16 වසරකට පසුව පැවැත්වෙන ඓතිහාසික සංචාරය

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තාන සංචාරය 2022

343

2006 වසරෙන් පසුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් පාකිස්තානයේ සංචාරයකට පිටත්ව ගොස් තිබෙන අතර දෙරට අතර පළමු විස්සයි විස්ස තරගය අද (24) කරච්චි හිදී ආරම්භ වීමට නියමිතයි.

කොරෝනා වසංගතය නිසාවෙන් කලක් ක්‍රීඩා පිටියෙන් ඉවත්ව සිටීමට සිදු වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 2019 වසරෙන් පසු සහභාගී වන පළමු ද්විපාර්ශවික තරගාවලිය මෙය වන අතර ඔවුන් අවසන් වරට ජනවාරි මස මැලේසියාවේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ජයග්‍රහණය කළා.

පාකිස්තාන කාන්තා කණ්ඩායම අවසන් වරට 2022 අග දී විස්සයි විස්ස තරගාවලියකට සහභාගි වූ නමුත් ඔවුන් මෙම වසරේ මාර්තු සහ අප්‍රේල් මාසවල දී පැවති පන්දුවාර 50 කාන්තා ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කරමින් දස්කම් දැක්වීමට සමත් වුනා.

  • ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් විස්සයි විස්ස තරග – WWWWW
  • පාකිස්තාන කණ්ඩායමේ අවසන් විස්සයි විස්ස තරග – LLLWL

එමෙන්ම වත්මන් කාන්තා විස්සයි  විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය පිළිවෙළින් 8 සහ 7 යන ස්ථානවල පසුවේ.

දෙරටේ විස්සයි විස්ස තරග ඉතිහාසය

ශ්‍රී ලංකා සහ පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම් මේ දක්වා විස්සයි විස්ස තරග 13ක් පවත්වා ඇති අතර එයින් දෙපිලම තරග 6 බැගින් ජයග්‍රහණය කරමින් එක් තරගයක් ප්‍රතිඵලයක් රහිතව අවසන්ව තිබෙනවා.

කෙසේ නමුත් අවසන් වසර 5ක කාලයේ දී පාකිස්තාන ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිට ඇති අතර අවසන් වරට පැවති තරග 4න් 3කම ජයග්‍රහණය හිමිව ඇත්තේ පාකිස්තාන ක්‍රීඩකාවන්ටයි.

කණ්ඩායම් ද්විත්වයේ සංයුතිය

කණ්ඩායම පාකිස්තානයට පිටත් වීමට පෙර කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වීම නිසාවෙන් ප්‍රධාන වේගපන්දු යවන ක්‍රීඩිකා උදේශිකා ප්‍රබෝධනී හට පළමු විස්සයි විස්ස තරගය අහිමි වනවා.

එමෙන්ම ශ්‍රි ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණිය ලෙස කටයුතු කරන කනිෂ්ඨ ක්‍රීඩිකා විශ්මි ගුණරත්න මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට සහභාගී වීම නිසාවෙන් ඇය ද තරගාවලියෙන් ඉවත්ව ඇති නමුත් මෙවර ශ්‍රී ලංකා සංචිතය ඉතා ශක්තිමත්ව නම් කර ඇත.

විශ්මි තරගාවලියට සහභාගී නොවීම නිසාවෙන් හසිනි පෙරේරා සහ චමරි අතපත්තු ආරම්භක පිතිකාරිනියන් ලෙස කටයුතු කිරීමට බොහෝ ඉඩක් ඇති අතර නවක ක්‍රීඩිකා ඉමේෂා දුලානි ද මෙම තරගාවලියේ දී ජාතික වරම් ලැබීමට බොහෝ ඉඩක් පවතී.

උදේශිකා පළමු තරගයට ක්‍රීඩා නොකිරීම නිසාවෙන් ඇති වන හිස්තැන පිරවීමට කණ්ඩායමේ වේගවත්ම පන්දු යවන්නිය වන අචිනි කුලසූරිය සහ අමා කාංචනා ආරම්භක පන්දු යවන්නියන් ලෙස කටයුතු කරනු ඇති අතර ශ්‍රී ලංකා සංචිතයේ වේගපන්දු යවන්නන් වැඩි වශයෙන් නොමැති නිසාවෙන් දඟපන්දු යවන්නන්ගෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට සිදුවනවා.

පාකිස්තාන සංචිතය සැලකීමේ දී ආබාධයකට ලක්වූ වමත් දඟපන්දු යවන ක්‍රීඩිකා Nashra Sandhu සහ Javeria Khan මෙම තරගාවලියෙන් ඉවත්ව ඇති අතර නිමා වූ ලෝක කුසලානයේ දී කණ්ඩායමේ නොසිටි Kainat Imtiaz නැවතත් සංචිතයට කැඳවා තිබෙනවා.

ප්‍රධාන ක්‍රීඩිකාවන්

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ප්‍රධාන තුරුම්පුව අවිවාදයෙන්ම සුපිරි ක්‍රීඩිකා චමරි අතපත්තු. ජාත්‍යන්තර පිටියේ මෙන්ම ලීග් පිටියේ ද ඉහළ දස්කම් දැක්වූ චමරි නිමා වූ FairBreak තරගාවලියේ තරග 7ක් තුළ ලකුණු 313ක් ලබා ගනිමින් තරගාවලියේ වැඩිම ලකුණු ලාභිනිය බවට පත්වුණා.

ශ්‍රී ලංකා පන්දු යැවීමේ බලඇණිය සැලකීමේ දී දඟපන්දු යවන්නන්ට වැඩි ඉඩක් වෙන්ව ඇති අතර අත්දැකීම් බහුල ක්‍රීඩිකා ඉනෝකා රණවීර සහ කවීෂා ඩිල්හාරි පන්දු යවන්නියන් අතර ඉදිරියෙන් සිටියි.

පාකිස්තාන කණ්ඩායමේ නායිකා Bismah Maroof එම කණ්ඩායමේ ප්‍රධාන තුරුම්පුව වන අතර ඇය නිමා වූ ලෝක කුසලාන තරගාවලියේ දී පිතිකරණයෙන් ඉහළ දස්කම් දැක්වීමට සමත්ව තිබුණා.

ඇයට අමතරව තුන් ඉරියව් ක්‍රීඩිකාවන් වන Fatima Sana සහ Aliya Riaz පාකිස්තාන සංචිතය තුළ සිටින තරගයක් තනිව වෙනස් කළ හැකි ක්‍රීඩිකාවන්.

ක්‍රීඩාංගණයේ/ තණතීරුවේ ස්වභාවය

තරගාවලියේ පළමු තරග ත්‍රිත්වයම ක්‍රීඩා කරන කරච්චි ක්‍රීඩාංගණයේ දී පසුගිය කාලසීමාවේ දී කිසිදු සීමිත පන්දුවාර තරගාවලියක් ක්‍රීඩා කර නැහැ.

නමුත් පාකිස්තාන ආරංචි මාර්ගවලට අනුව මෙම තණතීරුව පිතිකරුවන්ට ඉතා වාසිදායක සහ දඟපන්දු යවන්නන්ට තරමක සහයක් ලබා දෙන තණතීරුවක් විය හැකි නිසාවෙන් විශාල ලකුණු සහිත තරග අපේක්ෂා කළ හැකියි.

අවසන් නිගමනය

මෙම සියලු තත්වයන් සහ අවසන් කාලසීමාවේ කණ්ඩායම් දැක්වූ දස්කම් සැලකීමේ දී ශ්‍රී ලංකාව පාකිස්තානයට වඩා පසුපසින් සිටින අතර ශ්‍රී ලංකාව 2020 වසරෙන් පසු විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීමේ මුල් ස්ථාන 08 සිටින කණ්ඩායමක් සමඟින් තරග වැදී නැහැ.

ඔවුන්ට තමන්ගේ දස්කම් පෙන්වීමට ද විශාල අවස්ථාවක් හිමි නොවූ අතර කොරෝනා වසංගතය නිසාවෙන් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටය අවලංගු වීම නිසා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීම ද අහිමි වුනා.

චමරි අතපත්තුගේ දස්කම් මත ශ්‍රී ලංකා කණ්ඩායම රැඳී තිබෙන නමුත් අවසන් කාලසීමාවේ පන්දු යැවීමෙන් සහ රැකීමෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පෙන්වූ ප්‍රගතිය නිසාවෙන් තරමක බලාපොරොත්තුවක් තබා ගත හැක.

එමෙන්ම පාකිස්තාන කණ්ඩායමට චමරි අතපත්තුට එරෙහිව සැලසුම් දැනටමත් ඇති නිසාවෙන් ශ්‍රී ලංකා අනෙකුත් පිතිකාරිණියන්ගේ දස්කම් මත මෙම තරගවල ප්‍රතිඵල තීරණය වනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<