කොදෙව් – ශ්‍රී ලංකා තරගය බලන්න දොරටු විවර වෙයි

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

638

මේ දිනවල බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය නැරඹීම සඳහා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දොරටු ප්‍රේක්ෂකයින්ට විවර කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව හෙට (24) සිට ක්‍රීඩාංගණයේ ධාරිතාවෙන් 50% ප්‍රතිශතයකට තරග ආශ්වාදය විඳ ගන්නට අවස්ථාව හිමි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් මඟින් දන්වා සිටියා.

කෙසේ නමුත් තරගාවලිය නැරඹීම සඳහා අවස්ථාව හිමි වන්නේ කොරෝනා මර්දන එන්නත ලබා ගෙන තිබෙන ප්‍රේක්ෂකයින් සඳහා පමණයි.

ක්‍රීඩාංගණයට ඇතුළත් වීම සඳහා එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති බවට සහතික කිරීම සඳහා එන්නත් කාඩ්පත ඉදිරිපත් කිරීම අනිවාර්ය වන අතර ඒ සඳහා Digital කාඩ්පත ද වලංගු වන බව ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබුණා.

එමෙන්ම දෙවැනි මාත්‍රාව රැගෙන දින 14කට වඩා වැඩි විය යුතු බව ද මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ තරගයක් ලෙස ගාල්ලේ දී පැවැත්වෙන ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අයහපත් කාලගුණ තත්වය නිසාවෙන් නවතා දමන විට කොදෙව්වන් කඩුලු 9ක් දැවී ලකුණු 224ක් ලබාගෙන සිටියා.

තරගාවලිය එළඹෙන 25 වැනිදා දක්වා පැවැත්වෙන අතර දෙවැනි ටෙස්ට් තරගය නොවැම්බර් 29 වැනිදා සිට දෙසැම්බර් 3 වැනිදා දක්වා ගාල්ලේ දීම පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<