ඔලිම්පික් පදක්කම් හොයන හෙල්ල වීසි කිරීමේ පුහුණුකරු “ප්‍රදීප්”

350

“2005 වසරේ ජාතික විසිකිරිමේ පුහුණුකරු ලෙසින් වැඩ ආරම්භ කරල අවුරුදු 11කින් ඔලිම්පික්වලට ක්‍රීඩකයෙක් සහභාගී කරවනවා. ඒ වගේම පැරා ඔලිම්පික් එකට සුදුසුකම් ලැබූ ක්‍රීඩකයන් දෙන්නෙක් බිහි කරල තියෙනවා. තවත් ක්‍රීඩකයෙක් සුදුසුකම් ලැබීමේ ආසන්න මට්ටමේ ඉන්නවා. ඔවුන් අතරින් එක් හෝ ඔලිම්පික් පදක්කමක් දිනා ගැනීමට ක්‍රීඩකයන් පුහුණු කිරීම මගේ අභිප්‍රායයි.” 

මෙහෙම පවසන්නේ මෙරට ජාතික විසිකිරීමේ පුහුණුකරු වන ප්‍රදීප් නිශාන්ත. අවස්ථා ගණනාවක හෙල්ල විසි කිරීමේ ජාතික වාර්තාවේ හිමිකාරිත්වය දැරූ ප්‍රදීප්ගෙන් පසුව එහි වර්තමාන හිමිකාරිත්වය ලබා සිටින්නේ ඔහුගේම ගෝලයෙක් වන සුමේධ රණසිංහ. 

සුමේධ මේ වන විට ඔලිම්පික් පරිසාධන මට්ටමේ සිටින බවයි ප්‍රදීප්ගේ තක්සේරුව. ඔහුට අමතරව 2017 වසරේ දී එංගලන්තයේ පැවති ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ දී හෙල්ල වීසි කිරීමේ එෆ් 46 කාණ්ඩයේ රිදී පදක්කම්ලාභී, 2018 ආසියානු පැරා මලල ක්‍රීඩා තරගාවලියේ රන් පදක්කම්ලාභී සහ 2019 ලෝක පැරා මලල ක්‍රීඩා උළෙලේ දී රිදී පදක්කම්ලාභී දිනේෂ් ප්‍රියන්ත හේරත් ද ඔහුගේ ගෝලයෙක්. 

දිනේෂ් මේ වෙද්දී ද එළඹෙන පැරා ඔලිම්පික් උළෙල නියෝජනය කිරීමට සුදුසුකම් ලබා සිටින ක්‍රීඩකයෙක්. එමෙන්ම සමිත දුලාන් ද එම තරගාවලියට සහභාගී වීමට සුදුසුකම් ලබා සිටින්නෙක්. ඊට අමතරව චමින්ද හෙට්ටිආරච්චි ද ඒ සඳහා සුදුසුකම් ලබා ගනු ඇතැයි ප්‍රදීප්ගේ විශ්වාසයයි. 

ප්‍රදීප් පාසල් ගියේ මොරටුව, හොරේතුඩුව, චන්ද්‍රසේකර මහා විද්‍යාලයට. පාසල් කාලයේ දුර පැනීම, මීටර් 100, උස පැනීම වගේ ක්‍රීඩා කරල තියෙනවා. ඒ පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලවල දී. ඒ ඉසව්වල ජයග්‍රහණත් ලබා ගැනීමට ප්‍රදීප් සමත් වෙලා තියෙනවා. පාසල් කාලයේ ක්‍රීඩාවක් ලෙසින් දිගටම කළා නම් ඒ ක්‍රිකට්. 1987 වසරේ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ ඇස්ට්‍රා මාගරින් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කාණ්ඩයේ අනුශූරතාව දිනා ගැනීමට ප්‍රදීප්ගේ කණ්ඩායම සමත් වෙනවා. ඒ තමයි ප්‍රදීප් පාසල් කාලයේ දිනූ ඉහළම ජයග්‍රහණය. 

 “පාසල් කාලයේ දිගටම ක්‍රීඩා කරන්න තරම් හැකියාවක් තිබුණෙ නැහැ. පාසලේ ඒවට ඒ තරමින් පහසුකම් තිබුනෙත් නැහැ. අපිට ආර්ථික පහසුකම් තිබුනෙත් නැහැ. නමුත් අපි අපිට පුළුවන් විදිහට ක්‍රීඩා කළා. මේ අතර පාසලේ සිටි කුමාරසිරි පීරිස් මහතා අපිට හෙල්ල විසි කිරීම ඉගැන්වුවා. ගඟ අයිනේ තිබුණ මාර කෝටු වගේ දේවල් අරගෙන තමයි පුහුණුවිම් කළේ. අලුත් අත්දැකීමක් නිසා අපි ගොඩක් දෙනෙක් ඊට සම්බන්ධ වුනා. මම මේ කියන්නේ 18න් පහළ වගේ වයස් කාණ්ඩයේ කතාවක්. තරග තියෙද්දී සතියකට විතර කලින් වේල්ස් කුමාර විද්‍යාලයෙන් ජවලින් එකක් ගෙනත් පුහුණුවීම් කළා. එහෙම කරල මට පළාත් මට්ටමේ පළමු තුන් දෙනා අතරට එන්න හැකි වුනා.”

පළාත් මට්ටමේ ඒ තරමින් දක්ෂතා දැක්වූවත් ප්‍රදීප්ට ඉන් එහාට ක්‍රීඩාවේ ගමනක් ගැන තේරුමක් හෝ දැනුමක් තිබුණෙ නැහැ. ප්‍රදීප්ගේ පියා ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ පෙදරේරුවෙක් ලෙසින් සේවය කළේ. පවුලේ වැඩිමලා වුනේ ප්‍රදීප්. ඔහුට බාල නංගිලා දෙදෙනෙක් සිටියා. අම්ම රැකියාවක් කළේ නැහැ. මේ නිසා පවුලේ වැඩිමලා ලෙසින් ගෙදර ආර්ථිකයට උරදීමේ දී ප්‍රදීප්ටත් වැඩි වගකීමක් තිබුණා. 

“පාසල් කාලයේ විවිධ දුෂ්කරතාවලට මුහුණ දුන්නා. මුදල් අවශ්‍යතා පිරිමහ ගන්න අපහසු නිසා අපි ගෙදර කිසිවෙක් අමතර කිසිම දේකට සහභාගී වුනේ නැහැ. පාසල් ගමන නිමාවෙනවත් එක්ක ම මම පෞද්ගලික ආයතනයක මැෂින් ඔපරේටර් හෙල්පර් කෙනෙක් ලෙසින් වැඩට යනවා.”

වරුණ ලක්ෂාන් සමඟ පුහුණුවීම් කරමින්

මේ කියන කාලයේ ප්‍රදිප්ගේ පාසල වූ චන්ද්‍රසේකර විද්‍යාලයේ හිටපු සහ ඉන්න ක්‍රීඩකයන්ගෙන් සමන්විත වූ ක්‍රීඩා සමාජයක් තිබුණා. ප්‍රදීප් ද එහි සාමාජිකයෙක්. නමුත් වැඩට යන එන ගමන් ඉඩක් ලැබුනොත් තමයි ප්‍රදීප් ඊට සහභාගී වුනේ. 

“එහෙම ඉන්න කොට අපේ ක්ලබ් එකෙන් මාව තරග වගයකට දාල තිබුණා. ඒත් ඉතිං කිසිම පුහුණුවීමක් තිබුණෙ නැහැ. නමුත් මම කොට්ඨාස තරගයෙන් පළමුවැනියා වුනා. එතැන දී මට උපුල් සිල්වා මහත්තයා හමු වෙනවා. ඔහු මගේ දක්ෂතා දැකල මට පුළුවන් වෙලාවල්වලට ඇවිත් පුහුණු වෙන්න කියල කතා කළා. ඊට පස්සෙ තමයි මම හෙල්ල වීසි කිරීම ගැන විධිමත්ව හදාරන්න ගත්තේ. මට ලැබුණ විවේක අවස්ථාවල මම පානදුර ක්‍රීඩාංගණයට ගොස් ඒ මහතා යටතේ පුහුණුවීම් ලැබුවා.”

මේ පුහුණුවීම් අතරතුරේ දී හමු වූ අතුකෝරල නැමති මහත්මයෙක් එවකට ක්‍රීඩා අමාත්‍යංශයේ සිටි එස්. එම්. බී. බණ්ඩාර මහතාට ප්‍රදීප්ව හඳුන්වා දෙනවා.

“එතැනින් තමයි මගේ ජීවිතයේ මාව මේ මාර්ගයට තල්ලු වුනේ. මම රස්සාවට යන ගමන් පුළුවන් විදිහට පුහුණුවීම්වල නිරත වුනා. ඒක හරි අමාරු කාලයක්. වැඩට යන්න ඕන. පුහුණුවීම්වල යෙදෙන්න ඕන. ගෙදර යන්නේ මැරිච්ච ගාණට. අවස්ථා දෙක තුනක දී ම පුහුණුවීම්වලින් නතර වෙන්න හැදුවා. ඒත් මා වටා සිටි අය ඒකට ඉඩ දුන්නේ නැහැ. දවසක් දෙකක් නොගිහින් හිටියොත් ඇවිත් මාව එක්ක යනවා.” 

මේ අතර 1991දී හෙල්ල වීසි කිරීමේ ජාතික සංචිතයක් පිහිටුවීමට තෝරා ගැනීමේ තරගයක් තියෙනවා. ප්‍රදීප් ද එහි සාමාජිකයෙක් වුනා. එහි දී මීටර් 57කට වැඩි දුරක් හෙල්ල වීසි කරන ප්‍රදීප් එම සංචිතයට ඇතුළත් වෙනවා. 

තවත් විශේෂාංග ලිපි:

ඊට පස්සේ එක සිලෙක්ෂන් 1991 වගේ සිලෙක්ෂන් එකක් තිබුණා. ට්‍රේනින් වැටිල තිබුණේ ඇඟේ තිබුණා. මීටර් 57ක් ගහල දිනනවා. එතැන් සිට ප්‍රදීප් ජාතික ක්‍රීඩා උළෙලේ දී මෙන්ම ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ ද කැපී පෙනෙන ක්‍රීඩකයෙක් බවට පත් වෙනවා. මේ හේතුව නිසාම ඔහුට 1993 වසරේ දී ශ්‍රී ලංකා යුද හමුදා මලල ක්‍රීඩා කණ්ඩායමට පිවිසීමට ද වරම් ලැබෙනවා. 

“මට මේ අවස්ථාව ලබා දුන්නේ ජෙනරල් පාලිත ප්‍රනාන්දු මහතා. ඒ මහතාගේ අධීක්ෂණය යටතේ මට සියලු පහසුකම් ලබා දෙනවා. යුද හමුදාවේ දී හොඳ පුහුණුවීමක් ලැබෙනවා. 1994 දී ශ්‍රී ලක් ක්‍රීඩා සමාජ තරගාවලියේ දී ශ්‍රී ලංකා රෙකෝඩ් එකට වඩා වැඩි දක්ෂතාවක් දක්වනවා. නමුත් තරගාවලියේ යම් යම් නීතිමය ගැටලු හේතුවෙන් මට ඒක ලබා දෙන්නේ නැහැ. ඒත් ඒ අවුරුද්දේම කොළඹ සුගතදාස එකේ තිබූ ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ දී මීටර් 64.37ක් දුර හෙල්ල වීසි කරල මම ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවනවා.”

අනතුරුව ශ්‍රී ලංකා වාර්තාව අවස්ථා තුනක දී තමන් සන්තක කර ගැනීමට ප්‍රදීප් සමත් වෙනවා. ඒ අනුව 1996 දී එතෙක් වසර 24ක් පුරා සැමියෙල් ජෝසප් සතුව තිබූ මීටර් 68.36ක ශ්‍රී ලංකා වාර්තාව මීටර් 69.50කින් අලුත් කිරීමට ද ප්‍රදීප් සමත් වෙනවා. අනතුරුව එම වාර්තාවම 2003 අවුරුද්දේ දී මීටර් 74.27ක දුර දමමින් අලුත් කිරීමට ද ප්‍රදීප් සමත් වෙනවා. 

මේ අතර කාලයේ දී ප්‍රදීප් 1995 ඉන්දියාවේ නවදිල්ලි නුවර දී පැවති SAG ක්‍රීඩා උළෙලේ දී ලෝකඩ පදක්කමක් ද, 2002 වසරේ දී තායිලන්ත විවෘත මලල ක්‍රීඩා තරගාවලියේ දී රිදී පදක්කමක් ද, 2003 වසරේ දී මෙරට දී පැවති ආසියානු ගෝන්ෆ්‍රී තරගාවලියේ රිදී පදක්කම ද සහ එම වසරේ දී ම පිලිපීනයේ පැවති ආසියානු ගෝන්ෆ්‍රී තරගාවලියේ දී ලෝකඩ පදක්කම ද ලෙසින් ජාත්‍යන්තර පදක්කම් ද දිනා ගැනීමට ප්‍රදීප් සමත් වෙනවා.  

“2004 අවුරුද්දේ මගේ අතේ මැදඟිල්ලේ ටිෂූ ඉරෙන්න ගන්නවා. කොතරම් වෛද්‍ය ප්‍රතිකාර කළත් නැවත නැවතත් ඒක මතු වෙනවා. මේ නිසා මම ක්‍රීඩාවෙන් ඉවත් වෙන්න තීරණය කළා. ඒත් ඉතිං ඇඟේ තියෙන්නේ ක්‍රීඩාව නිසා නිකං ඉන්නත් බැහැ. මම 2005/06 අවුරුද්දේ ජාතික ක්‍රීඩා පාසලේ ඩිප්ලෝමාවක් හදාරනවා.”

එතැන් සිට ප්‍රදීප්ගේ ජීවිතය ගෙවී යන්නේ පුහුණුකරුවෙක් ලෙසින් කාලය ගතකරමින්. 

“මම පුහුණුකරුවෙක් ලෙසින් ෆීල්ඩ් එකට ආවට පස්සේ මගේ වාර්තාව කිහිප දෙනෙක්ම අලුත් කරනවා. ඒ සෑම අවස්ථාවකම මා යටතේ පුහුණුවීම් ලබන කෙනෙක් ඒ වාර්තාව නැවත අලුත් කළා. වරුණ ලක්ෂාන්, සජිත් මධුරංග සහ සුමේධ රණසිංහ ඒ අය. මේ අතරින් 2014 අවුරුද්දේ දී සුමේධ රණසිංහ මීටර් 83.04ක දක්ෂතා දක්වමින් වර්තමාන ශ්‍රී ලංකා වාර්තාවේ හිමිකාරීත්වයේ ඉන්නවා. ඔහු රියෝ ඔලිම්පික් උළෙල ද නියෝජනය කළා. ඒ වගේම වරුණ ලක්ෂාන් ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය නියෝජනය කිරීමට ද සමත් වුනා. ඒ ගැන පුංචි ආඩම්බරකමක් තියෙනවා. ඒ වගේම සුමේධ මේ වෙද්දී ඔලිම්පික් දක්ෂතා අතර 33 වැනියට ඉන්නවා. ඔහු ඊළඟ ඔලිම්පික් උළෙල නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගැනීමේ මට්ටමේ ඉන්නේ.”

ප්‍රදීප් බිරිඳ නයනා කුමාරි. එයා මොරටුව නගර සභාවේ ආයුර්වේද අංශයේ වැඩ කරනවා. ප්‍රදීප්ගේ ක්‍රීඩා ජීවිතය වෙනුවෙන් නයනාගෙන් විශාල සහයෝගයක් ලැබෙනවා කියලයි කියන්නේ. ඒ සහයෝගය නොමැති නම් තමන්ට මේ තරමින් ගමනක් එන්න වෙන එකක් නැහැ කියලයි ඔහු කියන්නේ. ඒ වගේම වේල්ස් කුමරි විද්‍යාලයේ ඉගෙනුම ලබන මහේලි මිනූපමා ද තමන්ට විශාල සහයෝගයක් දක්වනවා කියලයි ප්‍රදීප් කියන්නේ. 

“මම සියෙරා කන්ස්ට්‍රක්ෂන් සමාගමේ අවුරුදු 17ක් විතර වැඩ කළා. ඒ අතර කාලයේ පුහුණුවිම්වලට යන්න එන්න ලැබුණා. ඊට පස්සේ 2015 සිට ගේට්වේ ජාත්‍යන්තර පාසලේ මලල ක්‍රීඩා පුහුණුකරු තනතුරත් ලැබුණා. වෛද්‍ය හර්ෂ අලස් මහතා මේ අවස්ථාව මට ලබා දෙමින් මාව ආර්ථික පැත්තෙන් ශක්තිමත් කළා. ඒ වෙනුවෙන් ඔහුට විශේෂයෙන්ම ස්තුති කළ යුතුයි. ඒ වගේම ජෙනරල් පාලිත ප්‍රනාන්දු මහතා මාව මුල සිටම බලා ගත්තා. ඒ මහතාටත් මගේ විශේෂ ස්තුතිය හිමි වෙනවා”, ප්‍රදිප් පැවැසුවා.

ප්ලැටිනම් සම්මානය ලැබූ දා තම ආදරණීයන් සමග

කෙසේ නමුත් යුද හමුදාව සහ පෞද්ගලික අංශය නොවන්නට ක්‍රීඩාවට රජයේ මැදිහත් වීම සම්බන්ධයෙන් ප්‍රදීප් දක්වන්නේ නොපහන් බවකි. ඔහු පවසන්නේ රජය මීට වඩා මේ වෙනුවෙන් අවධානය යොමු කළ යුතු බවයි. 

“රජයේ ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ ක්‍රීඩකයන් බලා ගැනීමේ වැඩ පිළිවෙළක් විතරයි. පුහුණුකරුවන් ඇගයුවා නම් ඒ ක්‍රීඩකයන් ජයග්‍රහණය කළ අවස්ථාවක දී විතරයි. පරාජය වුනහම අපේ වෙහෙස ඔවුන් දකින්නේ නෑ. ඒක වැරදියි. ජාත්‍යන්තර තරගයකට සුදුසුකම් ලබන තරමට ක්‍රීඩකයෙක් පුහුණු කිරීමට පුහුණුකරුවෙක් කොච්චර මහන්සි වෙනවා ද? නමුත් වර්තමාන ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මැතිතුමා ගැන අපේ විශේෂ බලාපොරොත්තුවක් තියෙනවා. එතුමා අපි ගැන මීට වඩා බලාගනීවි කියන විශ්වාසය තියෙනවා”, ප්‍රදීප් පැවසුවා.

වෛද්‍ය හර්ෂ අලස් මහතා සමඟ

ප්‍රදීප් ක්‍රීඩා ලෝකයට කළ මෙහෙය වෙනුවෙන් 2016 සහ 2018 වසර ද්විත්වයේ සිරස Platinum සම්මාන උළෙලේ දී වසරේ පුහුණුකරු ලෙසින් ද සම්මාන දිනා ගනිමින් ඇගයීමට ලක් වෙනවා. එවැනි කාර්යයක නියැලෙමින් ශ්‍රී ලාංකීය අනාගත මලල කෙළිබිමට විසි කිරීමේ ඉසව්වෙන් විශ්වාසවන්ත ක්‍රීඩකයන් බිහිකරන්නට වෙහෙස මහන්සි වෙන ප්‍රදීප් නිශාන්තට ThePapare.com හි සුබ පැතුම් එක් කරමු.  

 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<