ධනංජයගේ ලකුණු 150ට Surrey කණ්ඩායමෙන් ප්‍රබල අභියෝගයක්

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2022

826
Nipun Dhananjaya

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ තෙවැනි සහ අවසන් සිව්දින ක්‍රිකට් තරගය පසුගිය 20 වැනිදා ආරම්භ වුනා.

තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (21) දිනය අවසන් වන විට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම පළමු ඉනිමට රැස් කර ගත් ලකුණු 372ට පිළිතුරු දෙමින් සිටි Surrey කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 196ක් වාර්තා කරගෙන ප්‍රබල තැනක පසුවුනා.

දිනය ආරම්භ වන විට සිය පළමු ඉනිම දියත් කරමින් සිටි ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 230ක් රැස් කරගෙන සිටියා. ඒ වන විට නොදැවී ලකුණු 81*ක් වාර්තා කරගෙන සිටි නායක නිපුන් ධනංජය සිය පළමු පෙළ ක්‍රිකට් දිවියේ ලබා ගත් දෙවැනි ශතකය වාර්තා කරගනිමින් නොදැවී ලකුණු 150*ක් රැස් කරගෙන දස්කම් දැක්වූවා. පන්දු 232ක් තුළ ගොඩනැංවුණු ධනංජයගේ ඉනිම 4 පහර 11කින් වර්ණවත් වුනා.

දිනයේ පළමු කඩුල්ල ලෙස ලකුණු 16ක් වාර්තා කරගෙන සිටි මනෙල්කර් ද සිල්වා දැවී ගියා. ඉන් අනතුරුව ධනංජය සමඟ පිටියේ එක්වුනු දුනිත් වෙල්ලාලගේ යන ශ්‍රී ලංකා 19න් පහළ හිටපු නායකයින් 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 87ක හොඳ සබඳතාවයක් ගොඩනැංවූ අතර එය ශ්‍රී ලංකා නැගී එන පළමු ඉනිම තුළ ගොඩනැංවුණු හොඳම සබඳතාවය ද වුනා.

වෙල්ලාලගේ 4 පහර 4ක් සහ එක් 6 පහරක් එල්ල කරමින් පන්දු 72ක් තුළ ලකුණු 46ක් රැස් කරගෙන දස්කම් දැක්වූ අතර Dan Moriartyගේ පන්දුවක් හමුවේ ඔහුගේ ඉනිම නිමාවට පත්වුනා. යසිරු රොද්‍රිගෝ ලකුණු 17යි.

ඉනිමේ මැදපෙළ සහ පසුපෙළ පිතිකරුවන් අතර හොඳ අඩිතාලමක් සකස් කරමින් ශ්‍රී ලංකා නැගී එන පළමු ඉනිමේ ලකුණු සටහන යම් අභියෝගාත්මක මට්ටමක් දක්වා රැගෙන ගිය නායක ධනංජය වාර්තා කර ගත් නොදැවුණු ලකුණු 150* ඔහුගේ පළමු පෙළ ක්‍රිකට් දිවියේ මේ දක්වා ඉනිමක් තුළ වාර්තා කරගෙන තිබෙන හොඳම ලකුණු ප්‍රමාණයයි.

පන්දුවාර 102ක් අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 372ක් රැස් කරගත් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම පසුව සිය පළමු ඉනිම අත්හිටවූවා. පන්දු යැවීමේ දී සිය මංගල පළමු පෙළ තරගයට ක්‍රීඩා කරන 19 හැවිරිදි දකුණතින් මද වේගපන්දු යවන Tom Lawes ලකුණු 34කට කඩුලු 3ක් දවා ගන්නා විට ඔහුට අනගි සහයක් ලබා දුන් දකුණතින් පිට දඟපන්දු යවන Amar Virdi ලකුණු 67කට කඩුලු 3ක් දවා ගත්තා.

ශ්‍රී ලංකා නැගී එන ලකුණු සටහනට එරෙහිව පිළිතුරු ලබා දීම ආරම්භ කළ Surrey ප්‍රාන්ත කණ්ඩායම තරගයේ දෙවැනි දිනය අවසන් වන විට කිසිවෙකු නොදැවී ලකුණු 196ක් රැස් කරගෙන ඉතාමත් ප්‍රබල මට්ටමක පසුවුනා.

සිය පළමු පෙළ ක්‍රිකට් දිවියේ තෙවැනි ශතකය වාර්තා කළ 24 හැවිරිදි වමත් පිතිකරු Ryan Patel නොදැවී ලකුණු 109*ක් රැස් කරගෙන කඩුල්ලේ රැඳී සිටින අතර ඔහුගේ ඉනිම 4 පහර 10කින් සහ 6 පහර 4කින් වර්ණවත් වී තිබෙනවා. එය ඔහුගේ පළමු පෙළ ක්‍රිකට් දිවියේ ඉනිමක වාර්තා වී තිබෙන හොඳම දස්කම ද වෙනවා.

Ryan සමඟ එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් මේ අගනා සබඳතාවය ගොඩනැංවූ 20 හැවිරිදි දකුණත් පිතිකරු Ben Geddes සිය පළමු පෙළ ක්‍රිකට් දිවියේ මංගල අර්ධ ශතකය වාර්තා කරගනිමින් පන්දු 182ක් තුළ 4 පහර 9ක් සහ එක් 6 පහරක් එල්ල කරමින් නොදැවී ලකුණු 75*ක් රැස් කරගෙන කඩුල්ලේ රැඳී සිටිනවා.

ශ්‍රී ලංකා නැගී එන පළමු ඉනිම – 372/9d (102): නිපුන් ධනංජය 150*, අවිශ්ක තරිඳු 48, දුනිත් වෙල්ලාලගේ 46, ලසිත් කෘස්පුල්ලේ 32, Tom Lawes 3/34, Amar Virdi 2/45.

Surrey ප්‍රාන්ත පළමු ඉනිම (දෙවැනි දිනය අවසානයේ) – 196/0 (57): Ryan Patel 109*, Ben Geddes 75*.

තරගයේ තෙවැනි දිනය අද (22) ශ්‍රී ලංකා වේලාවෙන් සවස 3.30ට ආරම්භ වීමට නියමිතයි. එහි තොරතුරු ද ඔබ වෙත සමීප කිරීමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<