කවිශ්ක අංජුල තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වයි

294

වෙළඳසේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන වෙළඳසේවා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (23) කොළඹ වෙළඳසේවා පිටියේ දී පැවති ඩිමෝ සහ ජෝන් කීල්ස් කණ්ඩායම් අතර පැවති අර්ධ අවසන් පූර්ව තරගය නිමාවක් නොදැක නිමා වූවද, ඩිමෝ කණ්ඩායමේ යොවුන් ක්‍රීඩක කවිශ්ක අංජුල තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වමින් දවසේ කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්විය.

තරගය විසඳුමකින් තොරව නිමා වූවද ඩිමෝ කණ්ඩායම ප්‍රසාද ලකුණු මත ඉදිරියෙන් සිටීම නිසා ඔවුන් අවසන් පූර්ව වටය නියෝජනයට සුදුසුකම් ලබා ගත්හ.

මේ අතර කොළඹ කෝල්ට්ස් පිටියේ දී පැවැත්වීමට නියමිතව තිබූ MAS යුනිචෙලා සහ හේලීස්  කණ්ඩායම අතර අර්ධ අවසන් පූර්ව තරගය ක්‍රීඩාංගණයේ පැවති අයහපත් තත්ත්වය හේතුවෙන් පන්දුවක් හෝ නොයවමින් පස්වරු 2.00ට පමණ අතහැර දමන ලදි. කෙසේ වෙතත් ප්‍රසාද ලකුණු පුවරුවේ ඉහළ ස්ථානයක් හිමිකරගෙන සිටි  MAS යුනිචෙලා ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබන්නේ ය.

MAS Silueta සහ කොමර්ෂල් ක්‍රෙඩිට් අවසන් පූර්ව වටයට

වෙළඳසේවා ක්‍රිකට් සංගමය 26 වැනි වරටත් සංවිධානය කරන සිංගර් කුසලාන වෙළඳසේවා ප්‍රිමියර් ලීග් A කොටසේ ක්‍රිකට් තරගාවලියේ LB ෆිනෑන්ස් කණ්ඩායම…

ඩිමෝ සහ ජෝන් කිල්ස් A කණ්ඩායම අතර තරගය පස්වරු 2.45 ආරම්භ වූයේ පන්දුවාර 20ක තරගයක් ලෙසිනි. කාසියේ වාසිය දිනූ ජෝන් කීල්ස් නායක භානුක රාජපක්ෂගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඩිමෝ ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 199ක් ලබා ගත්හ. ඊට පිළිතුරු ලෙසින් ජෝන් කීල්ස් ක්‍රීඩකයන් කඩුලු 6ක් දැවී ලකුණු 97ක් ලබා සිටිය දී අඳුරු කාලගුණ තත්ත්වය හේතුවෙන් තරගය නතර කර දමන ලදි. ඒ වෙද්දී ජෝන් ක්‍රීඩකයෝ මුහුණ දී සිටියේ පන්දුවාර 11කට පමණි.

ඩිමෝ ඉනිමේ ආරම්භක පිතිකරුවන් ලෙසින් පිටියට පිවිසි චරිත් කුමාරසිංහ සහ තික්ෂිල ද සිල්වා (10) අතර සබඳතාවක් ලකුණු 50කි. චරිත් පන්දු 25ක දී හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟ ලකුණු 35ක් ලබා ගත්තේ ය.

තෙවැනි කඩුල්ල සඳහා පන්දු 21ක දී ලකුණු 72ක සබඳතාවක් එක් කිරීමට නායක නිසල තාරක සහ කවිශ්ක අංජුල සමත් වූහ. නිසල තාරක පන්දු 24ක දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 33කට දැවී යමින් එම කඩුල්ලේ සබඳතාව බිඳ දැමුවේ ය. කවිශ්ක අංජුල ඉක්මන් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 13කට හයේ පහර 5ක් සමඟින් ලකුණු 36ක් ලබා ගත්තේ ය.

ඩිමෝ කණ්ඩායම ඔසවා තැබූ අනෙක් පිතිකරුවන් වූයේ මතීෂ පෙරේරා සහ පුලින තරංග ය. මතීෂ පෙරේරා පන්දු 17ක දී හයේ පහර 2ක් සමඟින් ලකුණු 29ක් ලබා ගනිද්දී පුලින තරංග පන්දු 9ක දී හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 21ක් ලබා ගත්තේ ය.

කඩුලු ලබා ගැනීමේ දී වේගපන්දු යවන ඉෂාන් ජයරත්න ලකුණු 27කට කඩුලු 3ක් දවා ගත් අතර ජෙහාන් ඩැනියෙල් ලකුණු 37කට කඩුලු 2ක් දවා ගත්තේ ය.

ජෝන් කීල්ස් කණ්ඩායම ලකුණු 200ක ඉලක්කයක් සඳහා පිටියට පිවිසිය ද ඔවුන්ට එකී ඉලක්කය කරා යෑමට ඩිමෝ වේගපන්දු යවන්නෝ ඉඩ තැබුවේ නැත. ඉනිමේ 5 වැනි පන්දු වාරය නිමා වෙන විට ලකුණු පුවරුවට ලකුණු 46ක් එක් වෙද්දී කඩුලු 5ක් දවා ගැනීමට ඔවුන් සමත් වූහ.

ඉන් කඩුලු 3ක් ම කවිශ්ක අංජුල දවා ගනිද්දී නිසල තාරක සහ තික්ෂිල ද සිල්වා කඩුල්ල බැගින් බෙදා ගත් හ. තරගය අයහපත් කාලගුණ තත්ත්වය මත නතර කරද්දී මතීෂ පෙරේරා ද කඩුල්ලක් ලබා සිටියේ ය.

ජෝන් කීල්ස් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත්තේ නායක භානුක රාජපක්ෂ ය. ඔහු පන්දු 9කට හතරේ පහර සහ හයේ පහර 2 බැගින් එල්ල කරමින් ලකුණු 23ක් ලබා ගත්තේ ය. ඊට අමතරව තරගය නතර කරන විට ජෙහාන් ඩැනියෙල් නොදැවී ලකුණු 23ක් ලබා සිටියේ ය.  

ඩිමෝ කණ්ඩායම; කඩුලු 7ක් දැවී 199 (20) චරිත් කුමාරසිංහ 35, නිසල තාරක 33, කවිශ්ක අංජුල 36, මතිෂ පෙරේරා 29, පුලින තරංග නොදැවී 21, ඉෂාන් ජයරත්න 3/27, ජෙහාන් ඩැනියෙල් 2/37

ජෝන් කීල්ස් කණ්ඩායම; කඩුලු 7ක් දැවී 97 (11) භානුක රාජපක්ෂ 23, ජෙහාන් ඩැනියෙල් නොදැවී 23, කවිශ්ක අංජුල 3/21

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<