ඕස්ට්‍රේලියානු සංචාරයේ ශ්‍රී ලංකා T20 සංචිතය

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

1084

සංචාරක ඕස්ට්‍රේලියාව සහ සත්කාරක ශ්‍රී ලංකාව අතර ජුනි 07 වැනිදා ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස තරගාවලිය සඳහා සහභාගී වන අවසන් සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කර තිබෙනවා.

සුපුරුදු පරිදි මෙම කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට හිමි වෙද්දී ශාරීරික යෝග්‍යතා ගැටලු නිසාවෙන් ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් කළ භානුක රාජපක්ෂ නිමා වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දස්කම් දැක්වීමෙන් අනතුරුව නැවතත් ශ්‍රී ලංකා විස්සයි  විස්ස සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ 09 තැන පසු වූ පන්දු යවන්නෙකු වන දඟපන්දු යවන ලක්ෂාන් සඳකැන් ද කලකට පසුව ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතයට ඇතුළත්ව තිබීම විශේෂත්වයක්.

නිමා වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ චෙන්නායි කණ්ඩායම නියෝජනය කරමින් දස්කම් දැක්වූ යොවුන් ක්‍රීඩක මතීෂ පතිරණ සහ ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සමඟ එංගලන්තයේ දී විස්සයි විස්ස ශතකයක් ලබා ගත් නුවනිඳු ප්‍රනාන්දු පළමු වරට ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබෙනවා.

එමෙන්ම ලෝක කුසලානයට පෙර ආබාධයට ලක්වූ ලහිරු මධුසංක සහ ඕස්ට්‍රේලියානු තරගාවලියේ දී ආබාධයකට ලක් වූ නුවන් තුෂාර මෙවර විස්සයි විස්ස සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

මෙම සංචිතය තුල නිත්‍ය කඩුලු රකින ක්‍රීඩකයෙක් දක්නට නොලැබෙන නිසාවෙන් විස්සයි විස්ස තරගාවලියේ කඩුල්ල පිටුපස වගකීම කුසල් මෙන්ඩිස් හට හිමි වීමට බොහෝ ඉඩක් ඇති අතර කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල අමතර අතිරේක ක්‍රීඩකයෙක් ලෙස නම් කර තිබෙනවා.

විස්සයි විස්ස තරගාවලියට නම් කළ ශ්‍රී ලංකා සංචිතය: දසුන් ශානක (නායක), කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිශ්ශංක, චරිත් අසලංක,බානුක රාජපක්ෂ,නුවනිඳු ප්‍රනාන්දු,වනිඳු හසරංග, ලහිරු මධුසංඛ, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, කසුන් රාජිත, මතීෂ පතිරණ, රමේෂ් මෙන්ඩිස්, මහීෂ් තීක්ෂණ, ප්‍රවීන් ජයවික්‍රම, ලක්ෂාන් සඳකැන්.

  • අතිරේක ක්‍රීඩකයින්: නිරෝෂන් දික්වැල්ල, ජෙෆ්රි වැන්ඩර්සේ

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය ජුනි 7 වැනිදා සිට 11 වැනිදා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය සහ මහනුවර පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතයි.

විස්සයි විස්ස තරගාවලියේ ඇතුළු සමස්ත තරග සංචාරයේ තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<