Youth පිටිය හෙල්ලූ නිපුන්ලා

696

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ Major Club Youth ක්‍රිකට් තරගාවලිය හෙවත් 23න් පහළ ක්‍රිකට් තරගාවලිය රටේ නැවත මතු වූ සෞඛ්‍ය තත්ත්වයන් හේතුවෙන් නතර වන විට පළමු වටයේ සියලු තරග අවසන්ව තිබුණි. 

ඒ අනුව කාණ්ඩ 4 ශූරයන් වී සිටියේ බදුරලිය ක්‍රීඩා සමාජය, ලංකන් ක්‍රිකට් සමාජය, කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සහ එස්. එස්. සී. කණ්ඩායම් ය. ඔවුන් අතර පැවැත්වීමට නියමිතව තිබූ අවසන් පූර්ව තරග ද මේ වන විට දින නියමයක් නොමැතිව කල් දමා ඇත. 

නමුත් තරගාවලියේ උණුසුම් මතකයක් තවමත් ක්‍රීඩකයන් තුළ මෙන්ම ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ ද හිත් තුළ පවති. ඒ අතුරින් වඩාත් වැඩි අවධානයක් යොමු වූයේ තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා සහ වැඩිම කඩුලු ලාභියා වෙත ය. එස්. එස්. සී. කණ්ඩායම නියෝජනය කරන නිපුන් ධනංජය තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වන විට වැඩිම කඩුලුලාභියා වූයේ නුගේගොඩ ක්‍රිකට් සමාජයේ නිපුන් ලක්ෂාන් ය. 

නිපුන් ධනංජය තරගාවලියේ පළමු වටය අවසන් වන විට තරග 6කට සහභාගී වී ශතකයක් සහ අර්ධ ශතක තුනක් සමඟ ලකුණු 376ක් ලබා සිටියේ ය. තරගාවලියේ වැඩිම ලකුණුලාභීන් අතර දෙවැනි තැන සී. සී. සී. කණ්ඩායමේ මළිඳු මධුරංග (273) ද, තෙවැනි තැන ටැමිල් යූනියන් කණ්ඩායමේ රවිඳු ප්‍රනාන්දු (253) ද සිව්වැනි තැන හලාවත මේරියන්ස් ක්‍රිකට් කණ්ඩායමේ කමිඳු මෙන්ඩිස් (249) ද සහ පස්වැනි තැන නුගේගොඩ ක්‍රීඩා සමාජයේ සකුණ ලියනගේ (243) හිමිව ඇත. 

තරගාවලියේ වැඩිම කඩුලු ලබා ගත් නිපුන් ලක්ෂාන් තරග 6කට සහභාගී වී කඩුලු 15ක් ලබා ගත්තේ ය. එහි දෙවැනි, තෙවැනි සහ සිව්වැනි තැන්වලට සෙබස්තියනයිට්ස් ක්‍රිකට් සමාජයේ තරුෂ ප්‍රනාන්දු (14), සී. සී. සී. කණ්ඩායමේ අම්ෂි ද සිල්වා (14) සහ කළුතර ටවුන් සමාජයේ ලසිඳු අරෝෂණ (14) ද, පස්වැනි තැන ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජයේ සචිඳු කොළඹගේ (12) වෙත ද හිමිව ඇත. 

නිපුන් ධනංජය

“රටේ පැවති තත්ත්වය හමුවේ අපිට හරියට පුහුණුවීම් කර ගන්න බැරි වුනා. පුහුණු තරග කිහිපයකට මුහුණ දුන්නත් හිතූ තරම් දක්ෂතා දක්වන්න බැරි වුනා. නමුත් තරගාවලියේ වැඩිම ලකුණු ලබා ගන්නා ක්‍රීඩකයන් තුන් දෙනා අතරට එන්න ඕන කියන බලාපොරොත්තුව ආරම්භයේ සිටම තිබුණා. ඒ ඉලක්කය වෙනුවෙන් මහන්සි වුනා. අවසානයේ තරගාවලියේ වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩකයා වීමට මට හැකි වුනා. ඒ ගැන සතුටුයි” නිපුන් ධනංජය අප සමඟ පැවසුවේ ය. 

නිපුන් තරගාවලියේ පළමු වටය අවසන් කරන විට ඉනිමක සාමාන්‍ය 75.2ක් රඳවා ගැනීමට සමත් විය. එහි දී ඔහු බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට එරෙහිව පන්දු 117කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 100ක් වාර්තා කරන්නේ ය. එය ඔහුගේ මෙවර තරගාවලියේ හොඳම ඉනිම බවට ද පත් වන්නේ ය. ඊට අමතරව කුරුණෑගල යුත් ක්‍රීඩා සමාජයට, ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජයට සහ සී. සී. සී. කණ්ඩායමට එරෙහිව අර්ධ ශතක ත්‍රිත්වයක් ද වාර්තා කරන්නේ ය. 

මේ දක්ෂතා සඳහා මඟ පෑදීමට තම විද්‍යාල බෙහෙවින් උපකාරී වූ බැව් නිපුන් පවසයි. නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලෙන් හා හා පුරා ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වන නිපුන්ගේ දක්ෂතා ඔප මට්ටම් වෙන්නේ වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයෙනි. 

“ධම්මිස්සර විද්‍යාලයේ වයස අවුරුදු 13න් පහළ ක්‍රීඩා කරපු පළමු අවුරුද්දේම මම ලකුණු 631ක් ගහනවා. ඊට පස්සේ දිගින් දිගටම ලකුණු අතර හිටියා. මේ අතර වයස අවුරුදු 15න් පහළ ක්‍රීඩා කරන්න ජෝසප් වාස් විද්‍යාලයට එනවා. ඒ අවුරුද්දේ ම මම වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ කණ්ඩායමටත් ක්‍රීඩා කරනවා.”

එහි පෑ දක්ෂතා හේතුවෙන් නිපුන්ට ශ්‍රී ලංකා වයස අවුරුදු 15න් පහළ ක්‍රිකට් කණ්ඩයම හා එක් වීමට අවස්ථාව උදා වේ. කණ්ඩායමේ නායකත්වය හිමි වෙන නිපුන් මැලේසියා සංචාරයකට ද එක් වේ. වයස අවුරුදු 17න් පහළ ක්‍රීඩා කරද්දී වයස අවුරුදු 19න් පහළ පළාත් තරගාවලියේ ද ඉඩක් වෙන් කර ගන්නා නිපුන් 2017 වසරේ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් ඇගයීමේ උළෙලේ දී දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා සම්මානයෙන් ද පිදුම් ලබන්නේ ය. 

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් තරග සංචාර 10කට වඩා එක් වී ඇති නිපුන් 2020 වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට ද පත් වෙන්නේ ය. 

“ඒ අත්දැකීම් ද සමඟින් මේ තරගාවලියට සහභාගී වෙමින් මගේ කණ්ඩායමට විශාල දෙයක් කරන්න බලාපොරොත්තු වුනා. ඒ වගේම ඒ දේ කරන්න හැකි වුනා. දැන් බලාපොරොත්තු වෙන්නේ Semi Final දිනල අවසන් මහා තරගය ජයග්‍රහණය කරන්න. මම විශ්වාස කරනවා අපිට ඒ දේ කරන්න හැකි වේවි කියලා. ඊට සුදුසු කණ්ඩායමක් අපට ඉන්නවා” නිපුන් පැවසුවේ ය. 

තවත් විශේෂාංග ලිපි:

නිපුන් ලක්ෂාන්

“තරගාවලිය ආරම්භයේ දී ම අපිට විශාල අභියෝගයක් තිබුණා. ප්‍රබල කණ්ඩායම් කිහිපයක්ම අපේ කාණ්ඩයේ සිටියා. කොහොම වුනත් තරගාවලිය ඉතා හොඳින් කිරීමයි අපේ බලාපොරොත්තුව වෙලා තිබුණේ. මේ වෙනුවෙන් ගොඩක් මහන්සි වුනා. එහි ප්‍රතිඵල තියෙනවා. ඒ ගැන සතුටුයි” නිපුන් පැවසුවේ ය. 

නුගේගොඩ ක්‍රිකට් සමාජයේ නායකයා වන නිපුන් ලක්ෂාන් තරගාවලියේ නිමා වූ පළමු වටයේ දී ඉනිම් 6කට සහභාගී වෙමින් කඩුලු 15ක් ලබා ගන්නේ ය. එහි දී ඔහුගේ හොඳම දක්ෂතාව පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 57කට ලබා ගත් කඩුලු 4යි.  

“අපි ඉතා සමබර කණ්ඩායමක් ලෙසින් තරගාවලියට එක් වුනා. නමුත් ඉදිරි වටයට පැමිණීමට තරම් අපේ දක්ෂතා වැදගත් වුනේ නැහැ. ඒ වුනත් පෞද්ගලිකව මට දැක්වීමට හැකි වූ දක්ෂතා ගැන සතුටු වෙනවා. ඒ වගේම ඒ වෙනුවෙන් සහයෝගය ලබා දුන් ක්‍රීඩා සමාජයේ නිලධාරීන්, සහෝදර ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන්ටත් මම ස්තුතිවන්ත වෙනවා.“

නිපුන්ගේ ක්‍රිකට් ජීවිතය ආරම්භ වෙන්නේ රාජගිරිය ජනාධිපති විද්‍යාලයෙනි. ඔහු වයස අවුරුදු 13න් පහළ කණ්ඩායමේ සිටම එහි සාමාජිකයෙකි. තමන් සහභාගී වූ පළමු තරගාවලියේ දී ම ලකුණු 788ක් සහ කඩුලු 68ක් ලබා ගැනීමට ඔහු සමත් වේ. 

“ඒ දක්ෂතාත් සමඟින් මම ශ්‍රී ලංකා වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් මැලේසියා සංචාරයට එක් වෙනවා. ඊට පස්සේ අවුරුද්දේ සිට කොළඹ තර්ස්ටන් විද්‍යාලයට එක් වීමට ආරාධනා ලැබෙනවා.”

එසේ තර්ස්ටන් විද්‍යාලය හා එක් වූ නිපුන්, 2014 වසරේ දී වයස අවුරුදු 15න් තර්ස්ටන් විද්‍යාලයීය කණ්ඩායමේ නායකත්වයට පත් වේ. අනතුරුව 2017 වසරේ දී වයස අවුරුදු 17න් පහළ කණ්ඩායමේ නායකත්වයට ද පත් වෙන්නේ නිපුන් ය. එම වසරේ දී තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රිකට් ඉතිහාසයේ  17න් පහළ පළමු කොටසේ කණ්ඩායමක්  අවසාන මහා තරගය සඳහා ගෙන ඒමට නිපුන් සමත් වෙන්නේ ය. ඒ වසර 37කට පසුව වීම කැපී පෙණේ. වසර 5ක් තර්ස්ටන් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ද නියෝජනය කරන නිපුන් එම වයස් කාණ්ඩයේ 2017/18 වසරේ නායකත්වයට ද පත් වෙන්නේ ය. 

මේ කාලයේ දී ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම තෝරා ගැනීම සඳහා පැවති සංචිතයේ සාමාජිකයෙක් වීමට ද නිපුන් සමත් වෙන්නේ ය. අනතුරුව මුම්බායි හී දී පැවති ඉන්දීය අභියෝග ශූරතා තරගාවලිය වෙනුවෙන් සහභාගි වූ වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම හා එක් වීමට ද නිපුන් වාසනාවන්ත වන්නේ ය. 2017 වසරේ දී ඕස්ට්‍රේලියාව සමඟ පැවති වයස අවුරුදු 19න් පහළ සංචාරයේ අතිරේක ක්‍රීඩකයෙක් ලෙසින් ද නිපුන් කටයුතු කළේ ය. 

“ක්‍රිකට් ජීවිතයේ විශාල අභියෝග තිබුණා. මහන්සියෙන් සහ කැපවීමෙන් ඒ අභියෝග ජය ගන්නට හැකි වුනා. මේ පිටුපස ගොඩක් දෙනෙක් ඉන්නවා. ඔවුන් සියලුම දෙනාට මම ස්තුතිවන්ත වෙනවා.“

නිපුන් පසුගිය වසරේ මේ තරගාවලියේ දී නියෝජනය කරනුයේ පානදුර ක්‍රීඩා සමාජය ය. එහි ද නායකයා ලෙසින් කටයුතු කළේ නිපුන් ය. 

දැනට අතර මග නතර කර තිබෙන Major Club Youth හෙවත් වයස අවුරුදු 23න් පහළ තරගාවලිය මෙරට ක්‍රිකට් පිටියට සැබෑ දක්ෂයන් හඳුන්වා දෙන තෝතැන්නක් වන්නේ ය. නමුත් අවාසනාවකට මෙන් මේ තරගාවලිය මේ වන විට මෙසේ නතර වී ඇත. රට යහපත් වන හෙට දිනයේ දී නැවත මෙම තරගාවලිය සක්‍රීය වනු ඇත. එවිට නිපුන්ලාට අමතරව තවත් ක්‍රීඩකයන් ගැන කතා කරන්නට අපට ඉඩ විවර වනු ඇත.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<