පාකිස්තානු පිළේ තරගාවලි ජයග්‍රහණ සිහිනය බොඳ වෙයි!

125

දකුණු අප්‍රිකාවේ දී එක්දින තරගාවලියක් ජය ගැනීමේ දුර්ලභ අවස්ථාවක් ඊයේ (30) සංචාරක පාකිස්තානු කණ්ඩායමට අහිමි වී ගියේය. ඒ කේප්ටවුන් හිදී ඊයේ ක්‍රියාත්මක වූ පස්වැනි සහ අවසන් එක්දින තරගය දකුණු අප්‍රිකානුවන් කඩුලු 7කින් ජය ගැනීමත් සමඟයි.

කෙසේ වෙතත් දෙපිළේම ක්‍රීඩකයින් මෙම තරගාවලිය අතරතුරේ දී ඉතාමත් ඉහළ මට්ටමේ දස්කම් දැක්වීමට සමත් වූ අතර එය නුදුරේ දී ම ආරම්භ වන්නට නියමිත එක්දින ලෝක කුසලානය ගැන කණ්ඩායම් දෙකේම බලාපොරොත්තු ඉහළ නැංවීමට හේතු වනු ඇත.

ඉන්දීය ක්‍රීඩකයෙකුගේ දඟපන්දුව තහනමට ලක් කෙරේ

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නිර්දේශවලට අනුව අද(28) දිනයේ සිට වහාම…

ඊයේ දිනයේ කාසියේ වාසිය ජය ගත් දකුණු අප්‍රිකානු නායකයා මුලින් පන්දුවට පහර දීමට පාකිස්තානුවන්ට ඇරයුම් කළේ ඉතාමත් ඥානාන්විත තීරණයක් ගනිමිනි. අවසන් තරගයක තමන් සතු පන්දු බල ඇණිය ඉදිරියේ විශාල ලකුණු ගණනක් රැස් කිරීමේ දී පිතිකරුවන්ට ඇතිවන පීඩනය ඔහු හොඳින් දැන සිටියේය. ඒ අනුව ඉනිම ඇරඹූ පාකිස්තානුවන්ට තම කඩුලු ආරක්ෂා කර ගැනීමත්, දකුණු අප්‍රිකානුවන්ට අභියෝගයක් එල්ල කළ හැකි ආකාරයේ ලකුණු පුවරුවක් ගොඩ නැගීමත් යන තීරණාත්මක කඩඉම් දෙකකට එකවර මුහුණ පෑමට සිදු විය. අවසන් ප්‍රතිඵලය වූයේ ගොඩ නැගුණු පීඩනය නිසාම නියමිත පන්දුවාර 50 අවසානයේ පාකිස්තානු පිළ ලකුණු 240කට සීමා වීමයි.

ඉනිම ආරම්භ වී වැඩි වේලාවක් ගතවන්නට පෙර පාකිස්තානය වෙනුවෙන් මෙම තරගාවලියේ දී සාර්ථකම පිතිකරු ලෙස දක්ෂතා දැක්වූ ඉමාම් උල්-හක් දැවී යාම මුල සිටම දකුණු අප්‍රිකාව දෙසට තරගය නැඹුරු කරවන්නට හේතුවක් විය. තම අත්දැකීම්වලින් අවශ්‍ය මොහොතේ දී ඵල නෙලාගත් ඩේල් ස්ටේන්, ඉමාම්ව දවා ගත්තේ ලකුණු 8ක් පමණක් ලබා සිටියදීයි. දකුණු අප්‍රිකානු පිළට ඊයේ දිනයේ එකම හිසරදය බවට පත්වූ ෆකාර් සමාන් ලකුණු 70ක් රැස් කර ගත්තේ පන්දු 73කට පමණක් මුහුණ දෙමිනි. ඔහුගේ ඉනිමට දර්ශනීය හතරේ පහර 10ක් ඇතුළත් විය.

මේ හැරුණුකොට අනෙකුත් පාකිස්තානු මැදපෙළ පිතිකරුවන් යම් ආරම්භයක් ලබා ගත්ත ද එය ඵලදායි ඉනිමක් බවට පත්කර ගැනීමට සමත් නොවීය. දකුණු අප්‍රිකානුවන් ඔවුන් වෙත එල්ල කළ පීඩනය කොතෙක් ද යත් පාකිස්තානු කණ්ඩායමේ ප්‍රබලතම තුරුම්පු වන මොහොමඩ් හෆීස්, ශොයිබ් මලික් මෙන්ම මොහොමඩ් රිස්වාන් සහ ශදාබ් කාන් ද ක්‍රීඩා කළේ එක්දින තරගයකට වඩා ටෙස්ට් තරගයට සුදුසු ආකාරයේ මන්දගාමී ඉනිම් කිහිපයකි. පන්දු යැවීමේ දී තරගාවලිය පුරා දක්ෂතා අතරට පිවිසි අන්දිල් පෙලුක්වායෝ කඩුලු 2ක් ද, අවසන් තරගයට පමණක් කැඳවුම් ලද ඩ්වේන් ප්රිටෝරියස් කඩුලු 2ක් ද දවා ගත්තේය.

තේරීම් කමිටුවේ බලතල වලින් හතුරු ගලවයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු …

පාකිස්තානු පිතිකරුවන් සාර්ථක නොවූවද යහමින් ලකුණු තිබූ කේප්ටවුන් තණතීරුවේ ලකුණු 241ක් ලබා ගැනීම දකුණු අප්‍රිකානුවන්ට කිසිසේත්ම අපහසු අභියෝගයක් වූයේ නැත. ඒ වෙනුවෙන් ඔවුන් වැය කළේ හරියටම පන්දුවාර 40ක් පමණි. සුපිරි පිතිකරු හෂීම් අම්ලා ඊයේ දිනයේ දී ලකුණු 14ක් පමණක් ලබා සිටිය දී නවක ක්‍රීඩක ශහීන් අෆ්රිඩිට ගොදුරු වූවත් අනෙක් පිතිකරුවන් සියල්ල තම වගකීම් අකුරටම ඉටු කළහ. ඒ කඩුලු 3ක් පමණක් දැවී තිබිය දී තම කණ්ඩායම ජය කණුව කරා රැගෙන යමිනි. සුපිරි ක්‍රීඩා රටාවක් නිරූපණය කළ ක්වින්ටන් ඩි කොක් ඊයේ ලකුණු 83ක් රැස් කළේ හතරේ පහර 11ක් සහ හයේ පහර 3ක් එල්ල කරමිනි. ඔහුගේ ප්‍රවේගකාරී ඉනිමට පන්දු 58ක් පමණක් සෑහුණි.

ලකුණු 34ක් රැස් කළ රීසා හෙන්ඩ්රික්ස් දැවී යාමෙන් පසු පිටියේ එක්වුනු නායක ප්ලෙසිස් සහ දකුණත් මැදපෙළ පිතිකරු වෑන් ඩර් ඩුසේන් තරගය නිමාවන තුරුම පිටියේ රැඳී සිටින්නට සමත් වූහ. මෙම සංචාරයේ දී එක්දින පිටියට හඳුන්වා දුන්න ද තමා ලෝක කුසලාන සංචිතයට පවා සුදුසු ක්‍රීඩකයෙකු බව ඔප්පු කර සිටින 29 හැවිරිදි ඩුසේන්, ඊයේ තම තෙවැනි අර්ධ ශතකයත් රැස්කර ගත්තේ තරගයේ අවසන් පන්දුවට එල්ල කළ හයේ පහරක් සමඟිනි. ඒ වන විට දකුණු අප්‍රිකානුවන්ට ජයග්‍රහණය සඳහා ද අවශ්‍ය වූයේ හරියටම ලකුණු 6කි. ඩුසේන් මේ දක්වා එක්දින තරග 5කට මුහුණ දෙමින් ලකුණු 241ක් රැස් කරගෙන සිටින්නේ ඉනිමක සාමාන්‍යය 120.5ක් තරම් ඉහළ අගයක රඳවා ගනිමිනි.

තම නායකත්වයේ වගකීම එලෙසින්ම ඉටු කළ ෆැෆ් ඩු ප්ලෙසිස් ඊයේ දිනයේ වාර්තා කළේ එක්දින දිවියේ තම 31 වැනි අර්ධ ශතකයයි. ඔහුගේ ඉනිමට හතරේ පහර 3ක් ඇතුළත් විය. පන්දු යැවීමේ දී මොහොමඩ් ආමීර්, ශහීන් අෆ්රිඩි සහ උස්මාන් කාන් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය. තරගයේ වීරයා සම්මානය දකුණු අප්‍රිකානු පිළේ නැංගුරම ලෙස කටයුතු කළ ක්වින්ටන් ඩි කොක්ට හිමි විය. තරගාවලියේ වීරයා ලෙස සම්මාන පිරිනැමුණේ තරගාවලිය පුරාවට පිත්තෙන් සුපිරි දක්ෂතා දක්වමින් අර්ධ ශතක දෙකක් සහ එක් ශතකයක් සමඟින් ලකුණු 271ක් රැස්කළ ඉමාම් උල්-හක්ටයි.

විදෙස් රටකින් දිමුත්ට ඇරයුමක්!

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ වමත් ආරම්භක පිතිකරුවෙක් වන ….

මේ සියලු දක්ෂතා සැලකීමේ දී දකුණු අප්‍රිකානුවන්ට මේ දිනවල හොඳින්ම දක්ෂතා දක්වන ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ලෝක කුසලානයට ඉදිරිපත් කිරීමට මෙවරත් හැකිවනු ඇත. ප්‍රශ්නය වන්නේ ඉතිහාසයේ සිටම කොතරම් සුපිරි කණ්ඩායමක් ඉදිරිපත් කළ ද ලෝක කුසලානයක් දිනා ගැනීමට ඔවුන්ට අවස්ථාව ලබා නොදෙමින් ඔවුන් පසුපස එන අවාසනාවයි. තරගාවලි පරාජය හැරෙන්නට පාකිස්තානු කණ්ඩායම ද ශහීන් අෆ්රිඩි, උස්මාන් කාන් වැනි පන්දු යවන්නන් මෙන්ම ඔවුන්ගේ බොහොමයක් පිතිකරුවන් ද දක්ෂතා අතර සිටින බව මෙම තරගාවලිය අතරතුරේ දී තහවුරු කර ගත්තේය.

පාකිස්තානය – කඩුලු 8ක් දැවී ලකුණු 240 (පන්දුවාර 50)

ෆකාර් සමාන් 70, ඉමාඩ් වසීම් 47*, ශොයිබ් මලික් 31, බාබර් අසාම් 24, ශදාබ් කාන් 19, මොහොමඩ් හෆීස් 17, අන්දිල් පෙලුක්වායෝ 2/42, ඩ්වේන් ප්රිටෝරියස් 2/46, විලම් මුල්ඩර් 1/20, කාගිසෝ රබාඩා 1/43.

දකුණු අප්‍රිකාව – කඩුලු 3ක් දැවී ලකුණු 241 (පන්දුවාර 40)

ක්වින්ටන් ඩි කොක් 83, වෑන් ඩර් ඩුසේන් 50*, ෆැෆ් ඩු ප්ලෙසිස් 50*, රීසා හෙන්ඩ්රික්ස් 34, හෂීම් අම්ලා 14, ශහීන් අෆ්රිඩි 1/34, මොහොමඩ් ආමීර් 1/40, උස්මාන් කාන් 1/43.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<