ටෙස්ට් වරම් දිනූ 5ක් ශ්‍රී ලංකා A සංචිතයට

පාකිස්තාන A ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

6931

සංචාරක පාකිස්තාන A සහ සත්කාරක ශ්‍රී ලංකා A කණ්ඩායම් අතර සිව්දින තරග දෙකක් සහ එක්දින තරග තුනක් එළඹෙන ඔක්තෝබර් 28 වැනිදා සිට නොවැම්බර් 15 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමේ දී නියමිතයි.

මේ සඳහා තරග වදිනු ලබන ශ්‍රී ලංකා A සංචිතය මේ වන විට නම් කර තිබෙන අතර සංචිතයේ නායකත්වය සධීර සමරවික්‍රම වෙත හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත් ක්‍රීඩකයින් පස් දෙනෙක් (සධීර සමරවික්‍රම, විශ්ව ප්‍රනාන්දු, ලසිත් ඇඹුල්දෙණිය, අසිත ප්‍රනාන්දු, ඕෂධ ප්‍රනාන්දු) මේ සංචිතයට ඇතුළත්. එසේම වමතින් වේගපන්දු යවන ක්‍රීඩක විශ්වගේ සහෝදරයා වන 21 හැවිරිදි නුවනිඳු ප්‍රනාන්දු ද මේ සංචිතයට ඇතුළත්ව තිබීම සුවිශේෂී වෙනවා.

තරුණ ක්‍රීඩකයින් රැසක් ඇතුළත් මේ සංචිතය සඳහා මෑතක දී ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් කිහිපදෙනෙක් ද ඇතුළත්ව සිටිනවා.

ශ්‍රී ලංකා හිටපු වේගපන්දු පුහුණුකරු චම්පක රාමනායකගේ පුත් හිමේෂ් රාමනායක සහ ශ්‍රී ලංකා ලෝක ශූර ක්‍රිකට් කණ්ඩායමේ සාමාජික සහ වත්මන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන හෂාන් තිලකරත්න මහතාගේ පුත් දුවිඳු තිලකරත්න ද මේ සංචිතයට ඇතුළත්.

තරගාවලියට සඳහා සහභාගී වන පාකිස්තාන A සංචිතය මීට දින කිහිපයකට පෙර නම් කළ අතර ඔවුන් ඔක්තෝබර් 21 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වෙන සිව්දින තරග දෙක මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර එක්දින තරග තුන දඹුල්ලේ දී පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා A කණ්ඩායම සහභාගී වූ අවසන් තරගාවලිය මෙරට සත්කාරකත්වය ඇතිව 2019 වසරේ දී පැවැත්වුණු අතර බංග්ලාදේශ A කණ්ඩායම සමඟ පැවති එම ටෙස්ට් තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් වුනා. එහි එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජය ගත්තේ බංග්ලාදේශ කණ්ඩායමයි.

කොරෝනා වසංගතය ආරම්භ වීමෙන් පසුව ශ්‍රී ලංකා A කණ්ඩායමක් සහභාගී වන පළමු තරගාවලිය මෙය වන අතර තරගාවලිය ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරව සහ සියලුම COVID-19 මර්දන ක්‍රියාමාර්ග අනුගමනය කරමින් ජෛව ආරක්ෂිත බුබුලක් තුල පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

මේ තරගාවලියේ දී ශ්‍රී ලංකා A කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක මහතා පත් කර තිබෙන අතර, රුවින් පීරිස්, සජීව වීරකෝන් සහ දර්ශන ගමගේ යන මහත්වරුන් තිදෙනා පිළිවෙළින් ශ්‍රී ලංකා A කණ්ඩායමේ පිතිකරණ, දඟපන්දු සහ වේගපන්දු පුහුණුකරුවන් ලෙස කටයුතු කරමින් සිටිනවා.

ශ්‍රී ලංකා A සංචිතය: සධීර සමරවික්‍රම (ටැමිල් යූනියන් – නායක), නිශාන් මධුෂ්ක (රාගම ක්‍රිකට් සමාජය), ලහිරු උදාර (NCC), ලසිත් කෘස්පුල්ලේ (හලාවත මේරියන්ස්), කමිල් මිශාර (NCC), ඕෂධ ප්‍රනාන්දු (හලාවත මේරියන්ස්), නුවනිඳු ප්‍රනාන්දු (SSC), නිපුන් ධනංජය (SSC), සහන් ආරච්චිගේ (NCC), සම්මු අශාන් (SSC), ලසිත් අබේරත්න (CCC), ධනංජය ලක්ෂාන් (කෝල්ට්ස්), කලන පෙරේරා (SSC), ශිරාන් ප්‍රනාන්දු (ටැමිල් යූනියන්), මොහොමඩ් ශිරාස් (BRC), අසිත ප්‍රනාන්දු (හලාවත මේරියන්ස්), හිමේෂ් රාමනායක (SSC), විශ්ව ප්‍රනාන්දු (CCC), සුමින්ද ලක්ෂාන් (යුද හමුදාව), ලසිත් ඇඹුල්දෙණිය (NCC), අශේන් ඩැනියල් (NCC), දුවිඳු තිලකරත්න (BRC)

පාකිස්තානු A කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

  • · පළමු සිව්දින තරගය: ඔක්තෝබර් 28 –31 (පල්ලෙකැලේ දී)
  • · දෙවැනි සිව්දින තරගය: නොවැම්බර් 4 –7 – (පල්ලෙකැලේ දී)
  • · පළමු එක්දින තරගය: නොවැම්බර් 10 (දඹුල්ලේ දී)
  • · දෙවැනි එක්දින තරගය: නොවැම්බර් 12 (දඹුල්ලේ දී)
  • · තෙවැනි එක්දින තරගය: නොවැම්බර් 15 (දඹුල්ලේ දී)

පාකිස්තාන A ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ ඇතුළු ලොව පුරා දෙස් විදෙස් කෙළිබිමේ තතු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<