කොළඹ හා කැළණිය සුපුරුදු ශූරයන්ගේ බලාපොරොත්තු බිඳ දමයි

1834

13 වැනි විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ රග්බි තරගවල අර්ධ අවසන් පූර්ව වටයේ තරග පසුගිය සතියේ පැවති අතර එම තරගවලින් ජයග්‍රහණය ලබා ගත් පේරාදෙණිය, මොරටුව, කැළණිය හා කොළඹ කණ්ඩායම් ඊයේ (04) අවසන් පූර්ව තරග සඳහා කොග්ගල BOI ක්‍රීඩාංගණයේ දී තරග වැදුණේ අවසන් මහා තරගයේ ඉඩක් වෙන්කර ගැනීමේ අරමුණිනි. 

එම තරග දෙකේ ජයග්‍රහණ ලබා ගත් කොළඹ කණ්ඩායම හා කැළණිය කණ්ඩායම අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නා ලදි.

මොරටුව, පේරාදෙණිය, කොළඹ හා කැළණිය අවසන් පූර්ව වටයට

2019 විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ රග්බි තරගවල අර්ධ අවසන් පූර්ව වටය පසුගිය දා ආරම්භ වූ අතර ඒ සඳහා කාණ්ඩ වටයේ….

පළමු අවසන් පූර්ව තරගය 

  • කොළඹ විශ්වවිද්‍යාලය හා පේරාදෙණිය විශ්වවිද්‍යාලය

පේරාදෙණිය විශ්වවිද්‍යාලය පසුගිය වසර කිපයේ දී ම අන්තර් විශ්වවිද්‍යාල ‍රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසි කණ්ඩායමක් වන අතර ඔවුන් 2017 වසරේ ශූරතාව ද හිමිකර ගත්තේය. 

තරගයේ ආරම්භයේ පටන් දක්ෂ ක්‍රීඩා රටාවක නිරත වූ කොළඹ කණ්ඩායම පේරාදෙණිය ක්‍රීඩකයන්ට ලකුණු ලබාගැනීම සඳහා කිසිදු ඉඩක් ලබා නොදුන්නේ නැත. පළමු අර්ධයේ දී ම උත්සාහක දිනුම් 4ක් වාර්තා කළ කොළඹ කණ්ඩායම පේරාදෙණිය ක්‍රීඩකයන්ට ප්‍රබල පීඩනයක් එල්ල කිරීමට සමත් විය. 

Rolling maul අවස්ථාවන් හා ප්‍රබල පසුපෙළ ආක්‍රමණයන් මගින් දියත් වූ එම ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් පේරාදෙණිය කණ්ඩායම ලබා ගත්තේ එක් උත්සාහක දිනුමක් පමණි. එහි ප්‍රවර්තනයත් ඔවුන් සාර්ථක කර ගැනීමට සමත් විය. 

පළමු අර්ධය කොළඹ 22 – 07 පේරාදෙණිය 

දෙවන අර්ධය ආරම්භයේ දී ම තවත් උත්සාහක දිනුමක් ලබා ගත් කොළඹ කණ්ඩායම එය සාර්ථකව ප්‍රවර්තනය කරගනිමින් තරගයේ බලාපොරොත්තු පේරාදෙණිය කණ්ඩායම වෙතින් උදුරා ගැනීමට සමත් විය. 

තම උත්සාහය අත් නොහල පේරාදෙණිය කණ්ඩායම තම දෙවන උත්සාහක දිනුම ද වාර්තා කළ නමුත් තරගයේ බලපෑමක් කිරීමට එය ප්‍රමාණවත් නොවීය. දෙවන අර්ධය අවසන් වීමට පෙර තම 6 වැනි උත්සාහක දිනුම ද වාර්තා කළ කොළඹ කණ්ඩායම ලකුණු තත්ත්වය ලකුණු 36ක් දක්වා ඉහල නංවා ගත්හ. 

අවසන් ලකුණු තත්ත්වය: කොළඹ විශ්වවිද්‍යාලය 36 (4T 3C) – 14 (2T 2C) පේරාදෙණිය විශ්වවිද්‍යාලය

නවසීලන්තය දෙවන වරට රග්බි ලෝක ශූරයන් විය

7වැනි රග්බි ලෝක කුසලාන තරගාවලිය රටවල් 20ක සහභාගිත්වය ඇතිව නවසීලන්තයේ දී පැවැත්විය. 1987 රග්බි ලෝක කුසලාන…

දෙවන අවසන් පූර්ව තරගය 

  • කැළණිය විශ්වවිද්‍යාලය හා මොරටුව විශ්වවිද්‍යාලය

මෑත කාලීන විශ්වවිද්‍යාල ‍රග්බි ඉතිහාසයේ ප්‍රබලතම කණ්ඩායම මොරටුව කණ්ඩායම බව අවිවාදයෙන් පිළිගත යුතුය. 2011 වසරේ සිට අඛණ්ඩව විශ්වවිද්‍යාල රග්බි තරගාවලි වලදී අවසන් තරගය නියෝජනය කළ මොරටුව කණ්ඩායම 2018 වසරේ අන්තර් විශ්වවිද්‍යාල රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ද සමත් විය. 

කැළණිය විශ්වවිද්‍යාලය තමන් මෙවර තරගාවලියේ පෙරළිකාර කණ්ඩායම වන බවට තරගාවලියේ ආරම්භයේ පටන් ඉඟි පල කළ අතර ඒ බව තවත් තහවුරු කිරීමට ඔවුන් සමත් විය. තරගයේ ලකුණු ලබා ගැනීම ආරම්භ කිරීමට කැළණිය කණ්ඩායමට අවස්ථාව උදා වූයේ දඬුවම් පහරක් මගිනි. 

ලකුණු 3ක පරතරය අභිබවා යාමට මොරටුව කණ්ඩායම සමත් වූයේ උත්සාහක දිනුමක් වාර්තා කරමිනි. පළමු අර්ධය අවසන් වීමට පෙර නැවතත් පෙරමුණ ගැනීමට කැළණිය කණ්ඩායම සමත් වූයේ තවත් දඬුවම් පහරක් සාර්ථක කරගනිමිනි. 

පළමු අර්ධය: කැළණිය 06 – 05 මොරටුව 

දෙවන අර්ධයට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට කැළණිය කණ්ඩායම සමත් වූයේ උත්සාහක දිනුමක් වාර්තා කරමිනි. ප්‍රවර්තනය ද සාර්ථක කර ගත් ඔවුහු ලකුණු තත්ත්වය ලකුණු 13ක් දක්වා ඉහල නංවා ගත්හ. 

මොරටුව කණ්ඩායම ප්‍රබල ආක්‍රමණයක් දියත් කරමින් උත්සාහක දිනුම් දෙකක් වාර්තා කළ ද ප්‍රවර්තනයන් සාර්ථක නොවීම නිසා ඔවුන්ට ලකුණු 15කින් සෑහීමකට පත්වීමට සිදු විය. කැළණිය කණ්ඩායම තවත් දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් නැවතත් තරගයේ පෙරමුණ ගත් අතර දෙවන අර්ධය අවසන් වීමට පෙර තවත් උත්සාහක දිනුමක් ලබා ගැනීමට ඔවුන් සමත් වූයේ මොරටුව කණ්ඩායමේ අවසන් තරග බලාපොරොත්තු සුනුවිසුනු කරමිනි. 

අවසන් ලකුණු තත්ත්වය: කැළණිය විශ්වවිද්‍යාලය 23 (2T 2C 3P) : මොරටුව විශ්වවිද්‍යාලය 15 (3T)

ඒ අනුව අවසන් තරගයේ තම අසුන් වෙන්කර ගැනීමට කොළඹ විශ්වවිද්‍යාලය හා කැළණිය විශ්වවිද්‍යාලය සමත් විය. අවසන් තරගය එළඹෙන අගෝස්තු 10 වැනිදා කොග්ගල දී පැවැත්වීමට නියමිත අතර තරගාවලියේ තුන්වැනි ස්ථානය තීරණය කිරීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා මොරටුව විශ්වවිද්‍යාලය ද එදින තරග වැදීමට නියමිතය. 

13 වැනි විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.  

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<