කලකට පසුව නදීකාගෙන් ආසියානු බොක්සිං පදක්කමක්

ආසියානු බොක්සිං ශූරතාවය 2021

253

ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩිකා නදීකා පුෂ්පකුමාරි ආසියානු බොක්සිං ශූරතාවයේ දී ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කරන්නට සමත්ව තිබෙනවා.

විද්‍යාර්ථ ක්‍රීඩා සමාජය නියෝජනය කරන ඇය මෙවර ලෝක ශූරතාවය දිනූ කසකස්තාන ක්‍රීඩිකා Nazym Kyzaibay හමුවේ පරාජය වෙමින් 51kg flyweight කාණ්ඩය යටතේ මෙම ලෝකඩ පදක්කම ජයග්‍රහණය කරන්නට සමත්ව තිබෙනවා.

මැයි 24 සිට 31 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන මෙවර ආසියානු බොක්සිං ශූරතාව සඳහා රටවල් 27කින් බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300ක් පමණ සහභාගී වී සිටින අතර ශ්‍රී ලංකාවෙන් ද බොක්සිං ක්‍රීඩකයින් 4 දෙනෙකු සහ ක්‍රීඩිකාවන් 3 දෙනෙකුගෙන් සැදුම්ලත් සංචිතයක් සහභාගී කරවා තිබෙනවා.  

තවත් පුවත්:

ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනයේ සභාපති වන ඩයන් ගෝමස් මහතා Daily News වෙත පවසා තිබුණේ, ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ආසියානු ශූරතාව ඉතාමත් අභියෝගාත්මක එකක් වන්නේ ඔවුන්ට මුහුණ දීමට සිදු වන ඇතැම් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීම් හි ඉහළින්ම සිටින අයවළුන් වීම නිසා සහ බොහෝමයක් ක්‍රීඩකයින් මේ වන විටත් ටෝකියෝ ඔලිම්පික් සඳහා සුදුසුකම් ලබා තිබීමත් නිසාවෙන් බවයි.

මම හිතන්නේ, ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කරන්නට ලැබීම ඉතාමත් වැදගත් සිදුවීමක්. ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් ආසියානු ශූරතාවයක දී පදක්කමක් දිනා ගත්තේ 2013 මොංගෝලියාවේ පැවති ආසියානු ශූරතාවයෙන් පසුව, යැයි ඩයන් ගෝමස් මහතා Daily News වෙත පවසා තිබුණා. 

“මේ තමයි පළමු වතාව ක්‍රීඩා අමාත්‍යංශයේ සහයෝගය ඇතිව මේ කණ්ඩායම මේ තරග සංචාරය සඳහා සහභාගී වුන, අපිට වසර එක හමාරකට ආසන්න කාලසීමාවක් කිසිදු ජාත්‍යන්තර තරගාවලියක් සඳහා සහභාගී වෙන්න බැරි වුනා කොරෝනා වසංගතය නිසා. බොක්සිං කියන්නේ Contact Sport එකක් නිසා ජාතික සංචිතයට පසුගිය කාලයේ දී පුහුණුවීම් පවා කරන්න බැරි වුනා” යැයි ඔහු පවසා තිබුණා. 

ශ්‍රී ලංකා සංචිතය:

පිරිමි: සංජීව නුවන් කුමාර (Army BC – light flyweight 49kg), කේ. වී. එල්. එරන්ද (Vidyarathna SC – flyweight 52kg), පී. ඒ. ආර්. ප්‍රසන්න (Army BC – bantamweight 56kg), එන්. බී. ඒ. ජේ. විමුක්ති පෙරේරා (Army BC – lightweight 60kg).

කාන්තා: රශ්මිකා හේෂානි ඉලංගරත්න (Police SC – light flyweight 48kg), නදීකා පුෂ්පකුමාරි (Vidyarathna SC – flyweight 51kg), කේ. ඒ. කේ. හංසිකා (Vidyarathna SC – featherweight 57kg)

Daily News ඇසුරෙනි.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<