අකිලගෙන් හිස් වන තැනට අයෙක් නම් කරයි

5179

ශ්‍රී ලංකාව හා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ගාල්ලේ දී පැවති පළමු තරගය අතරතුර සැක සහිත ඉරියව්වකින් ක්‍රීඩා කළා යැයි චෝදනා ලැබූ දකුණත් පිට දඟපන්දු යවන ක්‍රීඩක අකිල දනංජය, පන්දු යැවීමේ ඉරියව්ව පරික්ෂා කිරීම සඳහා ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර බලා අද (20) පිටත්ව යනු ඇත.

ඒ නිසාවෙන් දෙරට අතර පැවැත්වෙන අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අකිලට මඟ හැරෙන අතර ඔහු වෙනුවට නිශාන් පීරිස් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවීමට ජාතික තේරීම් කමිටුව තීරණය කර ඇති බව ThePapare.com වෙත වාර්තා වේ.

නිශාන් පීරිස්

අකිලගේ පන්දු යැවීමේ ඉරියව් ගැන සැකයක් – ICC

සංචාරක එංගලන්තය හා ශ්‍රී ලංකාව අතර පසුගිය දා ගාල්ලේ දී නිමා වූ පළමු ටෙස්ට් ක්‍රිකට් …

පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවට අලුතෙන්ම ඇතුළත් වූ ක්‍රීඩකයා වන අකිල දනංජයට මෙම චෝදනාව එල්ල කෙරුණේ පසුගිය 11 වැනිදා වන අතර චෝදනාව ලැබීමෙන් දින 14ක් ඇතුළත සිය පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙහෙයවනු ලබන පරීක්‍ෂණයකට ඔහු මුහුණ දිය යුතුය. 

කෙසේ නමුත් අකිල දනංජයගේ පන්දු යැවීම පරීක්ෂා කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කිරීමත් සමඟම දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ආරම්භ වීමට පෙර වහාම ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉන්දියාවේ චෙන්නායි නුවර පිහිටා තිබෙන පරීක්ෂණාගාරය වෙත අකිලව යැවීමට කටයුතු සූදානම් කළ ද, එම පරීක්ෂණාගාරය අලුත්වැඩියා කටයුත්තක් නිසාවෙන් එම වෑයම අසාර්ථක විය.

ඉන්දියාවේ පරීක්ෂණාගාරයට අමතරව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුමත පරීක්ෂණාගාර පිහිටා තිබෙන්නේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්, එංගලන්තයේ ලොග්බර්ග් හා දකුණු අප්‍රිකාවේ පිටෝරියා හි පමණි. ඒ නිසාවෙන් ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර පිහිටා තිබෙන පරීක්ෂණාගාරයේ මේ මස 23 වැනිදා පැවැත්වෙන පරීක්ෂණයට අකිලව පිටත් කර හැරීමට අවශ්‍ය කටයුතු (වීසා බලපත්‍ර, පරීක්ෂණය සඳහා අවශ්‍ය ලිපි ලේඛන) සකස් කරන තෙක් අකිලට දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමට අවශ්‍ය පසුබිම සැකසුණි.

දෙවන ටෙස්ට් තරගයත්, තෙවන ටෙස්ට් තරගයත් අතරතුර අකිලගේ පරීක්ෂණය අවසන් කරගෙන ඔහුට යළිත් මෙරට පැමිණීමට කාලය ප්‍රමාණවත් නොවන නිසාත්, නොවැම්බර් මස 11 වැනිදා සිට දින 14 ගත වීමට පෙර පන්දු යැවීමේ ඉරියව්ව පරීක්ෂණය සඳහා අකිලව යොමු කිරීම කළ යුතු නිසාත් මේ මස 23 වැනිදා කොළඹ SSC පිටියේ දී ආරම්භ වන තෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන්  අකිලව ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික තේරීම් කමිටුව පසුගිය දා තීරණය කළේය. 

පළමු වතාවට ශ්‍රී ලංකා ජාතික ටෙස්ට් සංචිතයේ අසුනක් හිමිකරගත් නිශාන් පීරිස් බදුරලිය ක්‍රීඩා සමාජය හා රාගම ක්‍රිකට් සමාජය වෙනුවෙන් පළමු පෙළ ක්‍රිකට් තරගය ක්‍රීඩා කර ඇති අතර ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම හා එංගලන්තය අතර පැවති පළමු පුහුණු ක්‍රිකට් තරගයේ දී කඩුලු 3ක් දවා ගැනීමට නිශාන් සමත් විය. ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමත් නියෝජනය කර ඇති ඔහු මේ දක්වා පළමු පෙළ ක්‍රිකට් තරග 12කට සහභාගී වී කඩුලු 38ක් දවාගෙන ඇත්තේ 29.52ක පමණ ඉතාමත් හොඳ කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි.

තරග 3කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබිය දී ම ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වී තිබෙන අතර දෙරට අතර පැවැත්වෙන අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය මේ මස 23 වැනිදා කොළඹ SSC පිටියේ දී ආරම්භ වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<