යුරෝපා ශූරයාට අත්වැරැද්දෙන් ලෝක වාර්තාව ගිලිහෙයි

156

පසුගිය දා Stockholm හිදී පැවති ඩයමන්ඩ් ලීග් තරගාවලියේ මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්ව නියෝජනය කළ, එම ඉසව්වේ ලෝක ශූරයෙකු ද වන නෝර්වේ ක්‍රීඩක Karsten Warholm, එම ඉසව්ව තත්පර 46.87ක කාලයකින් අවසන් කරමින් ඔහු විසින්ම තබා තිබූ ලෝක වාර්තාව අලුත් කිරීමට සමත් විය.

එම තරගයේ මීටර් 400 කඩුලු පැනීම ඉසව්වේ ලෝක වාර්තාව බිඳ හෙළීමට ඔහුට විශාල අවස්ථාවක් හිමි වූවත්, තරගයේ අවසාන කඩුල්ලේ පාදය වැදීම නිසාවෙන් මද පසුබෑමකට ලක් වීමට ඔහුට සිදු විය. ඒ නිසාවෙන් 1992 වසරේ කෙවින් යන්ග් පිහිටුවා ඇති එම ඉසව්වේ ලෝක වාර්තා කාලයට (46.78) තත්පර 0.09ක කාලයක් පිටුපසින් ඉසව්ව අවසන් කිරීමට ඔහුට සිදු විය.

එම කාලය එම ඉසව්ව සඳහා මෙතෙක් වාර්තා වූ දෙවන වේගවත්ම කාලය වන අතර මෙම තරගාවලියේ මීටර් 400 ඉසව්ව ද තත්පර 45.05 කාලයකින් අවසන් කරමින් එම ඉසව්වේ ද රන් පදක්කම දිනා ගැනීමට ඔහු සමත් විය.

තවත් ක්‍රීඩා පුවත් 

කොරෝනා වසංගතය නිසාවෙන් නවතා දැමූ මලල ක්‍රීඩා කටයුතු නැවත ආරම්භ කිරීමෙන් පසුව ඉතා සුපිරි දස්කම් දැක්වීමට Warholm සමත් විය. පසුගිය ජුනි මාසයේ පැවති Impossible Games තරගාවලියේ, මීටර් 300 කඩුලු පැනීම ඉසව්වේ ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ ඔහු, පසුගිය දා පැවති Monaco ඩයමන්ඩ් ලීග් තරගාවලියේ මීටර් 400 කඩුලු පැනීම ඉසව්වේ ද රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

නෝර්වේ නියෝජනය කරමින් මීටර් 400 කඩුලු පැනීම ඉසව්වේ දස්කම් දැක්වීමට සමත් වූ 24 හැවිරිදි Warholm, 2017 සහ 2019 වසරවල පැවති ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 කඩුලු පැනීම ඉසව් ජය ගනිමින් එම ඉසව්වේ ලෝක ශූරයා බවට පත්වීමට ද සමත් විය.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<