තෙවන ටෙස්ට් තරගයේ රංගනගේ ඉරණම?

721
Rangana Herath

ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක රංගන හේරත් හට කොන්දේ ආබාධයක් හේතුවෙන් සංචාරක ඉන්දියානු කණ්ඩායම සමඟ පැවැත්වෙන තෙවන ටෙස්ට් තරගය අහිමි වනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනක්ම තරගාවලිය ආරම්භයේ සිටම ආබාධවල ගොදුරක් බවට පත්වූ අතර තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න (මහපටැඟිල්ල බිඳීමකට ලක්වීම), සුරංග ලක්මාල් (කොන්දේ ආබාධයක්), නුවන් ප්‍රදීප් (පාදයේ ආබාධයක්) යන ක්‍රීඩකයින් ආබාධවලට ලක්විය. ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නව නායක දිනේෂ් චන්දිමාල්ට ද නියුමෝනියාව වැළඳීම හේතුවෙන් තරගාවලියේ පළමු තරගය අහිමි විය.

දෙවන තරගයට පසුව චන්දිමාල් මාධ්‍ය අමතයි

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වූ දෙවන ටෙස්ට් තරගය ද දින 4ක් තුළ දී..

ශ්‍රී ලංකාව මේ වන විටත් සංචාරක ඉන්දියානු කණ්ඩායම සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය පරාජයට පත්වී ඇති අතර මෙම තරගාවලියෙන් අනතුරුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පාක්ස්ථානය සමඟ ටෙස්ට් තරග දෙකක තරගාවලියකට සහ ඉන් අනතුරුව නොවැම්බර් මාසයේ දී ඉන්දියාව සමඟ ටෙස්ට් තරග තුනකින් යුතු තරගාවලියකට ද ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වීමට නියමිත ය.  

Cricbuzz වෙබ් අඩවිය සමඟ අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධ නිලධාරියෙක් පවසා ඇත්තේ,

“රංගන අපිට ඔහුගේ කොන්ද ප්‍රදේශයේ වේදනාකාරී තත්වයක් පිළිබඳව දැනුවත් කළා. ඒ නිසා ඔහුව තෙවන තරගයට ඇතුළත් නොකර ඉන්න තීරණය කළා. ඔහු අපේ කණ්ඩායමේ ප්‍රධාන පන්දු යවන්නා. ඒ වගේම අපිට ඉදිරියේ දී තරගාවලි කිහිපයක්ම පැවැත්වෙනවා. එමනිසා මේ තරගාවලිය දැනටමත් පරාජය වෙලා තිබෙන නිසා අවසන් තරගයට ඔහුව ඇතුළත් කිරීමේ අවදානම නොගෙන ඉන්න අපි තීරණය කළා.”

චන්දිමාල් සහභාගී නොවීම නිසා තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ නායකත්වය ද දැරූ වමත් දඟපන්දු යවන ක්‍රීඩක රංගන හේරත් පසුගිය සති 3ක පමණ කාලය තුළ ටෙස්ට් තරග 3ක දී පන්දුවාර 151ක් පමණ යවා ඇත. ඒ අනුව ඔහු තෙවන ටෙස්ට් තරගයට ක්‍රීඩා නොකරන නිසා මලින්ද පුෂ්පකුමාර නිසැකවම එම තරගය ද ක්‍රීඩා කරනු ඇති අතර ඔහු හට රංගනගේ අඩුව පිරවීමට විශාල දායකත්වයක් ලබා දීමට සිදු වනු ඇත.

ගාල්ලේ දී පැවති පළමු ටෙස්ට් තරගයේ දී පන්දු රැකීමේ දී රංගන සිය මැඳගිල්ලේ ආබාධයකට ද ලක්වූ නමුත් නැවතත් දෙවන ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීම සඳහා ඔහු ඉන් සුවය ලැබීය.

තවදුරටත් දෙවන ටෙස්ට් තරගය අතරතුර දී පාදයේ ආබාධයකට ලක්වූ නුවන් ප්‍රදීප් වෙනුවට තෙවන ටෙස්ට් තරගය සඳහා දුෂ්මන්ත චමීර ක්‍රීඩා කරනු ඇති බව වාර්තා වේ.

 >>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට<<