පිරිමි රිටි පැනීමේ ඉසව්වෙන් නව ඔලිම්පික් වාර්තාවක්ද පිහිටුවමින් රන් පදක්කම දිනා ගන්නට බ්‍රසීලයේ තියාගෝ බ්‍රාස් ඩි සිල්වා සමත් විය. ඒ එම ඉසව්වේ වත්මන් ලෝක ශූරයා මෙන්ම හිටපු ඔලිම්පික් ශූරයාවද අභිබවා යමිනි.

පසුගිය ලිපි: රියෝ උණුසුම – බෝල්ට් සහ වෙඩ් අතර සටනක්

පිරිමි රිටි පැනීමේ ඉසව්වේ වත්මන් ලෝක ශූරයා වන කැනඩාවේ ෂෝන්සි බාබර් හට මෙවර ඔලිම්පික් පදක්කම් බලාපොරොත්තු බිඳ වැටුනේ මීටර් 5.65 කඩ ඉම පසුකරන්නට අසමත් වීම හේතුවෙනුයි. බාබර්හට එම උස ප්‍රමාණය තරණය කිරීමට ලද අවස්ථා 3ම අසාර්ථක විය.

s1111අවසානයේ රන් පදක්කම සඳහා තියාගෝ සමග තරග වැදුණු 2012 ඔලිම්පික් පිරිමි රිටි පැනීමේ ශූරයා වන ප්‍රංශයේ රෙනෝඩ් ලැවිලිනී වරෙක මීටර් 5.98ක උසක් තරණය කරමින් ඔහුගේම ඔලිම්පික් වාර්තාව අලුත් කරන්නට සමත් විය. කෙසේ වෙතත් තියාගෝ එම උස තරණය කිරීමට උත්සාහ නොකරම උස ප්‍රමාණය මීටර් 6.03 දක්වා වැඩි කළේ බොහෝ විචාරකයන් පමණක් නොව ප්‍රතිවාදී ලැවිලිනීව ද මවිතයට පත් කරමිනි.

තම අවසන් උත්සාහයේදී එම උස තරණය කරන්නට තියාගෝ සමත් වූයේ මිනිත්තු කිහිපයකට පෙර බිහිවූ ඔලිම්පික් වාර්තාව යලිත් අලුත් කරමිනුයි.

කෙසේ වෙතත් මීටර් 5.98ක දස්කමට එපිටින් තවත් උසක් තරණය කරන්නට නොහැකිවූ හිටපු ඔලිම්පික් ශූරයාට රිදී පදක්කමින් සෑහෙන්නට සිදුවිය.

මේ අනුව තියාගෝ බ්‍රාස් ඩි සිල්වා ඔලිම්පික් ඉතිහාසයට එක්වුණේ සත්කාරක බ්‍රසීල ක්‍රීඩා ලෝලීන්ට රන් පදක්කමකින් සංග්‍රහ කරමනුයි.

800 ආධිපත්‍ය රුඩීෂාට

s2222අඩ සියවසක ඉතිහාසයේ ඔලිම්පික් පිරිමි මීටර් 800 රන් පදක්කම නොකඩවා දෙවරක් දිනාගත් ලොව පළමු ක්‍රීඩකයා බවට පත්වන්නට කෙන්යාවේ ඩේවිඩ් රුඩීෂා සමත් විය. මෙවර පිරිමි මීටර් 800 රන් පදක්කම සඳහා ඔහු ගත කළ කාලය මිනිත්තු 1යි තත්පර 42.15ක්.

එම ඉසව්වේ රිදී පදක්කම ඇල්ජීරියානු ක්‍රීඩකයෙකුටත් ලෝකඩ පදක්කම ඇමරිකානුවකුටත් හිමිවිය.

රන් පදක්කමකට ඇද වැටීම

දිනයේ අවසන් මිනිත්තු කිහිපය තුල බ්‍රසීල රිටි පැනීමේ ක්‍රීඩකයා සියල්ලන්ගේ අවධානය සොරා ගැනීමට පෙර රියෝ ඔලිම්පික් උළෙලේ 10 වන දිනය තුල වඩාත්ම අවධානය දිනාගත් ඉසව්ව වූයේ කාන්තා මීටර් 400 අවසන් තරගයයි.

s333මීටර් 200, මීටර් 100X4 මෙන්ම මීටර් 400X4 සහය ඉසව් වල රන් පදක්කම් දිනා ගනිමින් 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙල කැළඹු ඇමරිකාවේ ඇලිසන් ෆෙලික්ස් තම විශිෂ්ට ක්‍රීඩා දිවියට මීටර් 400 ඔලිම්පික් රන් පදක්කමක් එක් කර ගැනීමේ බලාපොරොත්තුවෙන් අවසන් සටනට එක්විය. ඇයගේ ප්‍රබලතම ප්‍රතිවාදියා වූයේ මේ වසරේ කාන්තා මීටර් 400 ඉසව්වේ හොදම කාලයට හිමිකම් කියන බහාමාස් දේශයේ ෂෝනේ මිලර් ක්‍රීඩිකාවයි.

විශිෂ්ට ආරම්භයක් ලබාගත් මිලර් මීටර් 300ක් පමණ අවසන් වනතෙක් තරගයේ පෙරමුණ ගන්නට සමත් වූයේ කිසිදු අභියෝගයකින් තොරවයි. නමුත් අවසන් මීටර් 100 තුල ඇය වෙහෙසට පත්ව වේගය අඩාල වෙද්දී මනා පාලනයකින් යුතුව ධාවනයේ යෙදුනු ෆෙලික්ස් මිලර්ව අභිබවා යන්නට සමත් විය.

කෙසේ වෙතත් තරග අවසන් රේඛාවට මීටර් 2-3ක් පමණ මෙපිටදී ෆෙලික්ස් සමග කරට කර සටනක යෙදී සිටි ෂෝනේ මිලර් පය පැකිලී ඇද වැටුණේ රන් පදක්කම ෆෙලික්ස්ට හිමිවූ බව බොහෝ දෙනාට සිතන්නට සලස්වමින්. කෙසේ වෙතත් තරග අවසානය පෙන්වන ඡායාරුපයට (PHOTO FINISH) අනුව පෙනී ගියේ මිලර් ඇද වැටීමේදී ඇයගේ සිරුර ෆෙලික්ස්ට වඩා තත්පරයෙන් සියයෙන් පංගුවක කාලයකට පෙර තරග නිමි රේඛාව පසු කරන බවයි.

s5555මේ අනුව තත්පර 49.44ක කාලයක් සමගින් රන් පදක්කමේ අයිතිය බහාමාස් ක්‍රීඩිකා ෂෝනේ මිලර් සතු විය. ඇලිසන් ෆෙලික්ස් රිදී පදක්කමේ අයිතිය තහවුරු කර ගනිද්දී, ජැමෙයිකාවේ ශෙරීකා ජැක්සන් ලෝකඩ පදක්කම දිනා ගන්නා ලදී.

මෙවර ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර් 400X4 සහය ඉසව්වෙන් පසු ෆෙලික්ස්ගේ දිගු ක්‍රීඩා දිවිය අවසන් වන්නට වැඩි ඉඩකඩක් පවතින බව විචාරකයන්ගේ මතයයි. කෙසේ වෙතත් වසර 12ක කාලයක් ඔලිම්පික් උළෙල 3ක් පුරා කෙටි දුර ධාවනයේ සියලු අන්තයන් ආවරණය කළ ඇලිසන් ෆෙලික්ස්ගේ ක්‍රීඩා ජීවිතය තවත් බොහෝ කලක් පුරා ලොව බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ආදර්ශයක් වනු ඇති.

පෝලන්තයෙන් ලෝක වාර්තාවක්

s6666කාන්තා මිටිය විසිකිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් පිහිටුවන්නට පෝලන්තයේ ඇනීටා වොල්ඩර්චෙක් සමත් විය. ඇය මේ දස්කම දැක්වූයේ එම ඉසව්වේ අවසන් වටයේදී මීටර් 82.29ක දුරක් වාර්තා කරමිනුයි.

ඇනීටාගේ මේ නව ලෝක වාර්තාව මීට පෙර ඇය විසින්ම පිහිටුවා තිබු ලෝක වාර්තාව මීටරයකටත් වඩා වැඩි දුරකින් ඉක්මවා යාම විශේෂත්වයකි. එමෙන්ම කාන්තා මිටිය විසි කිරීමේ පැරණි ඔලිම්පික් වාර්තාව මීටර් 4කට වඩා වැඩි දුර ප්‍රමාණයකින් අලුත් කරන්නටද මේ දක්ෂතාව සමත් විය.

හෙට දිනයේත් තවත් රියෝ උණුසුම රැගත් ලිපියකින් හමුවෙමු. එතෙක් ඔබට ක්‍රීඩාශීලි දවසක්!

— අද දිනය නිමාවන විට පදක්කම් සටහන —

Rio Olympics

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට