බංග්ලාදේශ පුහුණුකරු යන්න යයි

1908

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ Russell Domingo මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

පසුගිය දා නිමා වූ ඉන්දීය කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයේ ටෙස්ට් තරග 2ම පරාජයට පත්වීමෙන් දින දෙකකට පසුව සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඔහු විසින් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය වෙත යොමු කර තිබෙන බව වාර්තා වෙනවා.

“අපට කණ්ඩායමට සහ ක්‍රීඩකයින්ට ධනාත්මක බලපෑමක් සහ ධනාත්මක උත්ප්‍රේරණයක් එල්ල කළ හැකි පුහුණුකරුවෙකු අවශ්‍යයි. ඔබට ඉදිරියේ දී වෙනස අපේ කණ්ඩායමෙන් දැකගන්න පුළුවන් වෙයි. අපි ඒ වෙනස සිදු කිරීමට අවශ්‍ය මූලික වැඩකටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. අපට අවශ්‍ය ගුණාත්මක හා ඉහළ තරගකාරී තරග රටාවක් ක්‍රීඩා කළ හැකි ඉතා ශක්තිමත් කණ්ඩායමක්.”

“අපි ඉන්දියාව පරාජය කිරීමට ආසන්නයට ගිය නමුත් අපිට එය සිදු කරගන්න බැරි වුනා. අපි දන්නවා ඉන්දියාව කියන්නේ ඉතාමත් හොඳ කණ්ඩායමක් කියලා.  හැබැයි අපි මේ ක්‍රීඩාංගණයේ දී ම එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව පරාජය කළා,” යැයි බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි Jalal Yunus මහතා විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබෙනවා.

“තරගකාරී ක්‍රිකට් ක්‍රීඩාව තුල, ධනාත්මක අභිප්‍රේරණය (motivation) ඉතාමත් වැදගත් වෙනවා. අපට අවශ්‍ය වන්නේ හොඳ පුහුණුකරුවෙකු පමණක්ම නෙවෙයි. ඔහු හොඳ පුහුණු උපදේශකයෙකු වෙන්නත් ඕනේ. මේ ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර මට්ටමේ දී කුසලතා ඉගැන්වීමට ලොකු ඉඩක් නැහැ, නමුත් පුහුණුකරු සෑම තරගාවලියක් අවසානයේ දීම ක්‍රීඩකයින්ගේ දස්කම් ගැන සමාලෝචනය කිරීම අනිවාර්ය,” යැයි Yunus මහතා එහි දී වැඩිදුරටත් පවසා තිබෙනවා.

Steve Rhodesට පසුව 2019 වසරේ දී බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සිය පත්වීම ලබා ගත් Domingoගේ පුහුණුකාරිත්වය යටතේ බංග්ලාදේශය තුල දී ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තයට එරෙහිව විස්සයි විස්ස තරගාවලි ජයක් ලබා ගන්නට බංග්ලාදේශය සමත් වුනා.

එවැනි ජයක් බංග්ලාදේශ ක්‍රිකට් ඉතිහාසය තුල වාර්තා වුනු පළමු අවස්ථාව ද එයයි. ඉන් නොනැවතුණු බංග්ලාදේශය එක්දින තරගවල දී දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව බංග්ලාදේශය තුල දී ම පරාජයට පත් කරමින් පෙරළිකාර දස්කම් පෙන්නුම් කළා.

“නව වසර ආරම්භයේ දී තවත් පුහුණුකරුවන් ගෙන්වා ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා,” යැයි අද උදෑසන (28) ඩකා හි පැවති දේශීය ක්‍රිකට් තරගාවලියක අවසන් තරගයක් අතරතුර, බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ සභාපති Nazmul Hassan මහතා පැවසුවා.

විදෙස් මාධ්‍ය ඇසුරෙනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<