7වැනි රග්බි ලෝක කුසලාන තරගාවලිය රටවල් 20ක සහභාගිත්වය ඇතිව නවසීලන්තයේ දී පැවැත්විය. 1987 රග්බි ලෝක කුසලාන තරගාවලියේ දී ඕස්ට්‍රේලියාව සමඟින් නවසීලන්තය සම සත්කාරකත්වය දැරුව ද, මෙවර තරගාවලියේ සත්කාරකත්වය ඔවුන්ට තනිවම දැරීමට සිදු විය. 

පෘතුගාලය පළමු වතාවට ලෝක කුසලානයට ආ 2007

6 වැනි රග්බි ලෝක කුසලාන තරගාවලිය රටවල් 20ක සහභාගිත්වය ඇතිව ප්‍රංශයේ දී පැවැත්විය. 1991 රග්බි ලෝක කුසලාන…

මෙම තරගාවලිය සඳහා අලුතින්ම රුසියාව එක්වන විට සෙසු රටවල් 19ම ඊට පෙර තරගාවලි සඳහා සහභාගි වී තිබුණි. එසේ නම්  දින 45ක් පුරාවට ක්‍රීඩාංගණ 12ක දී උණුසුම් මුහුණුවරකින් පැවති මෙම රග්බි ලෝක කුසලාන තරගාවලිය පිළිබඳව අපි කතා කරමු.

තරගාවලියේ සමාරම්භක උළෙලේ අවස්ථාවක් (gettyimages)

තරගාවලියේ එක් එක් කාණ්ඩවලට අයත් වුණු රටවල් 

A කාණ්ඩය B කාණ්ඩය C කාණ්ඩය D කාණ්ඩය
නවසීලන්තය  ආජන්ටිනාව  ඕස්ට්‍රේලියාව  දකුණු අප්‍රිකාව 
ප්‍රංශය   එංගලන්තය  අයර්ලන්තය   වේල්සය  
ටොංගා ස්කොට්ලන්තය   ඉතාලිය  සැමෝවා   
කැනඩාව  ජෝර්ජියාව   ඇමරිකාව   ෆිජී  
ජපානය  රුමේනියාව   රුසියාව  නැම්බියාව   

තරගාවලිය පැවති ආකාරය 

පළමු වටයේ තරගවල දී කාණ්ඩයේ  සෑම රටක්ම අනිත් රටවල් 4 සමඟ තරග වැදීමට නියමිතව තිබුණි. ඉන්පසුව සෑම කාණ්ඩයකම පළමු ස්ථාන ලබා ගන්නා රටවල් 2 අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීය. ඉන්පසුව අර්ධ අවසන් පූර්ව වටය යටතේ පැවති තරග හතරේ ජයග්‍රාහකයන් අවසන් පූර්ව වටයට එක්විය. අවසන් පූර්ව වටය යටතේ තරග 2ක් පැවති අතර එම තරගවල ජයග්‍රාහකයන් අවසන් තරගයට එක්වුණු අතර එම අවසන් තරගයේ ජයග්‍රාහකයාට  කුසලානය හිමි විය.

පළමු වටයේ තරගවල ප්‍රතිඵල 

දින 23ක් පුරාවට පැවති පළමු වටයේ තරග අවසානයේ දී දකුණු අප්‍රිකාව, ආජන්ටිනාව, අයර්ලන්තය, නවසීලන්තය, ප්‍රංශය, එංගලන්තය, වේල්සය සහ ඕස්ට්‍රේලියාව අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීය.

A කාණ්ඩයේ තරගවල ප්‍රතිඵල

  • නවසීලන්තය 41 – 10 ටොංගා      
  • ප්‍රංශය 47 – 21 ජපානය      
  • කැනඩාව 25 – 15 ටොංගා     
  • නවසීලන්තය 83 – 07 ජපානය 
  • ප්‍රංශය 46 – 19 කැනඩාව 
  • ටොංගා 31 – 18 ජපානය 
  • නවසීලන්ත 37-17 ප්‍රංශය 
  • කැනඩාව 23 – 23 ජපානය 
  • ටොංගා 19 – 14 ප්‍රංශය 
  • නවසීලන්තය 79 – 15 කැනඩාව 
නවසීලන්ත – ප්‍රංශ තරගයේ අවස්ථාවක් (gettyimages)

B කාණ්ඩයේ තරගවල ප්‍රතිඵල

  • ස්කොට්ලන්තය 34 – 24 රුමේනියාව 
  • එංගලන්තය 13 – 09 ආජන්ටිනාව
  • ස්කොට්ලන්තය 15 – 06 ජෝර්ජියාව
  • ආජන්ටිනාව 43 – 08 රුමේනියාව
  • එංගලන්තය 41 – 10 ජෝර්ජියාව
  • එංගලන්තය 67 – 03 රුමේනියාව
  • ආජන්ටිනාව 13 – 12 ස්කොට්ලන්තය
  • ජෝර්ජියාව 25 – 09 රුමේනියාව
  • එංගලන්තය 16 – 12 ස්කොට්ලන්තය
  • ආජන්ටිනාව 25 – 07 ජෝර්ජියාව
එංගලන්ත-ආජන්ටිනා  තරගයේ අවස්ථාවක් (gettyimages)

C කාණ්ඩයේ තරගවල ප්‍රතිඵල

  • ඕස්ට්‍රේලියාව 32 – 06 ඉතාලිය      
  • අයර්ලන්තය 22 – 10 ඇමරිකාව     
  • ඇමරිකාව 13 – 06 රුසියාව        
  • අයර්ලන්තය 15 – 06 ඕස්ට්‍රේලියාව      
  • ඉතාලිය 53 – 17 රුසියාව 
  • ඕස්ට්‍රේලියාව 67 – 05 ඇමරිකාව 
  • අයර්ලන්තය 62-12 රුසියාව  
  • ඉතාලිය 27-10  ඇමරිකාව 
  • ඕස්ට්‍රේලියාව 68-22 රුසියාව  
  • අයර්ලන්තය 36 – 06 ඉතාලිය  
ඕස්ට්‍රේලියා-අයර්ලන්ත තරගයේ අවස්ථාවක් (gettyimages)

D කාණ්ඩයේ තරගවල ප්‍රතිඵල

  • ෆීජී 49 – 25 නැමීබියාව
  • දකුණු අප්‍රිකාව 17 – 16 වේල්සය 
  • සැමෝවා 49 – 12 නැමීබියාව  
  • දකුණු අප්‍රිකාව  49 – 03 ෆිජී 
  • වේල්සය 17 – 10 සැමෝවා 
  • දකුණු අප්‍රිකාව 87 – 00 නැමීබියාව 
  • සැමෝවා 27 – 07 ෆීජී   
  • වේල්සය 81 – 07 නැමීබියාව
  • දකුණු අප්‍රිකාව 13 – 05 සැමෝවා 
  • වේල්සය 66 – 00 ෆීජී 
දකුණු අප්‍රිකා – වේල්ස්  තරගයේ අවස්ථාවක් (gettyimages)

අර්ධ අවසන් පූර්ව වටය

මුල් තරග වටවල ප්‍රතිඵල අනුව අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබූ නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය, එංගලන්තය, දකුණු අප්‍රිකාව, ආජන්ටිනාව, අයර්ලන්තය සහ වේල්සය  යන කණ්ඩායම් එම වටයේ දී තරග වැදුණේ පහත ආකාරයටය.

වේල්සය  සහ අයර්ලන්තය

වේල්ස් කණ්ඩායම පළමු වටයේ දී ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම පවා පරාජය කළ අයර්ලන්ත කණ්ඩායම හමුවේ 22-10ක් ලෙසින් පහසු ජයක් ලබාගනිමින් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත්තේය.  

අයර්ලන්ත – වේල්ස් අර්ධ අවසන් පූර්ව තරගයේ අවස්ථාවක්  (gettyimage)

එංගලන්තය සහ ප්‍රංශය  

2003 සහ 2007 වසරවල දී රග්බි ලෝක කුසලාන අවසන් තරගය සඳහා ක්‍රීඩා කළ ප්‍රබල එංගලන්ත කණ්ඩායම ප්‍රංශය හමුවේ 19-12ක් ලෙසින් පරාජය වූ නිසා ප්‍රංශය අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගත්තේය.

එංගලන්ත -ප්‍රංශ අර්ධ අවසන් පූර්ව තරගයේ අවස්ථාවක්  (gettyimage)

දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව 

1991 සහ 1999 වසරවල දී රග්බි ලෝක ශූරයන් බවට පත්වුණු ඕස්ට්‍රේලියාවත් 1995 සහ 2007 වසරවල දී රග්බි ලෝක ශූරයන් වුණු දකුණු අප්‍රිකාවත් ගැටුණු මෙම තරගය සැබවින්ම උණුසුම් එකක් විය. නමුත් කරට කර සටනකින් අනතුරුව ඕස්ට්‍රේලියානු කණ්ඩායම 11-9ක් ලෙසින් මෙම තරගය ජයග්‍රහණය කළේ අවසන් පූර්ව තරගය සඳහා සුදුස්සන් බවට පත්වෙමිනි.

දකුණු අප්‍රිකා-ඕස්ට්‍රේලියා  අර්ධ අවසන් පූර්ව තරගයේ අවස්ථාවක්  (gettyimage)

නවසීලන්තය සහ ආජන්ටිනාව 

අර්ධ අවසන් පූර්ව වටයේ අවසන් තරගය වූ මෙම තරගයේ දී නවසීලන්ත ක්‍රීඩක වීපු දඬුවම් පහර 7ක් මගින් ලකුණු 21ක් තම කණ්ඩායම වෙනුවෙන් රැස් කිරීමට සමත් වීම නිසා අවසානයේ දී නවසීලන්ත කණ්ඩායම විසින් ආජන්ටිනා  කණ්ඩායම ලකුණු 33-10ක් ලෙස පරාජය කරමින් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගත්තේය. 

නවසීලන්ත-ආජන්ටිනා  අර්ධ අවසන් පූර්ව තරගයේ අවස්ථාවක්  (gettyimage)

අවසන් පූර්ව වටය 

එම අවදියේ ලෝක රග්බි පිටියේ සිටි ප්‍රබල රටවල් කිහිපයකට අවසන් පූර්ව තරග වරම අහිමි කරමින් නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය සහ වේල්සය 2011 ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට සමත් විය.

ප්‍රංශ – වේල්ස් අවසන් පූර්ව තරගය 

වේල්සයට එරෙහිව පැවති මෙම තරගයේ පළමු භාගය අවසන් වන විට ප්‍රංශය 6-3ක් ලෙසින් පෙරමුණේ පසුවිය. ඉන්පසුව දෙවන භාගයේ උණුසුම් මුහුණුවරක් ගත් මෙම තරගයේ 58 වැනි විනාඩිය වන විට 9-8ක් ලෙස ප්‍රංශය ඉදිරියෙන් සිටීමට සමත් විය. 

එලෙස ඉතාමත් තියුණු මුහුණුවරක් ගත් මෙම තරගයේ අවසන් භාගයේ දී  කණ්ඩායම් 2ම ලකුණු ලබාගැනීමට අපොහොසත් වුණු නිසාම ප්‍රංශය 9-8ක් ලෙස ලකුණු ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගනිමිනි.

ප්‍රංශ-වේල්ස් අවසන් පූර්ව තරගයේ අවස්ථාවක් (gettyimages)

නවසීලන්ත – ඕස්ට්‍රේලියා අවසන් පූර්ව තරගය 

1991 සහ 1999 වසරවල දී රග්බි ලෝක ශූරයන් බවට පත්වුණු ඕස්ට්‍රේලියාවත් 1987 වසරේ රග්බි ලෝක ශූරයන් වුණු නවසීලන්තයත්  ගැටුණු මෙම අවසන් පූර්ව තරගය කරට කර සටනක් වනු ඇතැයි බොහෝ දෙනෙකු සිතුවේය. නමුත් ප්‍රබල නවසීලන්ත කණ්ඩායම පළමු භාගය අවසන් වන විට තරගයේ පාලනය ඔවුන් අතට ගත් නිසා ලකුණු තත්ත්වය 14-06ක් විය. ඉන් පසුව දෙවන භාගයේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට කිසිදු බුරුලක් ලබා නොදුන් නවසීලන්තය තරගය ජයග්‍රහණය කළේ 20-06ක් ලෙස ලකුණු ලබා ගනිමිනි.

නවසීලන්ත-ඕස්ට්‍රේලියා අවසන් පූර්ව තරගයේ අවස්ථාවක් (gettyimages)

තෙවැනි ස්ථානය ඕස්ට්‍රේලියා කණ්ඩායමට

තෙැවනි ස්ථානය තේරීම සඳහා පැවති තරගය සඳහා සහභාගි වූයේ ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ වේල්ස් කණ්ඩායමයි. මෙම තරගයේ පළමු භාගයේ දී බාන්ස් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ලබා ගත් උත්සාහක දිනුම් නිසා පළමු භාගය අවසන් වන විට ඕස්ට්‍රේලියාව 7-3ක් ලෙසින් පෙරමුණේ පසුවිය. 

ඉන්පසුව දෙවන භාගය තුළ ඕස්ට්‍රේලියා කණ්ඩායම වඩාත් ප්‍රවේගකාරී තරග රටාවක නිරත වෙමින් ලකුණු 14ක් ලබාගන්නා විට වේල්ස්  කණ්ඩායම ලකුණු 15ක් ලබාගත්ත ද අවසානයේ දී 21-18ක් ලෙස තියුණු ජයක් ලැබීමට ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හැකි විය.

තෙවැනි ස්ථානය සඳහා පැවති තරගයේ අවස්ථාවක්  (gettyimage)

නවසීලන්ත කණ්ඩායම දෙවන වරට රග්බි ලෝක ශූරයන් විය

කණ්ඩායම් 2ම මුල සිටම කරට කර සටනක නිරත වුණු මෙම තරගයේ පළමු භාගය නිමා වන විට නවසීලන්තය 5-0ක් ලෙසින් පෙරමුණේ පසුවූයේ ටෝනි වුඩ්කොක් ලබාගත් උත්සාහක දිනුම නිසාය.

ඉන්පසුව දෙවන භාගය ආරම්භයේ දීම ස්ටෙපන් ඩොනල්ඩ් දඬුවම් පහරක් මඟින් නවසීලන්තයට ලබා දුන් ලකුණු 3 නිසා ලකුණු තත්ත්වය 8-0ක් ලෙසින් දිස්විය. නමුත් ඉන් නොසැලුණු ප්‍රංශ ක්‍රීඩකයන් 47 වැනි විනාඩියේ දී ලබාගත් ගෝල දිනුම නිසා ලකුණු තත්ත්වය 8-7ක් බවට පත්වූයේ තරගයේ උද්වේගකර බව වැඩි කරමිනි. 

එම අවස්ථාව වන විට දෙපිලම ප්‍රබල තරග රටාවක නිරත වෙමින් ලකුණු ලබා ගැනීමට උත්සහ කළ ද කණ්ඩායම් දෙකටම ලකුණු ලබාගැනීමට නොහැකි වුණු තරගයේ ජය 8-7ක් ලෙසින් නවසීලන්තයට හිමි විය. 

ප්‍රංශ-නවසීලන්ත අවසන් තරගයේ අවස්ථාවක්  (gettyimages)

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<