරගය වන අතර ඔහු බිඳ දැමුවේ තරග 53කදී කඩුලු 100 සම්පූර්ණ කරමින් පාකිස්තානයේ සක්ලේන් මුෂ්ටාක් විසින් පිහිටුවා තිබූ වාර්තාවයි.

මිලින්ද සිරිවර්ධන ලකුණු 19ක් සහ තිසර පෙරේරා වේගවත් ලකුණු 21ක් ලබා ගත්තද, කණ්ඩායම සාර්ථක ලකුණු සංඛ්‍යාවක් වෙත ගෙන යාමට ඔවුන්ට හැකි වූයේ නැත. චන්දිමාල් පිටිය මැද තනිවෙද්දී නියමිත පන්දුවාර 50 අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව සටහන් වූයේ 227/8ක් ලෙසයි.

මන්දගාමී තණතීරුවේ හැසිරීම මනාව වටහාගෙන පන්දුවේ වේගය පාලනය කරමින් පන්දු යැවූ ජේම්ස් ෆෝල්ක්නර් ලකුණු 38කට කඩුලු 4ක් දවා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම බිඳ දැමීමේ පෙරමුණ ගන්නා ලදී. මිචෙල් ස්ටාක් කඩුලු 3ක් බිඳ හෙලීය.

තමන් ශ්‍රී ලංකාව ක්‍රීඩා කල තණතීරුවේ නොව වෙනත් ස්ථානයක ක්‍රීඩා කරනවාදැයි ප්‍රේක්ෂකයන්ට සැක මතුවන ආකාරයේ වේගවත් පිතිහරඹයක යෙදුනු ඒරන් ෆින්ච් ඕස්ට්‍රේලියානු පිළිතුරු ඉනිමට සුපිරි ආරම්භයක් ලබා දීමට සමත් විය. ඩේවිඩ් වෝනර් ලකුණු 8කට දැවී ගියත් ෆින්ච් පන්දු 46කින් ලකුණු 56ක් රැස් කළේ හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමගිනුයි.

තරගය පන්දුවාර 30ක් තුල අවසන් කිරීමේ උත්සාහයක යෙදීසිටි ෆින්ච් දැවී ගියේ අමිල අපෝන්සෝ හට සිය මංගල ජාත්‍යන්තර කඩුල්ලේ අයිතිය ලබා දෙමිනි. කෙසේවෙතත් නායක ස්ටීවන් ස්මිත්, මැතිව් වේඩ් සහ ජෝජ් බෙයිලි, ෆින්ච්ගේ සුපිරි ආරම්භය අපතේ යාමට ඉඩ නොදී කණ්ඩායම ජයග්‍රාහී මාවතේ කෙමෙන් කෙමෙන් ඉදිරියට ගෙන යාමට සමත් විය.

ස්මිත් හතරේ පහර 5ක් සමග ලකුණු 58ක් ලබාගත් අතර බෙයිලි ලකුණු 39ක් සහ වේඩ් ලකුණු 26ක් ලබා ගන්නා ලදී. තරගයේ අවසන් භාගය වනවිට යම් සටනක් දෙමින් තරගය තම ග්‍රහණයට නතු කර ගන්නට ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් උත්සාහ දැරූවද ඒ වන විට ඕස්ට්‍රේලියානුවන් ජයග්‍රහණ මාවතේ ආපසු හැරවිය නොහැකි සීමාවක් කරා ගොස් සිටීම හේතුවෙන් එම උත්සාහය ව්‍යර්ථ විය.

මේ අනුව පන්දුවාර 46.5ක් තුල තවත් කඩුලු 3ක් අතැතිව ශ්‍රී ලංකාව ලබාදුන් ඉලක්කය පසු කර යන්නට ඕස්ට්‍රේලියානුවන් සමත් විය. පන්දුවෙන් ශ්‍රී ලංකා ඉනිම වනසන්නට පෙරමුණ ගත් ජේම්ස් ෆෝල්ක්නර් තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනා ගන්නා ලදී.

ලකුණු පුවරුව

ශ්‍රී ලංකාව – 227/8 (50)  – දිනේෂ් චන්දිමාල් – 80*, කුසල් මෙන්ඩිස් – 67, ටී.එම්. ඩිල්ශාන් – 22, ජේම්ස් ෆෝල්ක්නර් – 4/38, මිචෙල් ස්ටාක් – 3/32

ඔස්ට්‍රේලියාව – 228/7 (46.5) – ස්ටීවන් ස්මිත් – 58, ඒරන් ෆින්ච් – 56, ජෝජ් බෙයිලි – 39, මැතිව් වේඩ් – 26, දිල්රුවන් පෙරේරා – 3/48, ලක්ෂාන් සඳකැන් – 2/33

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට