කෝලිගේ ප්‍රහාරය විස්සයි විස්ස සිහිනයත් බොඳ කරයි

213

ක්‍රිකට් ක්‍රීඩාවේ තරග රටාවන් තුනේ දී ම එක ලෙස දස්කම් පාන දකුණත් සුපිරි පිතිකරු විරාත් කෝලි දැක්වූ සුවිශේෂී දස්කම් නිසා ඉන්දු – ශ්‍රී ලංකා එකම විස්සයි විස්ස තරගයේ දීත් පරාජය භාර ගැනීමට ඊයේ (06) ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය.

කෙසේ වෙතත් මීට පෙර පැවති බොහෝ තරගවලට වඩා වැඩි උද්‍යෝගයක් අද ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගෙන් නිරූපණය වූ බැවින් තරගයේ අවසානය තෙක්ම ජයග්‍රාහකයා තීරණය කිරීම තරමක් අසීරු විය.

මැතිව්ස්ට 27, කුසල්ට 30, දික්වැල්ලට 38

ගෙවී ගිය සති කිහිපය තුළ ක්‍රිකට් ක්‍රීඩා පිටියේ සිදු වූ බොහෝ සිදුවීම් නිසා මේ වන විට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් ප්‍රකාශයට පත් කරන ශ්‍රේණිගත කිරීම්වල විවිධ වූ වෙනස්කම් සිදුව ඇත.

ඊයේ දිනය පුරාවට මාලිගාවත්ත ප්‍රදේශයට අතොරක් නැතිව ඇද හැලුණු වර්ෂාව නිසා දෙපිළ අතර මෙම මහා ක්‍රිකට් ගැටුම ආරම්භ කිරීමට හැකි වූයේ පුරා හෝරාවක පමණ ප්‍රමාදයකින් අනතුරුවයි. සැබවින්ම වර්ෂාවට තරග උණුසුම තුනී කර දමන්නට ඉඩ නොදුන් පිටියේ කාර්‍යමණ්ඩලය තම රාජකාරිය යුහුසුළුව ඉටු නොකරන්නට ආර්. ප්‍රේමදාස පිටිය කරා ඇදුණු ක්‍රීඩාලෝලීන්ට වැසි දියෙන් තෙතබරිත වී හිස් අතින්ම නැවතත් නිවෙස් බලා පියවර මනින්නට සිදු වන්නට ඉඩ තිබුණි. පස්වරු 8 වන විට ඇරඹි තරගයට ඉන් අනතුරුව කිසිදු ආකාරයකින් බාධාවක් ඇති නොවූ නිසා පන්දුවාර කප්පාදුවකින් තොරවම පූර්ණ විස්සයි විස්ස තරගයක අසිරිය විඳ ගැනීමට දෙපිළේම ප්‍රේක්ෂකයින්ට ඉඩ හසර විවර විය.

පමා වී උරගා බැලුණු කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දීය නායක විරාත් කෝලි සමත් වූ අතර ඔහුගේ තීරණය වූයේ ලකුණු හඹා යෑමෙන් තම කණ්ඩායමට වැඩි වාසි අත්කර ගැනීමට හැකි වන බවයි. ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ලෙස නම් දැරූ නිරෝෂන් දික්වැල්ල සහ නායක උපුල් තරංගයි. කෙසේ වෙතත් එක්දින තරගාවලිය තුලදීත් තරග රැසක දී අසාර්ථක වූ උපුල් තරංගට ඊයේ දිනයේ දීත් රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 5ක් පමණි. නායකත්වය හිමිවීමෙන් අනතුරුව තරංග මේ ආකාරයට පිත්තෙන් අසමත් වීම සමස්ත කණ්ඩායමටම මේ වන විට දැඩි ගැටලුවක් බවට පත්ව තිබේ.

කෙසේ වෙතත් අද අංක 3 පිතිකරු ලෙස ක්‍රීඩා කළ ඩිල්ශාන් මුණවීර පිටියට පැමිණි මොහොතේ සිටම දැඩි ප්‍රහාරයක් දියත් කිරීම නිසා ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ගේ ජය ඝෝෂාවල නම් කිසිදු අඩුවක් ඇති නොවීය. තම පළමු ජාත්‍යන්තර විස්සයි විස්ස අර්ධ ශතකය ලෙස මුණවීර රැස්කළ ලකුණු 53ට වැය වූයේ පන්දු 29ක් පමණි. ඉන්දීය පන්දු යවන්නන්ට පසු පාදයට ඇද දැමූ මෙම ප්‍රවේගකාරී ඉනිම අකුණු සැරවන් හතරේ පහර 5කින් සහ දැවැන්ත හයේ පහර 4කින් රසවත් විය. මෙම හයේ පහර 4ම ඊයේ දින කඩුලු තුනක්ම දවා ගනිමින් සාර්ථක වූ යුශ්වේන්ද්‍ර චහාල්ට එරෙහිව එල්ල වීම සුවිශේෂී සිදුවීමක් විය.

 

වමත් පිතිකරු නිරෝෂන් දික්වැල්ල පන්දු 14ක් තුල දී ලකුණු 17යි. ඔහුගේ කෙටි ඉනිමට හතරේ පහර 3ක් ඇතුළත් විය. ශ්‍රී ලංකා පිළ තම පවර්ප්ලේ පන්දුවාර 6 තුල දී ලකුණු 62ක් රැස් කරගෙන ඉතාමත් සුබවාදී ගමනක නිරත වෙද්දී ඊට දැඩි බාධාවක් එල්ල කළේ හිටපු නායක ඇන්ජෙලෝ මැතිව්ස් ස්ටම්ප් කිරීමකට හසුව දැවී යාමයි. ඉන්දීය දඟපන්දු යවන්නන්ව පාලනය කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සතුවන ප්‍රබලම අවිය වන මැතිව්ස් මෙලෙස ලකුණු 7කට පිටිය හැර යාම කණ්ඩායමේ සැලසුම් සම්පූර්ණයෙන්ම කණපිට හැරවූ සිදුවීමක් බවට පත්විය.

 

ශ්‍රී ලංකා 20-20 සංචිතය නිකුත් වේ

සනත් ජයසූරිය මහතා ප්‍රමුඛ වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ අවසන් නිළ රාජකාරි කටයුත්ත වශයෙන් ශ්‍රී ලංකා 20–20 සංචිතය තෝරා ගැනීම අද (4) සිදු කරන ලදි.

 

විස්සයි විස්ස කණ්ඩායමට නිතර එබිකම් කරන තිසර පෙරේරාගෙන් ද (11) ඊයේ වැඩි මෙහෙයක් ඉටු නොවූ අතර, ඉතාමත් අපහසුවෙන් නැවතත් කණ්ඩායම හා එක්වූ දසුන් ශානක ලකුණු නොලබාම ක්‍රීඩාගාරයට හැරී ගියේය. ඒ තම අනාගත ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය ද අභියෝගයට ලක්කර ගනිමිනි. තම දිනයේ දී ප්‍රහාරය සාර්ථක කර ගන්නා සීක්කුගේ ප්‍රසන්න ද ඊයේ ශ්‍රී ලංකා ඉනිමට එක්කළේ ලකුණු 11ක් පමණි. ඒ වන විට බිඳ වැටෙමින් තිබූ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 170ක් දක්වා ගෙන යාමට උපකාරී වූයේ අශාන් ප්‍රියන්ජන් නොදැවී රැස්කළ ලකුණු 40යි. හරියටම පන්දු 40ක් තුල දී ඔහු ක්‍රීඩා කළ මෙම ඉනිමට එක් හතරේ පහරක් සහ හයේ පහර ද්විත්වයක් ඇතුළත් විය. ඔහුගේ ඉනිමට ශක්තියක් වූ ඉසුරු උදාන පන්දු 10ක් තුල දී ලකුණු 19යි.

 

ඒ අනුව ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 171ක ඉලක්කයක් හිමි වූ ඉන්දීය කණ්ඩායම මුල සිටම පන්දුවාරයකට අවශ්‍ය ලකුණු ප්‍රමාණය කෙරේ අවධානය යොමු කරමින් ඉනිම ගොඩ නංවනු දැක ගන්නට ලැබුණි. ඒ අතරතුර දී ඔවුන් තම කඩුලු නිකරුණේ පූජා නොකිරීමට ද වගබලා ගත්හ. ලසිත් මාලිංගගේ වේග පන්දුවක් ආරම්භක කඩුල්ලේ සබඳතාවය ලකුණු 22ක් බවට පත් කළ ද ඔවුන් තම සැලසුම බිඳ වැටීමට ඉඩ නොදීම ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණයේ රහස බවට පත්විය. දෙවැනි කඩුල්ල ලෙස ලකුණු 24ක් රැස් කර ගත් ලෝකේෂ් රාහුල් දසුන් ශානකගේ සුපිරි උඩපන්දු රැකීමක් හමුවේ දැවී ගිය ද ඉන් ඉදිරියට තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගෙන්නේ ශතක සබඳතාවයකි.

 

ඒ සුපිරි පිතිකරු විරාත් කෝලි සහ මනිෂ් පාණ්ඩේ අතරයි. තම අන්තර්ජාතික විස්සයි විස්ස දිවියේ 17 වැනි ශතකය ලෙසින් කෝලි ඊයේ ලකුණු 82ක් වාර්තා කර ගත්තේ පන්දු 54ක් පමණක් වැය කරමිනි. ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හිසරදයක් බවට පත්වූ ඔහුගේ මෙම වේගවත් ඉනිමට හතරේ පහර 7ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය. ඔහුගේ සහයට එක්වූ මනිෂ් පාණ්ඩේ පන්දු 36ක් තුල දී නොදැවී ලකුණු 51ක් රැස්කර ගැනීමත් සමඟ ඔවුන්ට ජයග්‍රහණය අසලටම පැමිණීමට අපහසු නොවීය. හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් සමඟින් පාණ්ඩේ ඊයේ වාර්තා කළේ තම පළමු විස්සයි විස්ස අර්ධ ශතකයයි.

 

තරගයේ අවසන් කොටසේ දී ලසිත් මාලිංග පිට ඉන්නට ඉතාමත් ඈතින් ඇදී යන යෝකර් පන්දු රැසක් යොමු කරමින් 2014 විස්සයි විස්ස ලෝක කුසලානයේ දී මෙන් පෙරළිකාර ජයක් ගෙන ඒමට උත්සාහ දැරූව ද මෙවර එම සැලසුම් සාර්ථක වූයේ නැත. ඒ අනුව ඉන්දියානුවන් සංචාරයේ එකම විස්සයි විස්ස තරගය ද තමන් නමින් ලියා ගත්තේ ඉනිම නිමාවීමට තවත් පන්දු 4ක් ඉතිරිව තිබියදීයි. පන්දු යැවීමේ දී ඉසුරු උදාන, ලසිත් මාලිංග සහ සීක්කුගේ ප්‍රසන්න එක් කඩුල්ල බැගින් බිඳ හෙලූහ.

 

තරගයේ වීරයා සම්මානය හිමි වූයේ ලකුණු 82ක් ද සමඟින් තම කණ්ඩායම ජයග්‍රහණය කරා යොමු කළ ඉන්දීය නායක විරාත් කෝලිටයි. ඒ අනුව ඉන්දීය කණ්ඩායම මෙවර ශ්‍රී ලංකා තරග සංචාරයේ තමන් මුහුණ දුන් තරග 9ම ජය ගැනීමට සමත්වී තිබේ. ලෝක ක්‍රිකට් ඉතිහාසයේ මීට පෙර තරග 9ක මෙවන් දීර්ඝ තරග සංචාරයක් සම්පූර්ණයෙන්ම පරාජය වී තිබෙන්නේ ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිව තරග වැදුණු පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම පමණි. නමුත් ඔවුන් විදෙස් තරග සංචාරයක දී එවන් ඉරණමකට මුහුණ දුන් නිසා මෙය ඉතිහාසයේ කණ්ඩායමක් මුහුණ දුන් දරුණුතම පරාජය ලෙස ද සැලකීම වරදක් නොවේ.

 

ශ්‍රී ලංකාව – කඩුලු 7ක් දැවී ලකුණු 170 (පන්දුවාර 20): ඩිල්ශාන් මුණවීර 53, අශාන් ප්‍රියන්ජන් 40*, ඉසුරු උදාන 19*, නිරෝෂන් දික්වැල්ල 17, තිසර පෙරේරා 11, යුශ්වේන්ද්‍ර චහාල් 3/43, කුල්දීප් යාදෙව් 2/20.

 

ඉන්දියාව – කඩුලු 3ක් දැවී ලකුණු 174 (පන්දුවාර 19.2): විරාත් කෝලි 82, මනිෂ් පාණ්ඩේ 51*, ලෝකේෂ් රාහුල් 24, රෝහිත් ශර්මා 9, සීක්කුගේ ප්‍රසන්න 1/25.

 

 

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට