පොලිස් හඹා ඒම අසාර්ථකයි; CH ජයග්‍රහණය සමඟ පිටව යයි

180

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පළමු වටයේ අවසන් සති අන්තයේ තවත් තරගයක් අද (23) කොළඹ තුරඟ තරග පිටියේ දී CH&FC ක්‍රීඩා සමාජය හා පොලිස් ක්‍රීඩා සමාජය අතර පැවැත්වුණු අතර තියුණු සටනකට පසු ලකුණු 29-24 ක් ලෙස ජය ගත්තේ CH&FC ක්‍රීඩා සමාජයයි.

තිළිණ විජේසිංහ අපරාජිත වාර්තාව නූලෙන් බේරා ගනී

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පළමු වටය අවසන් කරමින් අපරාජිත මහනුවර ක්‍රීඩා සමාජය…

කණ්ඩායම් දෙකම පසුගිය සතියේ දී තමන් මුහුණ දුන් තරග ජය ගත් අතර එබැවින් කණ්ඩායම් දෙකම මේ තරගය සඳහා සහභාගී වූයේ විශ්වාසයෙන් යුතුවයි. පළමු අර්ධයේ CH ප්‍රහාරයට පොලිස් ක්‍රීඩකයින් දෙවන අර්ධයේ දී හොඳ පිළිතුරක් ලබා දුන්නත් ඔවුන්ගේ උත්සාහයන් සාර්ථක වූයේ නැත.

පොලිස් පා පහරින් ආරම්භ වුණු තරගයේ පළමුවෙන් ලකුණු රැස් කළේ CH&FC ක්‍රීඩා සමාජයයි. scrum අවස්ථාවකින් පන්දුව ලබාගත් යෝෂිත රාජපක්ෂ උත්සාහක දිනුම් රේඛාව ඉක්මවා යද්දී සමුවෙන් මධුවන්ත අමතර ලකුණු රැස් කිරීමට සමත් විය. (CH 07-00 පොලිස්)

10 වන මිනිත්තුවේ දී පොලිස් ක්‍රීඩකයින්ට ලකුණු රැස් කිරීමට අවස්ථාවක් හිමි වූ අතර සචිත් සිල්වා හට හිමි වූ දඬුවම් පහර සාර්ථක කර ගැනීමට නොහැකි විය.

17 වන මිනිත්තුවේදීත් පෙර උපක්‍රමයම භාවිතා කළ CH ක්‍රීඩකයෝ සිය ඉදිරිපෙළ ක්‍රීඩකයින් මගින් ඉදිරියට ගොස් සිය දෙවන උත්සාහක දිනුම වාර්තා කළ අතර මෙවර ඊට හිමිකම් කියූවේ ජේසන් මෙල්ඩර් ය. සැමුවෙල් එහි ප්‍රවර්තනයත් සාර්ථක කරමින් අමතර ලකුණු එකතු කිරීමට සමත් විය. (CH 14-00 පොලිස්)

සචිත් සිල්වාගෙන් පන්දුව ලබා ගත් යොහාන් පීරිස් 20 වන මිනිත්තුවේ දී දඬුවම් පහරක් සමඟින් ලකුණු රැස් කළේ පොලිස් ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමිනි. (CH 14-03 පොලිස්)

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

CH ක්‍රීඩකයින් ඉතා ප්‍රබල ක්‍රීඩා රටාවක නිරත වූයේ පොලිස් අර්ධයේම රැඳෙමිනි. කෙසේ වෙතත් ක්‍රමයෙන් තරගයට අවතීර්ණ වූ පොලිස් ක්‍රීඩකයෝ 27 වන මිනිත්තුවේ දී පළමු වතාවට උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගියේ කසුන් සුරංගගේ සුරතිනි. යොහාන් පිරිස් අලංකාර ප්‍රවර්තනයකින් අමතර ලකුණු රැස් කිරීමට සමත් විය. (CH 14-10 පොලිස්)

30 වන මිනිත්තුවේ දී පොලිස් ක්‍රීඩක රසිත් සිල්වා හට කහ කාඩ් පතක් හිමි වූයේ පොලිසිය දැඩි අර්බුදයකට ඇද දමමිනි. එම අවස්ථාවෙන් ලැබුණු දඬුවම් පහර සැමුවෙල් මධුවන්ත පහසුවෙන් සාර්ථක කර ගත්තේ තවත් ලකුණු තුනක් ලකුණු පුවරුවට එකතු කරමිනි.

ලැබුණු වාසියෙන් ප්‍රයෝජන ගත් CH&FC ක්‍රීඩකයින් පළමු අර්ධයට ප්‍රථම නැවත වරක් උත්සාහක දිනුම් රේඛාව ඉක්මවා ගියේ නවීන් හේනකන්කානම්ගේ ගේ සුරතිනි. හිරන්ත පෙරේරාගේ දක්ෂ පන්දු යොමු කිරීමක් ඔහු ලකුණු බවට පරිවර්තනය කළ අතර සැමුවෙල් නැවත වරක් ඉතා අපහසු ප්‍රවර්තනයක් දක්ෂ ලෙස සාර්ථක කර ගන්නා ලදි. (CH 24-10 පොලිස්)

40 වන මිනිත්තුවේ දී සෑහෙන පරිශ්‍රමයකින් පසු පොලිස් ක්‍රීඩකයින් උත්සාහක රේඛාව ඉක්මවා යාමට සමත් වුවත් පන්දුව Held Up අවස්ථාවකට ලක් වූ බව විනිසුරු තීරණය කරන ලදි. නැවත වරක් ඔවුන් උත්සාහ කළත් මෙවර මුඅම්මර් ඩින් පන්දුව අත හැරීම නිසා ඔවුන්ට අනගි අවස්ථාවක් අහිමි විය.

යුධ හමුදාව සහ CR&FC අතර ප්‍රබල සටනක්

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පළමු වටයේ අවසන් තරගය ලෙස CR&FC කණ්ඩායම…

පළමු අර්ධය: පොලිස් ක්‍රීඩා සමාජය 10 (1P, 1T, 1C) – 24 (3T, 3C, 1P) CH&FC

දෙවන අර්ධයට සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් පොලිස් ක්‍රීඩකයින් නොමඟ යැවූ සුදම් සූරියආරච්චි විශිෂ්ට ධාවනයක් සමඟින් උත්සාහක දිනුම් රේඛාව ඉක්මවා ගිය අතර සමුවෙල් හට අමතර ලකුණු එකතු කිරීමට අවස්ථාවක් ලැබුණේ නැත. (CH 29-10 පොලිස්)

අනතුරුව පොලිස් ක්‍රීඩකයින් දෙවන අර්ධය සම්පූර්ණයෙන්ම සියතට ගත්තේ දක්ෂ ලෙස නැවතත් තරගයට අවතීර්ණ වෙමිනි.

62 වන මිනිත්තුවේ දී CH ආරක්ෂක වළලු බිඳ දැමූ සචිත් සිල්වා අලංකාර ධාවනයක යෙදෙමින් ලකුණු රැස් කළ අතර යොහාන් අමතර ලකුණු ද එකතු කළේ පොලිස් කණ්ඩායම තවදුරටත් තරගයේ රඳවා ගනිමිනි. (CH 29-17 පොලිස්)

ලකුණු පරතරය තවත් අඩු කරන්නට ප්‍රසාත් මදුසංකගේ අතපසුවීමක් නිසා පොලිස් කණ්ඩායමට ගෝල කණු ඉදිරියේම දඬුවම් පහරක් හිමි වුවත් අවාසනාවන්ත ලෙස පහසු ලකුණු තුනක් ඔවුන්ට ගිලිහි ගියේ පන්දුව ගෝල කණුවල වැදී ඉවත ගිය නිසයි.

74 වන මිනිත්තුවේ දී ධනුෂ්ක එදිරිසූරිය ප්‍රමුඛ පොලිස් ඉදිරිපෙළ තවත් උත්සාහක දිනුමක් සඳහා සීමාව ඉක්මවා ගියේ තරගයේ ලකුණු පරතරය තවත් අඩු කරමිනි. ජනිත් චන්දිමාල් අමතර ලකුණු එකතු කිරීමට සමත් විය. (CH 29-24 පොලිස්)

අවසන් මිනිත්තු පහ තුළ තවත් ලකුණු පහක් සඳහා පොලිස් ක්‍රීඩකයින් කෙතරම් උත්සාහක කළත් පොලිස් උත්සාහය සාර්ථක වූයේ නැත.

ThePapare.com තරගයේ වීරයා – සුදම් සූරියආරච්චි (CH&FC)

අවසන් ලකුණු තත්වය: CH&FC 29 (4T, 3C, 1P) 24 (3T, 3C, 1P) පොලිස් ක්‍රීඩා සමාජය

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ

  • CH&FC ක්‍රීඩා සමාජය – සැමුවෙල් මධුවන්ත (2C, 1P), යෝෂිත රාජපක්ෂ (1T), ජේසන් මෙල්ඩර් (1T), නවින් හේනකන්කානම්ගේ (1T), සුදම් සුරියආරච්චි (1T)
  • පොලිස් ක්‍රීඩා සමාජය – යොහාන් පීරිස් (1P, 2C), කසුන් සුරංග (1T), සචිත් සිල්වා (1T), ජනිත් චන්දිමාල් (1C), ධනුෂ්ක එදිරිසූරිය (1T)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<