CSK එක් කෙනෙක් සනීප වෙද්දී තව කෙනෙක්ට තවමත් කොරෝනා

271
(SportzWiki)

චෙන්නායි සුපර් කිංග්ස් පිතිකරු රුටුරාජ් ගයික්වාඩ් හට 2020 ඉන්දීය ප්‍රිමියර් තරගාවලියේ පළමු තරගය ක්‍රීඩා කරන්නට නොහැකි වන බව වාර්තා වෙනවා. 23 හැවිරිදි රුටුරාජ් හට COVID-19 ආසාදනය වී ඇතැයි අනාවරණය වූ නිසා ඔහුව නිරෝධායනයට ලක් කර තිබෙනවා. ඔහුට නැවත කණ්ඩායම හා එක්වීමට අවශ්‍ය නම් COVID-19 පරීක්ෂණ දෙකකට මුහුණ දිය යුතු වෙනවා.

“රුටුරාජ්ට තවමත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ වෛද්‍ය කමිටුව අවසර ලබා දී නැහැ. ඔහු පළමු තරගයට ක්‍රීඩා නොකරාවි” CSK ප්‍රධාන විධායක නිළධාරි කාසි විශ්වනාතන් පවසා තිබුණා.

රුටුරාජ්ගේ අහිමි වීම චෙන්නායි කණ්ඩායමට එතරම් බාධාවක් වන්නේ නැහැ. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය නියෝජනය කරන රුටුරාජ් චෙන්නායි කණ්ඩායමට කැඳවූයේ සුරේෂ් රයිනා කණ්ඩායමෙන් ඉවත් වීම නිසා ඇතිවූ හිඩැස පිරවීමටයි. චෙන්නායි හිදී පසුගිය මාසයේ පැවැත්වුණු චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ පුහුණු සැසියක දී ඔහුව නායක එම්. එස් දෝනිගේ හා චෙන්නායි බලධාරීන්ගේ අවධානයට යොමු වී තිබුණු බව Cricbuzz වෙබ් අඩවිය වාර්තා කර තිබුණා.

තවත් ක්‍රිකට් පුවත්:

මේ අතර වේගපන්දු යවන ක්‍රීඩක දීපක් චහාර් කොරෝනා වයිරසයෙන් සුවය ලබා ඇතැයි වාර්තා වෙනවා. ඔහු මුම්බායි කණ්ඩායමට එරෙහිව එළඹෙන 19 වැනිදා පැවැත්වෙන තරගය ක්‍රීඩා කරන්නට සූදානමින් සිටිනවා. චහාර් පසුගිය සිකුරාදා පුහුණුවීම් ආරම්භ කර තිබුණා.

“අපි ගොඩක් සතුටුයි ඔහුගේ දියුණුව පිළිබඳව. ඔහු පුහුණුවීම්වල දී හොඳින් පන්දු යවනවා වගේම හොඳ ශාරීරික සුවතාවයකින් සිටිනවා. අපිට විශ්වාසයි ඔහු පළමු තරගය සඳහා හොඳ සූදානමකින් ඉන්නවා කියලා. මට කණ්ඩායමේ සංයුතිය ගැන දැන්ම කියන්න බැහැ නමුත් චහාර් පළමු තරගය ක්‍රීඩා කරන්න ගොඩක් බලාපොරොත්තු තබාගෙන ඉන්නේ. අපි තරගයට කලින් තීරණයක් ගන්නවා” විශ්වනාතන් පවසා තිබුණා.

මේ අතර කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ සිට පැමිණෙන ඉම්රාන් තාහිර් හා ඩ්වේන් බ්‍රාවෝ නිරෝධායන කාලය අවසන් කර පළමු තරගය සඳහා සූදානමින් සිටිනවා. කෙසේ වෙතත් නිරෝධායන නීති නිසා හෙට (17) එංගලන්තයේ සිට පැමිණීමට නියමිත සෑම් කරන් හා ජෝෂ් හේසල්වුඩ් පළමු තරගයට සහභාගී වීම තවමත් අවිනිශ්චිතයි.

Cricbuzz ඇසුරින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<