පරණවිතාන සහ මිෂාරගෙන් අර්ධ ශතක ඉනිම්

425

සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අතර පැවැත්වෙන නිල නොවන සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අද (23) කටුනායක දී ඇරඹි දෙවැනි තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා යොවුන් පිතිකරුවෝ පළමු දිනට තරගය නතර කරන විට කඩුලු 9ක් දැවී ලකුණු 219ක් ලබා සිටිති.

දෙරට අතර පැවති පළමු තරගයෙන් ලකුණු 13ක ජයක් අත්කර ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වීම නිසා තරගාවලිය ජය පරාජයන් තොරව අවසන් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ජයග්‍රහණ අත්‍යවශ්‍යම වූ මෙම තරගයේ දී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා යොවුන් නායක නිපුන් ධනංජය ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

ශ්‍රී ලංකාවෙන් කලකට පසු යෝධ ලකුණු පුවරුවක්

ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත

මේරියන්ස් ක්‍රීඩා සමාජ පිටියේ පැවැත්වෙන මෙම තරගයේ දී දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් ලබා ගනිමින් ප්‍රතිවාදීන් හමුවේ පීඩනය යොමු කිරීම ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුව වුවත්, නවෝද් පරණවිතාන සමඟ ඉනිම ඇරඹි නායක නිපුන් ධනංජය ලකුණු නොලබාම දැවී ගියේය.

ශහීන් අලාම්ගේ පන්දුවක් හමුවේ රිෂාඩ් හොසේන් උඩ පන්දුවක් රැක ගැනීම නිසා නිපුන් පිටියෙන් ඉවත් වන විටත් ශ්‍රී ලංකා ලකුණු පුවරුව 07ක් වශයෙන් සටහන් විය. ආරම්භය අසාර්ථක වුවද පරණවිතානට එක්වූ කමිල් මිෂාර දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 115ක සම්බන්ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකා කණ්ඩායම සැනසිලිදායක මට්ටමකට ගෙන ඒමට සමත් විය.

පන්දු 196ක දී ගොඩ නැංවුණු එම සම්බන්ධතාව අවසන් වූයේ වමත් දඟපන්දු යවන රකිබුල් හසන්ගේ පන්දුවක් හමුවේ කමිල් මිෂාර කඩුල්ල මුවා කිරීමේ වරදකට හසුවීමෙනි. පළමු තරගයේ ඉනිම දෙකේ දී ම එතරම් ස්ථාවරත්වයක් ගොඩ නගා ගැනීමට මිෂාර අසමත් වුවත් අත්‍යවශ්‍ය මොහොතේ දී ක්‍රියාත්මක වෙමින් මෙම ඉනිමේ දී ලකුණු 52ක් රැස් කළේය. වමතින් පන්දුවට පහර දෙන මෙම හැඩකාර පිතිකරුවාගේ ඉනිම පන්දු 96කින් සමන්විත වූ ඉනිමට හතරේ පහර 7ක් එල්ල කොට තිබුණි.

බංග්ලාදේශ පන්දු යවන්නන්ගේ හිසරදය බවට පත්වුණු නවෝද් පරණවිතානගේ දැවී යෑම, ශ්‍රී ලංකා කණ්ඩායම මෙතරම් පසුබෑමකට ලක්වූ ප්‍රධාන හැරවුම් ලක්ෂය බවට පත්විය. මිෂාරගේ දැවී යෑමෙන් ලකුණු පුවරුවට ලකුණු 22ක් එකතු වන අතරවාරයේ දී ශහීන් අලාම්ගේ දෙවැනි ගොදුර බවට පත්වෙමින් පරණවිතාන දැවී යන විට ශතකයට ලකුණු 21ක් ඈතින් (79) සිටියේය. මුහුණ දුන් 153 වැනි පන්දුවේ දී බංග්ලාදේශ නායක ටවුහිඩ් රිඩෝයි අතට උඩ පන්දුවක් දීමෙන් පරණවිතානගේ ඉනිම හමාර වන විට තම ඉනිම හතරේ පහර 9කින් අලංකාර කරගෙන තිබුණි.

කවිශ්ක අංජුල තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වයි

වෙළඳසේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන වෙළඳසේවා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (23) කොළඹ වෙළඳසේවා

එතැන් පටන් සිදු වූයේ එක පිට එක කඩුලු දැවී යෑමය. ලකුණු 08ක් ලබා සිටිය දී අක්බර් අතට උඩ පන්දුවක් ලබා දීම නිසා සොනාල්ගේ ඉනිම හමාර විය. පරණවිතාන දැවී යන විට මුලු ලකුණු සංඛ්‍යාව 144ක් ලෙසින් සටහන් වූ අතර අනතුරුව ලකුණු පුවරුවට ලකුණු 32ක් එක් වද්දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නම් දැරූ පිතිකරුවන් ඇතුළු 6 දෙනෙකුම දැවී ගියේ යොවුන් කණ්ඩායම් නායකයා තබා තිබූ සියලු බලාපොරොත්තු සුන් කරමිනි. දැවී ගිය පිතිකරුවන් අතර පළමු තරගයේ දී ශතක ලාභී එකම පිතිකරුවා බවට පත්වූ සොනාල් දිනූෂ ද පසු වූ අතර ඔහුට වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට අවස්ථාව ලබා නොදීමට ආරම්භක පන්දු යැවූ රිතුන්ජෝයි චෞද්‍රි වග බලා ගත්තේය.

එසේ දැවී ගිය පිතිකරුවන් අතර ලකුණු 10 ඉක්මවීමට සමත්වූ පිතිකරුවන් යුගල වූයේ චමිඳු විජේසිංහ (17) සහ සඳුන් මෙන්ඩිස් (10) පමණි. පන්දු යවන්නන් අතරින් පළමු දිනයේ කැපී පෙනුණු ශහීන් අලාම් ශ්‍රී ලංකා යොවුන් පිලේ දැවී ගිය කඩුලු 9න් 5කම හිමිකරුවා බවට පත්විය. ශ්‍රී ලංකා පිතිකරුවන්ට ප්‍රබලම තර්ජනය ගෙන දුන් පන්දු යවන්නා බවට පත්වූ අලාම් පන්දුවාර 14ක දී නිලකුණු පන්දුවාර 4ක් සමඟින් ලකුණු 37කට කඩුලු 5ක් බිඳ හෙළීය. ඔහුට අනගි සහායක් ලබා දුන් රිතුන්ජෝයි චෞද්‍රි ලකුණු 45කට කඩුලු 2ක් දවා ගනිද්දී, රිෂාඩ් හොසේන් සහ රකිබුල් හසන් එක් කඩුල්ල බැගින් බිඳ හෙලූහ.

ශ්‍රී ලංකා ඉනිමේ 9 වැනි පිතිකරුවා ලෙසින් චමිඳු විජේසිංහ දැවී ගියේ 81 වැනි පන්දුවාරයේ පළමු පන්දුවේ දී ය. එතැන් පටන් දිනය අවසන් වීම වෙනුවෙන් යවන ලද පන්දුවාර 9යි පන්දු 5ක් හෙවත් පන්දු 59ක දී තම කඩුලු ආරක්ෂා කර ගත් අවසන් පිතිකරු යුගල වූ නවීන් ප්‍රනාන්දු සහ රොහාන් සංජය ලකුණු 24ක නොබිඳුණු සම්බන්ධතාවක් පවත්වමින් තරගයේ දෙවැනි දිනය වන හෙට (24) දිනයේ දී පන්දුවට පහර දීමේ අවස්ථාව උදාකර ගෙන සිටිති. නවීන් ප්‍රනාන්දු පන්දු 63ක දී ලකුණු 19ක් ද, රොහාන් සංජය පන්දු 28ක දී ලකුණු 8ක් ද ලබා සිටිති.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පන්දුවාර 90ක දී 219/9: නවෝද් පරණවිතාන 79, කමිල් මිෂාර 52, මොහොමඩ් ශමාස් 10, සඳුන් මෙන්ඩිස් 10, චමිඳු විජේසිංහ 17, නවීන් ප්‍රනාන්දු 19*, රොහාන් සංජය 08*, ශහීන් අලාම් 37/5, රිතුන්ජෝයි චෞද්‍රි 45/2, රිෂාඩ් හොසේන් 50/1, රකිබුල් හසන් 37/1

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<