විලීගේ ආගමනය ජයග්‍රහණයකින් හමාර වෙයි

අයර්ලන්ත කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2020 - ICC ලෝක කුසලාන සුපර් ලීගය

253

ICC ලෝක කුසලාන සුපර් ලීගය ආරම්භ කරමින් ඊයේ (30) දින සංචාරක අයර්ලන්තය සහ එංගලන්තය අතර පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය සවුත්හැම්ටන් හිදී නිමාවූයේ එංගලන්ත කණ්ඩායමට කඩුලු 6ක ජයක් හිමිකර දෙමිනි. ඒ අනුව ලෝක කුසලාන සුපර් ලීගයේ පළමු තරගයේ පළමු ප්‍රසාද ලකුණු 10 එංගලන්තයට හිමි විය. 

රෝහිත් ගැන රයිනාගෙන් අනාවැකියක්

දිවා/රාත්‍රී තරගයක් ලෙස පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් අයර්ලන්ත සම්භවයක් ඇති එංගලන්ත නායක ඔයින් මෝර්ගන් සිය උපන් රට වන අයර්ලන්තය සඳහා පළමුව පන්දුවට පහර දීමට ආරාධනා කළේය. 

ජයග්‍රාහී ලෝක කුසලාන සංචිතයේ සාමාජිකයෙකු වූ ඩේවිඩ් විලී එම තරගාවලියට පසුව එංගලන්ත එක්දින සංචිතයෙන් ඉවත් කර තිබුනි. නමුත් ඔහු තමන් වෙත ලැබුනු මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබාගනිමින් අයර්ලන්ත පිතිකරණ බලඇණිය සුන් කර දැමුවේ සිය මංගල එක්දින කඩුලු 5 ද වාර්තා කරගෙනය. එය ඔහුගේ එක්දින ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීමේ දස්කම (5/30) ලෙස ද වාර්තා විය. 

ලකුණු 28කට කඩුලු 5ක් දැවී ගොස් අසරණව සිටි අයර්ලන්ත කණ්ඩායමට සැනසුම්දායක ලකුණු පුවරුවක් වෙත යාමට අවශ්‍ය අඩිතාලම සකස් කළ මැදපෙළ දකුණත් පිතිකරුවෙකු වන කර්ටිස් කැම්පර් සිය මංගල එක්දින තරගයේ දීම මංගල අර්ධ ශතකය වාර්තා කරගත්තේ ප්‍රබල එංගලන්තයට එරෙහිව නොදැවී ලකුණු 59*ක් රැස්කර ගෙනයි. වයස අවුරුදු 21ක් වන කැම්පර්ගේ එම ඉනිම ඔහුගේ අනාගත ක්‍රිකට් දිවිය ඉතාමත් සුබදායී බව මුළු ලොවටම පෙන්නුම් කළේ දක්ෂ පිතිකරණයක නිරත වෙමිනි. ඔහුගේ එම ඉනිම සඳහා හතරේ පහර 4ක් ඇතුළත් විය. 

කැම්පර්ගේ ලකුණු රැස්කර ගැනීමේ කඳවුර සඳහා සහය වූ ඇන්ඩෘ මැක්බ්‍රීන් හතරේ පහර 3ක් සහ එක් හයේ පහරක් සමඟින් ලකුණු 40ක් වාර්තා කරගත්තේ පන්දු 48ක් තුළයි. අවසානයේ අයර්ලන්ත ඉනිම ලකුණු 172කට සීමාකර ගැනීමට එංගලන්ත පන්දු යවන්නන් හට හැකි විය. 

ජයග්‍රාහී එංගලන්ත ටෙස්ට් සංචිතය තවත් සටනකට

ලකුණු 173ක පහසු ඉලක්කයක් හඹා යාමේ අරමුණ ඇතිව පිටියට පිවිසි ජොනී බෙයාර්ස්ටොව් සහ ජේසන් රෝයි සුසංයෝගයේ සබඳතාවය ලකුණු 12ක් වන විට බිඳ දැමීමට ක්‍රේග් යන්ග් සමත් වූයේ බෙයාර්ස්ටොව් ලකුණු 2කට සීමා කරමිනි. ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන රෝයිගේ ඉනිම ද ලකුණු 24කට සීමා කිරීමට අයර්ලන්ත කණ්ඩායම සමත් වුවත් එංගලන්ත ප්‍රබල පිතිකරණ බලඇණිය සඳහා වැඩි බලපෑමක් එල්ල කිරීමට අයර්ලන්ත පන්දු යවන්නෝ අසමත් වූහ. 

සෑම් බිලින්ග්ස් හතරේ පහර 11ක් එල්ල කරමින් පන්දු 57ක් තුළ රැස්කර ගත් නොදැවුනු වේගවත් ලකුණු 67* එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රහණ ගමන ප්‍රවේගකාරී කළ අතර ඔහුට සහය වූ නායක මෝර්ගන් සහ ජේම්ස් වින්ස් පිළිවෙළින් ලකුණු 36*ක් සහ ලකුණු 25ක් රැස්කර ගත්තේය. පන්දුවාර 27කුත් පන්දු 5ක් අවසානයේ සිය ඉලක්කය පසුකර ගිය එංගලන්තය මෙම තරගය පහසුවෙන්ම ජයගත්තේ ICC ලෝක කුසලාන සුපර් ලීගය සඳහා සාර්ථක ආරම්භයක් ලබා ගනිමිනි. පන්දු යැවීමේ දී අයර්ලන්තය වෙනුවෙන් වැඩි සාර්ථකත්වයක් දැක්වූ ක්‍රේග් යන්ග් ලකුණු 56කට කඩුලු 2ක් දවා ගන්නා ලදි. 

  • අයර්ලන්තය – 172 (44.4): කර්ටිස් කැම්පර් 59*, ඇන්ඩෘ මැක්බ්‍රීන් 40, ඩේවිඩ් විලී 5/30. 
  • එංගලන්තය – 174/4 (27.5): සෑම් බිලින්ග්ස් 67*, ඔයින් මෝර්ගන් 36*, ක්‍රේග් යන්ග් 2/56. 
  • තරගයේ වීරයා – ඩේවිඩ් විලී (එංගලන්තය) 

දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග 1-0ක් ලෙස දැනට එංගලන්තය ඉදිරියෙන් පසුවන අතර එහි දෙවන ක්‍රිකට් තරගය හෙට (01) දින සවුත්හැම්ටන්හි දී දිවා/රාත්‍රී තරගයක් ලෙස පැවැත්වේ. එහි තොරතුරු ද ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටියි. ක්‍රීඩාවේ නවමු අත්දැකීම් විඳගන්න, ඔබත් ThePapare.com වෙබ් අඩවිය දැන්ම subscribe කරන්න. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<